සම්මා දිට්ඨි සූත්‍රය – සංඛාර වාරය

January 10th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ සංස්කාරයත් දනීද, සංස්කාර සමුදයත් දනීද, සංස්කාර නිරෝධයත් දනීද, සංස්කාර නිරෝධ ප්‍රතිපදාවත් දනීද, සංස්කාර  නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් දනීද,  මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

සංස්කාරයෝ කවරේද?

සංස්කාර සමුදය කවරේද?

සංස්කාර නිරෝධය කවරේද?

සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?

 

මේ සංස්කාරයෝ තිදෙනෙක් වෙති.

1. කාය සංස්කාර

2. වාක් සංස්කාර

3. චිත්ත සංස්කාර

 

අවිද්‍යා සමුදයෙන් සංස්කාර සමුදය වෙයි.

 

අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි.

 

මේ අරි අටගිමඟම සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.

එනම්  1. සම්මා දිට්ඨි   2. සම්මා සංකප්ප   3. සම්මා වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6. සම්මා වායාම   7. සම්මා සති   8. සම්මා සමාධි

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සංස්කාරයනුත් දනීද, සංස්කාර සමුදයත් දනීද, සංස්කාර නිරෝධයත් දනීද, සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද,  හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය නැති කොට,  ප්‍රතිඝානුශය දුරු කොට, ‘අස්මි’ ‘මම’ ය යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා දුක් කෙළවර කරන්නෙක් වෙයි.

මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.