පායාගෙන එන සඳට, උඩු බුරුලන බල්ලෝ

January 26th, 2016

ලස්සනට සඳ පායා ගෙන එන  විට, බල්ලෝ උඩු බුරුලන්නේ ඇයි කියා සිතුවෙමි.

ලස්සන සඳ බිමට වට්ටගන්නද?

සඳට කිසිම ගානක්වත් නැත.

සඳ, සඳ ගමන යයි. එය කවමදාවත් බල්ලන්ගේ උඩු බිරුලමට බයේ බිමට නොවැටේ.

උඩු බුරුලපු බල්ලන්ටම ඇති වී, නිහඬ වෙති.

සඳට අයිති වෙලාවට සඳ පායා අහසේ බැබළෙයි.

උඩු බුරුලන බල්ලෝ පොළොවෙයි. සඳ අහසෙයි. කෙසේ නම් මේ දෙක එක් කළ හැකිද?

සඳට යන්න පුළුවන් අයත්, උඩු බුරුලන වල් බල්ලෝ සඳට එක්ක යන්න සූදානම් නැත. එය නිෂ්ඵල  වැඩක් බව උඩු බුරුලන බල්ලන්ට වඩා, සඳට යන්න පුළුවන් අය දන්නා බැවිනි.

ලංකාවේ දක්ෂතා ඇති සෑම දරුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දීමට තරම් හැකියාවක් ලක් රජයට නොමැති නිසා, පින් ඇති දක්ෂ දරුවෝ උසස් අධ්‍යාපනය පිටරට හෝ ගොස් ලබා ගනී. පිටරට යන දරුවෝ  තම දැණුමෙන් සේවය ලබා දීමට නැවත ලංකාවට පැමිණෙන්නේ ඉතාමත් අඩු පිරිසකි.

දිස්ත්‍රික් ක්‍රමයට ළමුන් ගැනීම නිසා, දුෂ්කර දිස්ත්‍රික් වලින් එන ළමුන්ට වඩා වැඩි ලකුණු තිබෙන පහසු ප්‍රදේශ වල ළමුන්ට අවස්ථාව නැති වී ඇත. රජයට උසස් අධ්‍යාපනය දක්ෂතා ඇති  සෑම ළමයෙකුටම  ලබා දීමට නොහැකිතාවය මිසක් ළමුන්ගේ අදක්ෂතාවක් නොමැත.

ජාත්‍යන්තර පාසල් වලින් ඉගෙනුම ලබා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට, අදහස් කරන ළමුන් වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ගය කුමක්ද? ඒ ළමුන් මව් භාෂාවට අමතරව ජාත්‍යන්තර භාෂාවද මනාකොට හසුරුවමින්, වැඩි දැණුමක්ද ඇතිව සිටින පිරිසකි. මෙම ළමුන් පිරිස දිගින් දිගටම නොසළකා හැර, ඔවුන් ජාත්‍යාන්තරයටම  සින්න වෙන්න හරිනවද? නැත්නම් අපේ රටේ නතර කර ගැනීමේ ක්‍රමයක් සකස් කරනවාද?

රජයට හැම දෙයක්ම කළ නොහැකියි. ඒ නිසා මෙම ප්‍රශ්නයට පෞද්ගලික අංශයේ උදව් ලබා ගෙන, පෞද්ගලික විශ්ව විද්‍යාල බහුල ලෙස දැමීමට අවස්ථාව ලබා දී, අපේ ළමුන් අපේ රටට සේවය කරන පිරිසක් බවට පත් කරමු.

එවිට වක්‍රාකාරව දැනට සිදු වී ඇති, තනි වූ වැඩි හිටියන් බලා ගැනීමේ ප්‍රශ්නයටද පිළිතුරක් ලැබෙනු ඇත.

රජයේ අධීක්ෂණය යටතේ, පෞද්ගලික විශ්වවිද්‍යාල තබා ගැනීමෙන් අප රටට කිසිම ආකාරයේ වරදක් සිදු නොවීමටද  කටයුතු කළ හැකි වේ.

පෞද්ගලික විශ්ව විද්‍යාල වලටද රජය උදව් කළ යුතුයි. ඒවායේ ඉගෙනුම ලබන්නේද අපේම දරුවන් බැවිනි. අපේම දරුවන් නොවුනත්, ඉගෙනුම ලබන ඕනෑම දරුවෙකුට උදව් කිරීමේ මානසික ශක්තිය ඇති වෙන විදියට පාසල් අධයාපනයෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයෙන් ළමුන්ගේ සිත් සකස් කිරීමටද කටයුතු කළ යුතුයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ළමුන්ට, ප්‍රායෝගික පුහුණුව සඳහා රජයේ රෝහල් ලබා දීම වඩා වැඩදායී සහ යහපතක්ම සිදු වන දෙයකි.

නැතිනම් ඔවුන් මෙහිදී අධ්‍යාපනය ලබා ගෙන ප්‍රායෝගික පුහුණුවට ඉඩ නොදුන්නොත්, ඔවුන්ද පිටරටට තල්ලු කිරීමකි.  ප්‍රායෝගික පුහුණුව රජයේ රෝහල් වලින් ලබා දීමේදී, ඔවුන්ගේ දක්ෂතා අනෙක් අයට ලබා ගැනීමට හැකි වෙන අතරම ඔවුන් නොදන්නා දෙය දැන ගැනීමෙන් කවදා හෝ මහජනතාවට හොඳ සේවයක් ලබා ගත හැකියි.

වෛද්‍යවරුන්ගේ හිඟයක් අප රට තුළ ඇති අවස්ථාවේ, පෞද්ගලික අංශයෙන් කළ මෙම කටයුත්තට උදව් කර,  යහපත් සහ හිඟයකින් තොරව වෛද්‍ය සේවය මහජනතාවට ලබා දීම සඳහා  කටයුතු කිරීමට සැමගේම ආශිර්වාදය ලැබේවා.