අනාගතයේ තීරකයා …….?

January 25th, 2016

අධ්‍යාපනයේ වැදගත්ම ස්ථානය පෙර පාසල් විය වේ.

අවාසනාවකට පෙර පාසල් විය ගැන කිසිවෙකුගේවත් අවධානාත්මකම සැළකිල්ලට භාජනය වී නැත.

නිවැරැදි ආකල්ප ඇති කිරීම සඳහා පෙර පාසල් වියත්, පාසල තුළට ගෙන විධිමත්ව කළහොත් අධ්‍යාපන ආයෝජනයේ ප්‍රතිඵල සාර්ථක වන බව සිතේ.

ප්‍රාථමික පාසල් අධ්‍යාපනයේදී ගණිත විෂය ගැන දක්වන ක්‍රමය වැරදි යැයි සිතේ.

ඉංග්‍රීසි විෂය සඳහා ප්‍රාථමික ගුරුවරයා නොයොදවා ඉංග්‍රීසි සඳහාම සුවිශේෂී ගුරුවරු යෙදුවත්, ගණිතය වැනි අති සුවිශේෂී වූ විෂය උගන්වන්නේ ප්‍රාථමික ගුරුවරයාමයි. ඒ මගින් ළමුන්ට නිවැරැදි ගණිත සංකල්ප නොලැබෙන නිසා, ගණිත විෂය ළමුන්ට අමාරු විෂයක් ලෙස නම් කරනු ලැබ ඇත.

බොහෝ විට නිවැරැදි ගණිත සංකල්ප මූලිකවම නොලැබීම නිසා ඉහල ශ්‍රේණි වලදී උගන්වන ගුරුවරයාටද මහත් වෙහෙසක් දරන්නට සිදු වුවත්, ලැබෙන ප්‍රතිඵලය අඩු එකකි. එයට ළමුන්ගේ ගණිත විෂය පිළිබඳව ඇති මුල් බැස ගත් නොසතුටේ ආකල්පයද බලපායි.

ප්‍රාථමික පන්ති වලට ගණිත විෂය ඉගැන්වීම සඳහා, ගණිතය සඳහාම සුවිශේෂී වූ ගුරුවරු යොදා ගත යුතුයි යනු මගේ අදහසයි.

ද්විතීයික අධ්‍යාපනය ලබන විටද ගණිතය වැනි සුවිශේෂී විෂය සඳහා ළමුන්ගේ අවධානය සතුටෙන් ලබා ගැනීම සඳහා මෙසේ යෝජනාවක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.

සංගීතය, නැටුම්, චිත්‍ර වැනි විෂයන් උගන්වන ගුරුවරුන් සඳහා ඒ වෙනුවෙන්ම වෙන් වූ පන්ති කාමර තිබෙන ආකාරයට ගණිත ගුරුවරුන් සඳහාද වෙනම ගණිත කාමර සකස් කළ යුතුයි යන්න මගේ අදහසයි. එහිදී එම ගණිත පන්ති කාමරය, ගණිතාගාරයක් ලෙස ගණිත සංකල්ප වර්ධනයට අවශ්‍ය දෑ වලින් පරිපූර්ණව සකස් කර ගැනීම සඳහා, රජය, මව්පියන්, ගුරුවරු, සුභපතන්නන් යන සැමගේම සහයෝගයද ලබා ගත යුතු වේ. ළමයාට ගණිත ගුරුවරයා ගණිතාගාරයේදී හැකි සෑම අව්ස්ථාවකදීම හමු වී ගැටළු විසදා ගත හැකි පහසුකමද නිරන්තරයෙන්ම  එවිට ලැබෙයි. ආකර්ශණීය ගණිතාගාරයට සතුටින් පිවිසෙන ළමයා වැඩි කලක් ගත වීමට ප්‍රථම සෞන්දර්ය විෂය හා සමානවම ප්‍රිය කරන සහ පහසු විෂයක් ලෙස ගණිත විෂයද පිළි ගනී.

අධ්‍යාපනය, වමාරන ක්‍රමයක් ලෙස පාසල් වාර විභාග ක්‍රමය මට හැඟේ. ළමුන් පීඩනයට පත් කරන වාර විභාග ඉවත් කර, ඒ වෙනුවට ළමුන්ගේ දැණුම සහ දක්ෂතා මැන බැලීමේ ක්‍රමයක් සකස් කළයුතුයි. අධ්‍යාපනයෙන් ලබා ගන්නා දැනුමෙන්, ළමුන්ට නිදහසේ නව නිපැයුම් සකස් කිරීමට පෙළඹවීම සහ ඒ සඳහා ප්‍රසාද ලකුණක් දීම යන්න මම යෝජනා කරන්නට කැමැත්තෙමි. නව නිපැයුම භාණ්ඩයක්ම විය යුතු නොවේ. එය ප්‍රහේලිකාවක්, කවියක්, නිසදැසක්, සිංදුවක්, පොත් පිංචක්, චිත්‍රයක්, රූප රාමුවක් ආදී කුමන හෝ දෙයක් විය හැකියි. එවිට අපේ දරුවන්ගේ සිතීමේ ශක්තිය වැඩි වී රටට වැඩදායී දේ සකස් කරන අනාගත පරපුරක් බිහිවේවි. ( වාර විභාග ක්‍රමයෙන් සිදු වෙන්නේ දැඩි පීඩනයක් මිස වෙනත් කිසිදු ප්‍රයෝජනයක් නොවේ. පන්තියේ ප්‍රථම ස්ථානය ගත්තත් අන්තිම ස්ථානය ගත්තත් ළමයා අනිවාර්‍යෙන්ම ඉහල ශ්‍රේණියට දැමිය යුතු බැවින්, වාර විභාග පැවැත්වීම කාලය සහ සම්පත් නාස්ති කිරීමකි. දෙමාපියන්ගේ මානසික සුවය සඳහා අව්ශ්‍යනම් විෂය භාර ගුරුවරුන් විසින්ම පන්තිය තුලදී වර්ෂය අවසානයේ ඇගයීමක් කර, ලකුණු ලබා දීමක්ද කල හැකියි.)

අධ්‍යයන  පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ළමුන් විවිධ පැතිකඩ වලට තේරීමේ විභාගයක් ලෙස නම් කොට, එම විභාගයෙන් පසු සෑම ළමයෙක්ම උසස් පෙල සඳහා යොමු කල යුතුයි. වඩු වැඩ, මේසන් වැඩ, කාර්මික වැඩ, ජලනල එලීම, ගෘහ විදුලි පරිපථ සකස් කිරීම, මැහුම්, ගෙතුම්, රෙදි විවීම, ගෘහ විද්‍යාව, විදුලි උපකණ භාවිතය ආදී නොයෙක් පැතිකඩ වලටද විෂයයන් සකස් කර, ඒ සඳහා ගුරුවරුන්ද පුහුණු කර, සෑම ළමයෙක්ම උසස් පෙලටද යොමු කරන්න. උසස් පෙලින් පසුවද විශ්ව විද්‍යාලයකට යාමට කැමැති සිසුන් සඳහා, උසස් පෙලට ඉගෙනගත් දෙයට ගැලපෙන සේ නව උපාධි  පාඨමාලා සකස් කර බාහිරව හෝ ඉගෙන ගැනීමට ඉඩ සලසා දිය යුතුයි යනු මගේ අදහසයි. බාහිර උපාධි සඳහා ද මුදල් අය නොකල යුතුයි. වෘත්තීය අධ්‍යාපනය සඳහාද උපාධි පිරිනැමීම තුළින්, ඔවුන්ගේ මානසික අසහනය දුරු වී, සෑම රැකියාවක්ම වැදගත් යන සංකල්පය ඇතුළු වූ විට, නිරන්තරයෙන්ම ඔවුන් විසින්ම ස්වයංරැකියා වලට පෙළඹී ආර්ථික ශක්තිය ඇති කර ගනි. එවිට තාරුණ්‍යයට හෙටක් කිසිවෙක් ලබා දිය යුතු නැත. තාරුණ්‍යය විසින්ම තමන්ගේ හෙට දවස සකස් කර ගනී.  එයයි සිදු විය යුතු වන්නේ යැයි මගේ අදහසයි.