සම්මා දිට්ඨි සූත්‍රය – නාම රූප වාරය

January 12th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ නාම රූපයත් දනීද, නාම රූප සමුදයත් දනීද, නාම රූප නිරෝධයත් දනීද, නාම රූප නිරෝධ ගාමිනී පටිපදාවත් දනීද,  මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

නාම රූපය කවරේද?

නාම රූප සමුදය කවරේද?

නාම රූප නිරෝධය කවරේද?

නාම රූප නිරෝධගාමිනී පටිපදාව කවරේද?

 

1. වේදනාව

2. සංඥාව

3. චේතනාව

4. ස්පර්ශය

5. මනසිකාරය

යන මෙය නාම යයි කියනු ලැබේ.

 

සතර මහ භූතත්  සතර මහ භූතයන් නිසා පවත්නා රූපත් යන මෙය රූපය යයි කියනු ලැබේ.

මෙසේ මේ නාමයත් මේ රූපයත් යන මෙය නාම රූපය යයි කියනු ලැබේ.

 

විඤ්ඤාණ සමුදයෙන් නාම රූප සමුදය වෙයි.

 

විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරෝධය වෙයි.

 

මේ අරි අටඟිමඟම  නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවයි.

එනම්:  1. සම්මා දිට්ඨි  2. සම්මා සංකප්ප  3. සම්මා වාචා  4. සම්මා කම්මන්ත  5. සම්මා ආජීව  6. සම්මා වායාම  7. සම්මා සති  8. සම්මා සමාධි

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ නාම රූපයත් දනීද, නාම රූප සමුදය ත්  දනීද,  නාම රූප නිරෝධයත් දනීද,  නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කොට,  ප්‍රතිඝානුශය දුරු කොට, “අස්මි” “මම” යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා දුක් කෙළවර කරන්නෙක් වෙයි.

මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත  වෙයි.  නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.