සම්මා දිට්ඨි සූත්‍රය – තණ්හා වාරය

January 17th, 2013

යම් කාලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ තණ්හාවත් දනීද, තණ්හා සමුදයත් දනීද, තණ්හා නිරෝධයත් දනීද, තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකින්ම ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි.  නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

තණ්හාව කවරේද?

තණ්හා සමුදය කවරේද?

තණ්හා නිරෝධය කවරේද?

තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?

 

1. රූප තණ්හාව

2. ශබ්ද තණ්හාව

3. ගන්ධ තණ්හාව

4. රස තණ්හාව

5. ස්පර්ශ තණ්හාව

6. ධම්ම තණ්හාව

යයි මේ තණ්හාකායයෝ සයෙකි.

 

විඳීම හෙවත් වේදනා හේතුවෙන් තණ්හා ඇතිවේ.

 

වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වෙයි.

 

මේ අරි අටඟිමඟම තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.

එනම්: 1. සම්මා දිට්ඨි.   2. සම්මා සංකප්ප.  3. සම්මා වාචා.   4. සම්මා කම්මන්ත.   5. සම්මා ආජීව.   6. සම්මා වායාම.   7. සම්මා සති.   8. සම්මා සමාධි.

යම් කලෙක පටන්  ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ තණ්හාව දනීද, තණ්හා සමුදය දනීද, තණ්හා නිරෝධය දනීද,  තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය පහ කොට, ප්‍රතිඝානුශය නැති කොට, “අස්මි” “මම” යන බඳු වූ මානානුශය නසා අවිද්‍යාව දුරුකර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.