සත්පුරුෂ පුද්ගලයා දුටු සත්‍යය

February 23rd, 2013

වැරදි කල මිනිහෙක් අල්ලාගෙන රජ්ජුරුවන්ට ඉදිරිපත් කළේය.

රජ්ජුරුවෝ දඬුවම් ලෙස, සර්පයෝ හතර දෙනෙක් රැක බලා ගැනීමට බාර දුනි.

නියමිත වෙලාවට කෑම බීම දීම, නිදිකරවීම, සාත්තු සප්පායම් කිරීම ආදිය කළ යුතුයි.

එක් සර්පයෙකුට එක් දෙයක් අවශ්‍ය වන විට තවත් සර්පයෙකුට අවශ්‍ය වෙන්නේ වෙනත් දෙයකි.

මෙසේ විවිධ කාර්යන් බහුල වුවත් වැරදි කළ මෝඩ මිනිසා එය සතුටින් සහ කැමැත්තෙන් තමන්ට ලැබුණු භාග්‍යක් ලෙස සිතා කටයුතු කරයි.

ඔහුට ලැබුණු ආභරණ ලෙස සළකා, අත් දෙක දිගේ ඔතා ගත් සර්පයෝ දෙදෙනෙක්  උරහිස් දෙක මතද,  තවත් සර්පයෙක් ඉන වටා ඔතා ගෙන උදරය මතද,   බෙල්ල වටා ඔතාගත්  සර්පයෙක් හිස මුදුනෙහිද,  පෙනගොඹ තබා ගෙන සිටී.

සර්පයො දෂ්ට කළවිට දරුණු ලෙඩ හෝ මරණය සිදු වෙයි.

සුළු හෝ අතපසුවීමක් නිසා සර්පයෝ කුපිත වෙන්නේය.

මෙසේ සිටින විට සත්පුරුෂ මිනිසෙක් ඇවිත්, ඔබ ඉක්මනින්ම මෙතෙනින් පැනලා යන්න. නැත්නම් ඔබට මහත් වූ කරදරයකට පත් වීමට සිදුවන බව පැවසීය.

එබස් ඇසූ මිනිසා පැනලා දුවන්නට විය.

එවිට සර්පයෝ සතර දෙනාද පස්සෙන් එළවන්නට විය.

පැනලා දුවන මිනිසා අල්ලා ගෙන ඒමට වධකයෝ පස්දෙනෙක් පස්සෙන් එළවන්නට විය.

පැනලා දුවන මිනිසාගේ ඉතාම හිතවත් යාළුවෙක්ද යොදවා ගෙන මේ මිනිසා රවටා ගෙන හෝ  රැගෙන එන  ලෙස රජ නියමය විය.

යාළුවාට නොරැවටී  ඉක්මනින්ම දුවන ලෙස සත්පුරුෂ උපදෙස අනුව ඒ මිනිසා දුවන්නට විය.

පොඩි ගමක් හමු වූ විට , එහි ගත කිරීමට සිතූ මිනිසා ගම තුළට ගොස් බැලූ විට හිස් පාළු ගෙවල් හයක් දුටුවේය.

නැවතත් සත්පුරුෂයා කියනුයේ නවතින්න එපා  ඔය  ගෙවල් වල මංකොල්ලකාර සොරු හය දෙනෙක් සිටින නිසා ඉක්මනින්ම  දුවන්න.

එසේ දුවන විට ගඟක් හමුවිය.

ගඟෙන් එගොඩ වීමට ඉක්මනින්ම පහුරක් හදා ගෙන ගඟ තරණය කරන්නට විය.

මහත් වූ වීර්යෙන් ගඟ තරණය කරන විට ක්ෂේම භූමියක් හමු වී, එයට ගොඩ විය.

නැවත හැරී බලන විට, තමන් පසුපස එළවන පිරිස හොඳින් පෙනෙන්නටත්, ඔවුන්ගේ හඬ හොඳින් ඇසෙන්නට ත් විය.

නැවතත් සත්පුරුෂයා කියනුයේ නතර වෙන්න එපා.

මේ නිසා නැවතත් මහත් වූ වීර්යන් ගඟ තරණය  කරන විට, නැවතත් ක්ෂේම භූමියක් හමු විය.

නැවත හැරී බලන විට, පස්සෙන් එළවන පිරිසගේ හඬ නොඇසුනත් ඔවුන් ට තමන් පෙනෙන්නට විය.

නැවතත් සත්පුරුෂයා ගේ කීමට ගඟ තරණය කළේය. තුන්වෙනි ක්ෂේම භූමියත් හමුවිය.

නැවත හැරී බලන විට, හඬ නොඇසෙන බවත්, යාන්තම් ඡායා මාත්‍රයක් පමණක් පෙනෙන බවත් දැණුනි.

නතර නොවී මහත් වීර්ය ගෙන එතෙර වෙන ලෙස සත්පුරුෂ පුද්ගලයාගේ කීමට , හෙතෙම  ක්‍රියා කොට ,  රජ්ජුරුවන්ගෙන්ද,  සර්පයෝ හතර දෙනාගෙන්ද, වධකයෝ පස්දෙනාගෙන්ද, යාළුවෙක් ලෙස පැමිණි රැවටිලි කාරයාගෙන්ද, සොරු පස්දෙනාගෙන්ද, ගැලවී මහත් වූ සැඬ පහර සහිත ගංගාවෙන්ද එතර වී සැනසුමට පත් විය.

ගංගාවෙන් එතර වූ විට, පස්සෙන් එළවා පැමිණි සියල්ලෝම  විනාශ වී, අතුරුදන් විය.

 

මෙහි සඳහන් චරිත හඳුනා ගනිමු.

රජ්ජුරුවෝ   –  කර්ම බල වේගය. සංසාරික වශයෙන් අපි කර ගන්නා ලද කුසල අකුසල කර්ම ශක්තිය.

වැරදි කළ දුවන මිනිසා   –  පෘතග්ජන මිනිසා සංසාරගතව යන ගමනයි.

සර්පයෝ හතර දෙනා  – 1.  පඨවී ධාතුව  2. ආපෝ ධාතුව  3. තේජෝ ධාතුව  4. වායෝ ධාතුව. කර්මය විසින් ප්‍රතිසන්ධියෙන් ලැබුණු සතර මහ භූතයෝ.

(සර්පයො දෂ්ඨ කළ විට දරුණු ලෙඩ හෝ මරණය සිදු වන්නේ, මෙම  ධාතු  හතරේ ක්‍රියාව පිළිබඳවයි.)

සත්පුරුෂ පුද්ගලයා  –  අපේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේ.

වධකයෝ පස්දෙනා  – 1. රූප උපාදානස්කන්ධය   2. වේදනා උපාදානස්කන්ධය   3. සංඥා උපාදානස්කන්ධය   4. සංකාර උපාදානස්කන්ධය   5. විඤ්ඤාණ උපාදානස්කන්ධය.

රැවටිලි බස් කියමින් පැමිණි යාළුවා  –  නන්දි රාගය  – ලෝභය

හිස් පාළු ගෙවල් හය  –  1. ඇස  2. කණ  3. නාසය  4. දිව  5. ශරීරය  6. හිත.

මංකොල්ලකාර සොරු  –  1. රූප  2. ශබ්ද  3. ගන්ධ  4. රස  5. ස්පර්ශ  6. අරමුණු ( ධම්ම)

පහළට ගලායන  ( ඕඝය) ගඟ  –  කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය.

ගඟෙන් එතෙර වීමට යොදා ගත් පහුර  –  ආර්ය අෂ්ටාංගික මාර්ගය.

බලවත් වීර්ය  – සම්‍යප්‍රදාන වීර්ය.

ක්ෂේම භූමි සතර  – 1. සෝවාන් ( උපරිම ලෙස භව හතක් පමණයි  නැවත ඉපදීම. කාම භූමියට පැමිණීම)

2. සකදාගාමී ( එක වරයි කාමභූමියට එන්නෙ)

3. අනාගාමී ( නැවත කාමභූමියට එන්නෙම නැහැ)

4. මහරහත්  බවට පත් වී නිවන සාක්ෂාත් කිරීම.

මෙගොඩ (මෙතෙර)   –  සක්කාය දෘෂ්ටිය ඇතුව සංසාරගතව සිටීම.

එතෙර ( එගොඩ)  –  නිවනයි.

බෞද්ධයා මාධ්‍ය ජාලයේ විකාශය වූ බණක් අසා මට වැටහුණු ආකාරයට ලියා තබන්නේ, පසු කළෙකදී  මතකය අවදි කර ගැනීමට පහසු වීමටයි.