දැන් ඔබට දුකයි ද?

December 27th, 2017

දැන් ඔබට සතුටුයිද කියල නිතරම ඇහෙන කතාවකි.

දැන් ඔබට දුකයිද  කියලා අහන්න හිතුනා.

මොකක්ද මේ දුක කියන්නේ?

අකමැති දෙයක් සිතට කයට සිදු වූ විට, අපිට දුක එනවා.

දුක යනු නරක සිතිවිල්ලක්.

එය ද්වේෂ සහගත සිතිවිල්ලක්.

අපට කැමැති ආකාරයට කිසිවක් සිදු නොවන බව දැන දැනත් අපි බලාපොරොත්තු වෙනවා කැමැති ආකාරයට සිදුවිය යුතුයි කියා.

අපේ සිතීමේ වරදකින් ඇති වෙන දුක ඉවත් කර ගැනීමට හැකි වෙන්නේ අපේ සිතීමේ ක්‍රමය වෙනස් කිරීමෙනි.

සිතීමේ ක්‍රමය වෙනස් කර ගැනීමට ඇති ක්‍රමය කුමක්ද?

බුදුපියාණන්වහන්සේ අපට සදා සැප ලබාගත හැකි වෙන මඟ පෙන්වා දී ඇති ක්‍රමය පිළිපැදීමෙන්, අපේ වැරැදි ලෙස සිතීමේ ක්‍රමය වෙනස් වෙයි.

ඒ මඟ යන්නන්ට දුක ඉවත් වීම හෙවත් සදා සැපයට පත් වීමටද හැකි බව විශ්වාසයෙන්ම පිළි ගෙන එමඟ යමු.

බුදුපියාණන්වහන්සේ දුකම ගැන කතා කරන කෙනෙක් ලෙස පෙන්වා දෙන්නන්ට සදා සැප නොපෙනෙන්නේ මන්ද?

බුදුපියාණන්වහන්සේ දුක ගැනම කතා කළ කෙනෙක් ලෙස නොපෙනෙන මට උන්වහන්සේ සදා සැප ගැනම කතා කළ කෙනෙක් ලෙසයි පෙනෙන්නේ.

මගේ මම යන සිතිවිල්ල නිසාවෙන් දුක ඇති වෙනවා.

මම නැති වූ විට දුකද නැති වෙනවා.

මගේ මම යන සක්කාය දිට්ඨිය නැති වෙන මඟ ගමන් කරමු.

අපේ සිතට එන සෑම අරමුණකදීම ලෝභ මූලිකව සිදු වෙන ඇලීමත්, ද්වේෂ මූලිකව සිදු වෙන ගැටීමත් මෝහය නිසාම සිදු වෙන්නක් වුවත් අපි එය මගේ මම යන දිට්ඨිය තුළ සිටින නිසයි දුක ඇති වෙන්නේ.

ක්ෂණයක් ක්ෂනයක් පාසා ඉපද නැති වෙන අරමුණු හෙවත්  නාමරූප හෙවත් පඤ්චස්කන්ධය ඇලීමෙන් හෝ ගැටීමෙන් හෝ උපාදානය කර නොගෙන ඇති සැටියෙන් දකින්නට අපේ සිත පුරුදු කරමු.

ෂඩ් ඉන්ද්‍රියන් වලට ලැබෙන අරමුණු නිවැරැදිව ඇති සැටියෙන්ම දකින්නට සිත පුරුදු කරමු.

යෝනිසෝමනසිකාරයෙන් සිටින්නට හැකි නම් අරමුණු වල ඇත්ත දකින්නට පුළුවනි.

යෝනිසෝමනසිකාරය ලෙස සඳහන් කලේ නූපන් ආස්‍රව නූපදින ලෙසටත් උපන් ආස්‍රව ගෙවෙන ආකාරයටත් හිතන විදියටයි.