සම්මා දිට්ඨි සූත්‍රය – උපාදාන වාරය

January 17th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ උපාදානයත් දනීද, උපාදාන සමුදයත් දනීද, උපාදාන නිරෝධයත් දනීද, උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද,  මෙතෙකින්ද  ආර්ය ශ්‍රාවක තෙමේ  සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණයට පැමිණියේ වෙයි.

උපාදානය කවරේද?

උපාදාන සමුදය කවරේද?

උපාදාන නිරෝධය කවරේද?

උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?

 

මේ උපාදානයෝ සතර දෙනෙක් වෙති.

1. කාමූපාදානය ( වස්තුකාමය තෘෂ්ණාවෙන් දැඩි කොට ගැනීම)

2. දිට්ඨූපාදානය ( දෘෂ්ටිය දැඩි කොට ගැනීම )

3. සීලබ්බතුපාදානය ( බාහිර ශීලවෘත මෝක්ෂ මාර්ගය සේ දැඩි කොට සළකා ගැනීම)

4. අත්තවාදූපාදානය ( ආත්මය ඇතැයි දැඩි කොට ගැනීම )

 

තණ්හා සමුදයෙන් උපාදාන සමුදය වෙයි.

 

තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි.

 

උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාව මේ අරි අටඟිමඟම වෙයි.

එනම්: 1. සම්මා දිට්ඨි.   2. සම්මා සංකප්ප.   3. සම්මා වාචා.  4. සම්මා කම්මන්ත.   5. සම්මා ආජීව .   6. සම්මා වායාම.   7. සම්මා සති.   8. සම්මා සමාධි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ උපාදානය දනීද, උපාදාන සමුදය දනීද, උපාදාන නිරෝධය දනීද, උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය හැර පටිඝානුශය නැති කොට, “අස්මි” “මම” යන බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මෙතෙකින්ම ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි.  ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.