අනුත්තරෝ පුරිසදම්ම සාරථී

පංච අනුත්තර ධර්ම

අනුත්තරෝ - තථාගතයන් වහන්සේට වඩා වෙන උතුම් කෙනෙක් නැත. ගුණයෙන්, ශ්‍රේෂ්ඨ විශිෂ්ඨ අග්‍ර කෙනෙකි.

ගුණධර්ම පහක්

  1. ශීල ගුණය  -  ශීල ගුණය අතින් සියළු සිල්වතුන් අතර ලෝකය යට කරන්නේය. දෙවියන්, බ්‍රහ්මයන්, මනුෂ්‍යන්, වෙන කිසිම සත්වයෙක්වත් නැත.

  2. සමාධි ගුණය  -  සමාධිලාභීන් අතර බුදුරජාණන්වහන්සේ අග්‍රයි.

  3. ප්‍රඥා ගුණය  -  සර්වඥතා ප්‍රඥාවෙන් අග්‍රයි.  සර්වඥතා ඤාණයෙන් හිත අහිත වූ  සෑම දෙයක්ම පෙනෙන නිසා, සර්වඥතා ඤාණයට පස්සෙ මහා කරුණා සමාපත්තිමය ඤාණයෙන් බලා කටයුතු කරයි.

  4. විමුක්ති ගුණය  -  ගුරු උපදේශයකින් තොරව තමන් වහන්සේ විසින්ම දුකින් නිදහස් වූ බැවින් බුදුරජාණන් වහන්සේ අග්‍රයි.

  5. විමුක්ති ඥාන දර්ශන ගුණය  -  විමුක්තිය පිළිබඳව දැන ගැනීමේ ඥානයෙන්ද අග්‍රයි.

පුරිස  - පුරුෂයෝ  තුන් ආකාරයි.

  1. මනුෂ්‍ය පුරිස  - අංගුලිමාල, සච්ච්ක වැනි පුරුෂයෝ දමනය කළහ.

  2. අමනුෂ්‍ය පුරිස  -  තිරිසන් නොවන, මනුෂ්‍ය නොවන, පුරුෂයෝ - දෙවියන්, බඹුන්, යක්ෂයන්. ආදීන්.  - (බක බ්‍රහ්මයා, සක්‍රය, සුචිසෝම )

  3. තිරස්චීන පුරිස  -  නාලාගිරි ඇතා

දම්ම  -  දමනය කිරීම. ශාන්ත, සිල්වත්, ගුණවත් විදියට දමනය කිරීම.

දමිත දමනය  -  දමනය වූ පුද්ගලයන් ට ඉදිරියට යාමට කියා දුන්නා.

අදමිත දමනය  -  දමනය නොවූ අයද දමනය කළා.

සාරථී  -  රථයක් පදවන රියැදුරෙක්  නියමිත තැනට විපතක් නොවී, ගෙන යනවා වාගේ නිවන් මාර්ගයෙන් නිවනටම යෑම.

තථාගතයන් වහන්සේ,

  1. අප්පටිමෝ  - තථාගතයන්  වහන්සේගේ සමාධි ගුණය, ශීල ගුණය, ප්‍රඥා ගුණය, විමුක්ති ගුණය, විමික්ති ඤාණ  දර්ශන ගුණය, ඇතුලත් වන ලෙස  බුද්ධ  ප්‍රතිමා පිළියෙල  කළ නොහැකියි.

  2. අසම - තථාගතයන් වහන්සේ කිසිවෙකුටත් සම කළ නොහැකියි.

  3. අසමසම -අසමයන්ට පමණක් සමාන වන නිසා  තථාගතයන් වහන්සේ අසමසම වේ. කිසිවෙකුටත් සම කළ නොහැකි අසම වන්නේ බුදුවරුන්   පමණක් නිසා තථාගතයන් වහන්සේ  බුදුවරුන්ට පමණක්  සමානයි.

  4. අප්පටිභාගො - ධර්ම කරුණු වැරදි යයි කියා අභියෝග කළ නොහැකියි.

  5. අප්පටි පුග්ගලො  - සම්මා සම්බුද්ධ නොවෙයි කියා අභියෝග කළ නොහැකියි.

අනුත්තරෝ පුරිසදම්ම සාරථී ගුණයට මාගේ නමස්කාරය වේවා.