සම්මා දිට්ඨි සූත්‍රය – අවිද්‍යාවාරය

January 8th, 2013

ආර්ය ශ්‍රාවක තෙමේ අවිද්‍යාවත් දනීද, අවිද්‍යා සමුදයත් දනීද, අවිද්‍යා නිරෝධයත් දනීද,  අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

අවිද්‍යාව කවරේද?

අවිද්‍යා සමුදය කවරේද?

අවිද්‍යා නිරෝධය කවරේද?

අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?

 

1. දුක්ඛ

2. දුක්ඛ සමුදය

3. දුක්ඛ නිරෝධ

4. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා

පිළිබඳ නොදැනීම අවිද්‍යාව වෙයි.

 

ආස්‍රව සමුදයෙන් අවිද්‍යා සමුදය වෙයි.

 

ආස්‍රව නිරෝධයෙන් අවිද්‍යා නිරෝධය වෙයි.

 

මේ අරි අටගිමඟම අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.

එනම්: 1.  සම්මා දිට්ඨි,   2.  සම්මා සංකප්ප,   3. සම්මා වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6. සම්මා වායාම   7. සම්මා සති    8. සම්මා සමාධි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ අවිද්‍යාවත් දනීද, අවිද්‍යා සමුදයත් දනීද, අවිද්‍යා නිරෝධයත් දනීද, අවිද්‍යා නිරෝධගාමිනී  ප්‍රතිපදාවත් දනීද,  හෙතෙමෙ සර්ව ප්‍රකාරයෙන්ම රාගානුශය නැති කොට  පටිඝානුශය නැති කොට  අස්මි, මම යන දෘෂ්ටිය බඳු වූ මානානුශය මුලිනුපුටා අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා ඉහාත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මෙතෙකින්ද ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන  පැහැදෙයි. මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.