සම්මා දිට්ඨි සූත්‍රය – වේදනා වාරය

January 15th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ වේදනාවත් දනීද, වේදනා සමුදයත් දනීද, වේදනා නිරෝධයත් දනීද, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, ආර්ය ශ්‍රාවක තෙමේ මෙතකින්ද සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

වේදනා කවරේද?

වේදනා සමුදය කවරේද?

වේදනා නිරෝධය කවරේද?

වේදනා නිරො!ධගාමිනී ප්‍රතිපදාව කවරේද?

 

1. චක්ඛු සම්ඵස්සයෙන් හට ගත් වේදනාව

2. සෝත සම්ඵස්සයෙන් හට ගත් වේදනාව

3. ඝාන සම්ඵස්සයෙන් හටගත් වේදනාව

4. ජිව්හා සම්ඵස්සයෙන් හටගත් වේදනාව

5. කාය සම්ඵස්සයෙන් හටගත් වේදනාව

6. මනෝ සම්ඵස්සයෙන් හටගත් වේදනාව

යයි  මේ වේදනා කායයෝ හයෙකි.

 

ඵස්ස සමුදයෙන් වේදනා සමුදය වෙයි.

 

ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි.

 

මේ අරි අටඟි මඟම වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවයි.

එනම්:  1. සම්මා දිට්ඨි.   2. සම්මා සංකප්ප.  3. සම්මා වාචා.   4. සම්මා කම්මන්ත.   5. සම්මා ආජීව.   6. සම්මා වායාම.   7. සම්මා සති.   8. සම්මා සමාධි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ වේදනාවත් දනීද, වේදනා සමුදයත් දනීද, වේදනා  නිරෝධයත් දනීද, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය දුරු කොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අස්මි” “මම” ය යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි.

මෙතෙකිනිදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.