සම්මා දිට්ඨි සූත්‍රය – ජරා මරණ වාරය

January 24th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ජරා මරණ දනීද, ජරා මරණ හට ගන්නා හේතුවත් දනීද, ජරා මරණ නිරෝධයත් දනීද, ජරා මරණ නැති කිරීමේ පිළිවෙතත් දනීද, මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මෙයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

ජරා මරණ කවරේද?

ජරා මරණ සමුදය කවරේද?

ජරා මරණ නිරෝධය කවරේද?

ජරා මරණ නිරෝධ ප්‍රතිපදාව කවරේද?

 

ඒ ඒ සත්වනිකායන්හි,

යම් දිරීමක්,

දිරන බවෙක්,

කෙස් පැහුණු බවක්,

හම රැලි වැටුණු බවක්,

ආයුෂ පිරිහීමක්,

ඉන්ද්‍රියන්ගේ මේරීමක්,

වෙයිද එය ජරාවයි.

 

ඒ ඒ සත්වනිකායන්ගෙන් ඒ ඒ සත්වයන්ගේ,

චුත වීමක්,

චුත වන බවක්,

භේදයෙක්,

අතුරුදන් වීමක්,

මරණයෙක්,

කාලක්‍රියාවෙක්,

ස්කන්ධයන්ගේ බිඳුමෙක්,

ශරීරය බහා තැබීමෙක්,

වේද  එය මරණය යයි කියනු ලැබේ.

මෙසේ මේ ජරාවත් මේ මරණයත් දෙක ජරාමරණ යයි කියනු ලැබේ.

 

ඉපදීම හේතුවෙන් ජරා මරණ ඇති වේ.

 

ඉපදීම නැසීමෙන් ජරා මරණ නැති වේ.

 

මේ අරි අටඟි මඟම ජරා මරණ නැසීමට පමුණුවන පිළිවෙත වෙයි.

එනම්: 1. සම්මා දිට්ඨි   2. සම්මා සංකප්ප   3. සම්මා වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6. සම්මා වායාම   7. සම්මා සති   8. සම්මා සමාධි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ජරාමරණ දනීද, ජරාමරණ සමුදය දනීද, ජරාමරණ නැසීමත් දනීද, ජරාමරණ නැසීමට පමුණුවන පිළිවෙතත් දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය පහකොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අස්මි” “මම” යන බඳු වූ මානානුශය නසා, අවිද්‍යාව හැර විද්‍යාව උපදවා, මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි.

මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.