සම්මා දිට්ඨි සූත්‍රය – කම්මපථ වාරය

January 28th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලයත් දනීද, අකුසල මූලයත් දනීද, කුසලයත් දනීද, කුසල මූලයත් දනීද,  මෙපමණකින් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

අකුසලය කවරේද?

අකුසල මූලය කවරේද?

කුසලය කවරේද?

කුසල මූලය කවරේද?

 

1. ප්‍රාණඝාතය අකුසලයකි.

2. අදත්තාදානය  අකුසලයකි.

3. මිත්‍යාචාරය අකුසලයකි.

4. මුසාවාදය අකුසලයකි.

5. පිසුණවචනය අකුසලයකි.(කේලම් කීම)

6. ඵරුසවචනය අකුසලයකි.

7. සම්ඵප්පලාපය අකුසලයකි.(හිස් වචන කීම)

8. අභිධ්‍යාව අකුසලයකි.(දැඩි ලෝභය)

9. ව්‍යාපාදය අකුසලයකි.

10. මිථ්‍යාදෘෂ්ටිය අකුසලයකි.

මේවාට අකුසලය යයි කියනු ලැබේ.

 

1. ලෝභය අකුසල මූලයකි.

2. ද්වේෂය අකුසල මූලයකි.

3. මෝහය අකුසල මූලයකි.

මේවාට අකුසල මූලය යයි කියනු ලැබේ.

 

1. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලයකි.

2. අදත්තාදානයෙන් වෙන්වීම කුසලයකි.

3. කාම මිථ්‍යාචාරයෙන් වෙන්වීම කුසලයකි.

4. මුසාවාදයෙන් වෙන්වීම කුසලයකි.

5. පිසුණවචනයෙන් වෙන්වීම කුසලයකි.

6. ඵරුසවචනයෙන් වෙන්වීම කුසලයකි.

7. සම්ඵප්පලාපයෙන් වෙන්වීම කුසලයකි.

8. අනභිධ්‍යාව කුසලයකි.

9. අව්‍යාපාදය කුසලයකි.

10. සම්‍යක් දෘෂ්ටිය කුසලයකි.

මේවාට කුසල යයි කියනු ලැබේ.

 

1. අලෝභය කුසලමූලයකි.

2. අද්වේෂය කුසලමූලයකි.

3. අමෝහය කුසල මූලයකි.

මේවාට කුසලමූලය යයි කියනු ලැබේ.

 

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය දනීද, අකුසලමූලය දනීද, කුසලය දනීද, කුසලමූලය දනීද, හෙතෙමෙ සර්වප්‍රකාරයෙන්ම රාඝානුශය නැති කොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අස්මි” “මම” යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි.

මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි.  නිර්වාණ  ධර්මයට පැමිණියේ වෙයි.