සම්මා දිට්ඨි සූත්‍රය – ආහාර වාරය

January 27th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ආහාරයත් දනීද,  ආහාර සමුදයත් දනීද,  ආහාර නිරෝධයත් දනීද, ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුදු සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

ආහාරය කවරේද?  ආහාර සමුදය කවරේද?   ආහාර නිරෝධය කවරේද?  ආහාර නිරෝධගාමිනී පටිපදාව කවරේද?

උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද, අණ්ඩජ ජලාබුජ හි සිටින එහෙයින්ම උත්පත්තිය සොයන සතුන්ට අනුග්‍රහය පිණිසද, පවතින ආහාරයෝ සතරකි.

1. ඕළාරික වූද, සියුම් වූද, කබලින්කාර ආහාරය (කෑමට බීමට ගන්නා දෙය),

2. ඵස්ස ආහාරය,

3. මනෝසංචේතනා ආහාරය,

4. විඤ්ඤාණ ආහාරය,

 

තෘෂ්ණාව හට ගැනීමෙන් ආහාරයන්ගේ හට ගැනීම වෙයි.

 

තෘෂ්ණා නිරෝධයෙන් ආහාර නිරෝධය වෙයි.

 

මේ අරි අටඟි මගම ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.

එනම්: 1. සම්මා දිට්ඨි   2. සම්මා සංකප්ප   3. සම්මා වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6.සම්මා වායාම   7. සම්මා සති   8. සම්මා සමාධි.

 

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ආහාරය දනීද, ආහාරසමුදය දනීද, ආහාර නිරෝධය දනීද, ආහාර නිරෝධයට පමුණුවන පිළිවෙත දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය හැර ප්‍රතිඝානුශය දුරු කොට, “අස්මි” යන දෘෂ්ටිය හා සම වූ මනානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි.

මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක  තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි  අචල වූ  පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.