සම්මා දිට්ඨි සූත්‍රය – ජාති වාරය

January 21st, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ඉපදීම දනීද, ඉපදීමේ හේතුවත් දනීද, ඉපදීමේ නිරෝධයත් දනීද, ඉපදීම නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

උත්පත්තිය කවරේද?

උත්පත්ති හේතු කවරේද?

උත්පත්ති නිරෝධය කවරේද?

උත්පත්ති නිරෝධයට පමුණුවන ප්‍රතිපදාව කවරේද?

 

ඒ ඒ සත්වනිකායන්හි ඒ ඒ සත්වයන්ගේ,

යම් අසම්පූර්ණායත වශයෙන් ඉපදීමක්,

පරිපූර්ණායතන වශයෙන් මනා සේ ඉපදීමක්,

පිළිසිඳ ගැනීමක්,

සංසේදජ,

ඕපපාතික,

වශයෙන් ඉපදීමක්,

ස්කන්ධයන්ගේ පහළ වීමක්,

ආයතනයන්ගේ ලැබීමක් වේද,

මේ උත්පත්තිය යයි කියනු ලැබේ.

 

(කර්ම) භව හේතුවෙන් ජාතිය වෙයි.

 

භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි.

 

මේ අරි අටගි මඟම ජාති නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවයි.

එනම්: 1.සම්මා දිට්ඨි   2. සම්මා සංකප්ප   3. සම්මා වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6. සම්මා වායාම   7. සම්මා සති   8. සම්මා සමාධි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ජාතිය දනීද, ජාති සමුදය දනීද, ජාති නිරෝධය දනීද, ජාති නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය දුරු කොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අස්මි” “මම” යන බඳු වූ මානානුශය දුරු කොට, අවිද්‍යාව නසා විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මෙතෙකින්ම ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.