දැන් ඔබට දුකයි ද?

December 27th, 2017

දැන් ඔබට සතුටුයිද කියල නිතරම ඇහෙන කතාවකි.

දැන් ඔබට දුකයිද  කියලා අහන්න හිතුනා.

මොකක්ද මේ දුක කියන්නේ?

අකමැති දෙයක් සිතට කයට සිදු වූ විට, අපිට දුක එනවා.

දුක යනු නරක සිතිවිල්ලක්.

එය ද්වේෂ සහගත සිතිවිල්ලක්.

අපට කැමැති ආකාරයට කිසිවක් සිදු නොවන බව දැන දැනත් අපි බලාපොරොත්තු වෙනවා කැමැති ආකාරයට සිදුවිය යුතුයි කියා.

අපේ සිතීමේ වරදකින් ඇති වෙන දුක ඉවත් කර ගැනීමට හැකි වෙන්නේ අපේ සිතීමේ ක්‍රමය වෙනස් කිරීමෙනි.

සිතීමේ ක්‍රමය වෙනස් කර ගැනීමට ඇති ක්‍රමය කුමක්ද?

බුදුපියාණන්වහන්සේ අපට සදා සැප ලබාගත හැකි වෙන මඟ පෙන්වා දී ඇති ක්‍රමය පිළිපැදීමෙන්, අපේ වැරැදි ලෙස සිතීමේ ක්‍රමය වෙනස් වෙයි.

ඒ මඟ යන්නන්ට දුක ඉවත් වීම හෙවත් සදා සැපයට පත් වීමටද හැකි බව විශ්වාසයෙන්ම පිළි ගෙන එමඟ යමු.

බුදුපියාණන්වහන්සේ දුකම ගැන කතා කරන කෙනෙක් ලෙස පෙන්වා දෙන්නන්ට සදා සැප නොපෙනෙන්නේ මන්ද?

බුදුපියාණන්වහන්සේ දුක ගැනම කතා කළ කෙනෙක් ලෙස නොපෙනෙන මට උන්වහන්සේ සදා සැප ගැනම කතා කළ කෙනෙක් ලෙසයි පෙනෙන්නේ.

මගේ මම යන සිතිවිල්ල නිසාවෙන් දුක ඇති වෙනවා.

මම නැති වූ විට දුකද නැති වෙනවා.

මගේ මම යන සක්කාය දිට්ඨිය නැති වෙන මඟ ගමන් කරමු.

අපේ සිතට එන සෑම අරමුණකදීම ලෝභ මූලිකව සිදු වෙන ඇලීමත්, ද්වේෂ මූලිකව සිදු වෙන ගැටීමත් මෝහය නිසාම සිදු වෙන්නක් වුවත් අපි එය මගේ මම යන දිට්ඨිය තුළ සිටින නිසයි දුක ඇති වෙන්නේ.

ක්ෂණයක් ක්ෂනයක් පාසා ඉපද නැති වෙන අරමුණු හෙවත්  නාමරූප හෙවත් පඤ්චස්කන්ධය ඇලීමෙන් හෝ ගැටීමෙන් හෝ උපාදානය කර නොගෙන ඇති සැටියෙන් දකින්නට අපේ සිත පුරුදු කරමු.

ෂඩ් ඉන්ද්‍රියන් වලට ලැබෙන අරමුණු නිවැරැදිව ඇති සැටියෙන්ම දකින්නට සිත පුරුදු කරමු.

යෝනිසෝමනසිකාරයෙන් සිටින්නට හැකි නම් අරමුණු වල ඇත්ත දකින්නට පුළුවනි.

යෝනිසෝමනසිකාරය ලෙස සඳහන් කලේ නූපන් ආස්‍රව නූපදින ලෙසටත් උපන් ආස්‍රව ගෙවෙන ආකාරයටත් හිතන විදියටයි.

මොළය මැරිලා ද?

December 17th, 2017

මොකක්ද මේ “මොළය මැරිලා” යයි කියන්නේ.

වෛද්‍ය විද්‍යාවට අනුවනම් අර්ථ දැක්වීම් තිබෙන බවනම් කවුරුත් දන්නවා.

ඒ වුනාට සාමාන්‍යය ජනතාවට මෙය තේරුම් ගන්නට බැරි බවනම් සිතෙනවා.

මොළය මැරුණු පුද්ගලයන් ගැන දින කිහිපයක් බලා සිට, ඉන්පසු ඔවුන්ගේ අවයව ඉවත් කරමින් වෙනත් පුද්ගලයන්ට බද්ධ කිරීමේ සැත්කම කරන්නට ලංකාවේ වෛද්‍යවරුන් දෙන  උපදෙස ගැන මොනවාද සිතෙන්නේ?

එසේ කිරීම මහත්ඵල මහානිශංස පුණ්‍ය ක්‍රියාවක් බවද ඔවුන් සඳහන් කරන්නේ කෙසේද කියාත් මහත් ගැටළුවකි.

මට එසේ සිතෙන්නේ වෙනත් රටවල මොළය මැරුණු පුද්ගලයන් මාස හත අටක් අවුරුද්දක් වගේ කාලයක් සිට නැවැත සුවය ලැබූ අවස්ථාවන්ද ඇති බව කියවෙන කතා පුවත් නිසාවෙනි.

නිවුන් දරු උපතක්  සිදු කිරීමට  සිටි අම්මා කෙනෙක් වැටීමෙන් මොළය මැරී, රෝහල් ගතව  මාස හතරක් ඉක්මවූ පසු ඉතාම නීරෝගී දරු දෙදෙනෙක් ලබා ගත් පුවතක්ද ඉතාම මෑතකදී අසන්නට ලැබුණු පුවතකි.

ලංකාවේ මොළය මැරුණු පුද්ගලයෙක් ගැන ඉතාම ටික දිනක් පමණක් රදවා ගන්නේ අවයව බද්ධ කිරීමට අවශ්‍ය පුද්ගලයන් සොයා ගන්නා තෙක්ම  පමණක් බවයි මට සිතෙන්නේ.

සාමාන්‍ය තුවාලයක් සනීප වෙන්නට යන තරම්  කාලයක්වත්  මොළය මැරුණු පුද්ගලයා වෙනුවෙන් කලයුතු දේ කරන්නට අපේ රෝහල් වල ඉඩ පහසුකම් නැද්ද?

මොළය මැරිලා කිව්වට හදවත වැඩ කරන නිසා එම පුද්ගලයා නොමැරුණු කෙනෙකි.

එමනිසා මගේ අදහසනම් මොළය මැරුණු පුද්ගලයාට කරන බරපතලම වරදක් අපේ රෝහල් වලින් කරන බවකි.

මොළය මැරුණු පුද්ගලයාගේ හදවත ක්‍රියාකරන නිසා එම පුද්ගලයාගේ සිත ද සක්‍රියව පවතින බවකි.

එමනිසා එම පුද්ගලයාගේ පණ තියෙද්දීම, අවයව උදුරා ගැනීම සාහසික ක්‍රියාවක් සහ මිනී මැරුමක් ලෙසයි මට සිතෙන්නේ.

එය මහත්ඵල මහානිශංස දෙන පින්කමක් නොව සතර අපාගත වෙන මහා පවක් ලෙසයි මට සිතෙන්නේ.

උදාහරණයක් ලෙස අපි මෙහෙම සිතමු. අංශබාගය හැදුණු පුද්ගලයෙක්ගේ  මොළය කොටසක් මැරිලා නිසා නේද එම පුද්ගලයාට එම අංශය පිළිබඳව චලනයන් ආදී ක්‍රියාවන් කිරීමට අපහසු වෙන්නේ.

එවිට අපි ඒ රෝගියාගේ එම අංශයේ ඇති සෙලවිය නොහැකි අතක් පයක් වැනි බාහිර අවයවයක් හෝ ඉවත් කර වෙනත් කෙනෙකුට බද්ධ කරන්නට, එම පුද්ගලයා කැමැති වෙනවාද?

“ඔබට දැන් මේ අත පය සෙලවිය නොහැකි නිසා වැඩක් නැහැනේ” කියා මහත්ඵල මහානිශංස පින්කමක් කරගන්නට මේ අත පය වෙනත් කෙනෙකුට බද්ධ කරන්නට යොදා  ගන්නවා කියා  එම පුද්ගලයාට කිව හැකිද? එසේ කිව්වාම එම පුද්ගලයා එයට අනුබල දේවිද?

සිංහල තෙල් බෙහෙත් වලින් අවුරුදු ගණනාවක් හෝ සාත්තු කර සුව කරගැනීමට තමයි එවිට හැම කෙනෙක්ම වෙහෙසෙන්නේ.

එහෙම සුව කළ දක්ෂ සිංහල වෛද්‍යවරුන් සිටි බවටත් කතා පුවත් අසා ඇත.

එමනිසා මොළය මැරුණු පුද්ගලයෙකුගේ  හදවත  ක්‍රියාත්මක වන නිසා, සිතද ක්‍රියාත්මකව ඇති බැවින්, සමහර විට එම පුද්ගලයාගේ අවයව ගැනීමට සූදානම් වෙන බව දැණුනු විට “එපා මගේ අවයව ගන්න ” කියා හිතෙන්නත් ඇති. නමුත් ඒවා වචන වලින් පිට කරගන්නට බැරි වෙන්නේ ස්නායු වල ඇති  ක්‍රියාවලිය තාවකාලිකව නතර වී හෝ ක්‍රමානුකූලව හෝ සිදු නොවන නිසාවෙන් වෙන්නට පුළුවනි.

මෙවැනි අසරණ තත්වයට පත් වූ රෝගියෙකුට සළකන අයුරු මසිතට ගැටළුවකි.

වෛද්‍යවරුන්ටනම් අවයව බද්ධ කිරීමේ පලපුරුද්ද වැඩි කර ගැනීමට හොඳ අවස්ථාවක් වේ.

මොළය මැරුණු පුද්ගලයන්ගේ ඥාති වරුනි, ඔබේ රෝගියා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?

බොහෝ කාලයක් ගත වී හෝ සුවපත් කර ගැනීමටද? නැත්නම් මහත්ඵල මහානිශංස පින්කමක් වෙනුවෙන් කියා අවයව දීමටද?

මොළය සම්බන්ධ සහ ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරුනි, මෙවැනි රෝගියෙක් සුවපත් කරන්නට පුළුවන්ද කියා සොයා බලන්නට සිතෙන්නේවත් නැද්ද?

අළුත් සොයා ගැනීම් කිරීමට අපේ රටේ විද්වතුන්ට අව්ස්ථාවන් සහ පහසුකම් නැතුවාද? නැත්නම් එවැනි පුද්ගලයන්ට එවැනි දෑ සෙවීමට හිතෙන්නේ නැතුවාද?

මව්කුස ඇති කළලයන් විනාශ කිරීම වැරැදි දෙයක් නම්, මොළය මැරුණු එහෙත් නොමැරුණු පුද්ගලයෙක් මරණයට  පත් කරවන ක්‍රියාවන්හි යෙදීමද වරදක් ලෙසයි මට සිතෙන්නේ.

බුදුදහමට අනුවද එය මහා පවක් ලෙසයි මට සිතෙන්නේ.

ඕනෑම පුද්ගලයෙකුගේ ඉපදීම සහ මරණය එම පුද්ගලයාගේ කර්ම ශක්තියට අනුව සිඳු වෙන දෙයක් නිසා කිසිවෙකුට තව කෙනෙක් මරණයට පත් කිරීම  සහ මරණයට  පත් වෙන අයුරින් කටයුතු කිරීම, නුසුදුසු සහ නොකලයුතු සහ පව් සිඳු වෙන දෙයක් ලෙසයි මට සිතෙන්නේ.

අක්ෂිදාන සංගමය විසින් පණ තියෙද්දීම ඇස් දන්දීමට කැමැත්ත පිළිබඳව ප්‍රකාශන  ලබා ගන්නා ආකාරයට මොළය මැරුණොත් බලා නොසිටම අවයව දන් දීමට කැමැත්ත පිළිබඳව ප්‍රකාශනයන් ලබා ගෙන තිබෙනවාද?

එහෙම ප්‍රකාශන ලබාදුන් පුදගලයන්ගේ අවයව ගැනීමෙන් නම්, එම පුද්ගලයාට  මහත්ඵල මහානිශංස පින්කමක් සිදු විය හැකියි කියා සිතෙනවා.

 

 

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin