බුදු ගුණ

June 26th, 2009

නමාමි බුද්ධං ගුණ සාගරංතං සත්තා සදා හොන්තු සුඛී අවේරා

කායෝ ජිගුච්චෝ සකලෝ දුගන්දෝ ගච්චන්ති සබ්බේ මරණං අහංච

ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිසද්ම්ම සාරථී සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.

1. ඉතිපිසෝ භගවා අරහං අප භාග්‍යවතුන් වහන්සේ, සසර පෙර පුරුදු සමගම, සියලු කෙලෙසුන් දුරු කළ හෙයින්ද, සියලු පාපයන්ගෙන් මිදුන හෙයින්ද, රහසින්වත් පව් නොකළ හෙයින්ද, සියලු ලෝ වැසියන්ගේ, උතුම් ආමිෂ පූජාවන්, අති උතුම් ප්‍රතිපත්ති පූජාවන්, සියල්ලටම සුදුසු වන හෙයින්ද, අරහං නම් වන සේක.

2. ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ අප භාග්‍යවතුන් වහන්සේ, කෙටියෙන්ම කියනවනම්, පඤ්ච උපාදානස්කන්ධයම දුක බවද, පඤ්ච උපාදානස්කන්ධ දුක හට ගැනීමද, පඤ්ච උපාදානස්කන්ධ දුක නැති කිරීමද, පඤ්ච උපාදානස්කන්ධ දුක නැති කරන මගද යන, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය, කිසිවෙකුගේ උපකාරයකින් තොරව, තමන් වහන්සේ විසින්ම, අවබෝධ කළ හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක.

3. ඉතිපිසෝ භගවා විජ්ජා චරණ සම්පන්නෝ අප භාග්‍යවතුන් වහන්සේ, නාම රූප ධර්මයන්හි තිලකුණු, මනා නුවණින් දැකීම, පෙර විසූ භවයන් දැකීම ආදී, ඥානයන් අටකින්ද, පාතිමොක්ඛ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආදී චරණ ධර්ම පහළොවකින්ද, සමන්විත වන හෙයින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. ඉතිපිසෝ භගවා සුගතෝ අප භග්‍යවතුන් වහන්සේ, කාමසුකල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය යන, අන්ත දෙකටම නොබැඳි අත්හැර, මධ්‍යම ප්‍රතිපදාව භාවිතා කර ගෙන, පරම සත්‍ය දුටු සිතකින් යුක්තව, දුටු දුටුවන් පහදින ගමනින් යුක්තව, ඇසු ඇසුවන් පහදින වදනින් යුක්තව, සසර කතරේ අතරමං නොවී, නිවන් අවබෝධයටම පැමිණි හෙයින්, සුගත නම් වන සේක.

5. ඉතිපිසෝ භගවා ලෝක විදූ අප භාග්‍යවතුන් වහන්සේ, සියලු ලෝකයන්හි සියලු දේ පිළිබඳව, ලෞකික වශයෙන්ද, ලෝකෝත්තර වශයෙන්ද, සම්මුතික වශයෙන්ද, පරමාර්ථ වශයෙන්ද, සියල්ල දන්නා නුවණින්, සමන්විත වන හෙයින්, ලෝක විදූ නම් වන සේක.

6. ඉතිපිසෝ භගවා අනුත්තරෝ පුරිසදම්ම සාරථී අප භාග්‍යවතුන් වහන්සේ, දෙවි බඹුන්ටද හික්මවිය නොහැකි, අති චණ්ඩ අධිමාන කෛරාටික, නොහික්මුණු තැනැත්තන්, නැවත වෙනස් නොවන පරිදි, මනා සේ හික්මවා, ධර්මයෙහි පිහිටුවා, යහමගට ගැනීමෙහි, අග්‍රෝත්මයාණන් වහන්සේ වන හෙයින්, අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක.

7. ඉතිපිසෝ භගවා සත්ථා දේව මනුස්සානං අප භාග්‍යවතුන් වහන්සේ, නුගත්, උගත්, බුද්ධිමත්, නුවණැති මෙලොව මිනිසුනටද, දෙව් ලොව දෙවි වරුන්ටද, බඹ ලොව බ්‍රහ්මයන්ටද, ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදී, නිවන් සුව අවබෝධය පිණිස, අවවාද අනුශාසනා කරන, එකම ශාස්තෘවරයාණන් වහන්සේ වන හෙයින්, සත්තා දේව මනුස්සානං වන සේක.

8. ඉතිපිසෝ භගවා බුද්ධෝ අප භාග්‍යවතුන් වහන්සේ, භයංකර වූ සසර දුකද, සසර දුක හට ගැනීමද, සසර දුක නැති කිරීමද, සසර දුක නැති කරන මගද යන, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය, වට තුනකින් දොලොස් අයුරකින්, මනාව අවබෝධ කොට, අන්‍යන්ගේ අවබෝධය පිණිසද, දේශනා කළ හෙයින්, බුද්ධ නම් වන සේක.

9. ඉතිපිසෝ භගවා භගවා අප භාග්‍යවතුන් වහන්සේ, අන්‍ය ශාස්තෘවරු හැමදෙනා මෙන් නොව, අප්‍රමාණ වූ සම්‍යක් ශීලයකින්ද, අප්‍රමාණ වූ සම්‍යක් සමාධියකින්ද, අප්‍රමාණ වූ සම්‍යක් ප්‍රඥාවකින්ද, කියා, ගයා, ලියා නිම කළ නොහැකි, අප්‍රමාණ වූ බුදු ගුණයන්ගෙන්, සම්න්විත වන හෙයින්ද, සසර ගත සියලු සත්වයන් හට, සම්බුදු සරණ පිණිසද, සදහම් සරණ පිණිසද, සඟ සරණ පිණිසද, සිව් වනක් පිරිසම ඇති කළ නිසා, සියලු ලෝ වැසියන් විසින්ම, ගරු කිරීමට සුදුසු වන හෙයින්, භගවා නම් වන සේක.

යේච බුද්ධා අතීතාච – යේච බුද්ධා අනාගතා

පච්චුප්පත්තාච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා

නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං

ඒතේන සච්ච වජ්ජේන – පඤ්ඤා වඩ්ඩන්තු මේ සබ්බදා


One Response to “බුදු ගුණ”

  1. Charitha Diisanayake on January 17, 2010 15:21

    සොයුරිය

    ඔබගේ බුදුගුණ විස්තරයේ එක් වැරදි තැනක් දිටිමි. අනත්ත බුදුගුණ නව අරහාදි බුදුගුණ ලෙස කැටිකොට දක්වන්නේ ඔබ විස්තර කළ ගාථාවෙනි.
    නමුත් එය ලියන්නේ හා/හෝ ශබ්ද කරන්නේ ” ඉතිපි සෝ භගවා අරහං … ” යනාදි ලෙසිනි. ඉතිපි යන්නෙහි අර්ථය “ඉෂ්ට වූ ප්රිය වූ” යන්නයි. සෝ භගවා යනු ” ඒ භාග්‍යවතුන් වහන්සේ ” යන්නයි. (මෙය ඉතිපිසෝ භගවා ලෙස කිසිවිටෙක නොලියන්න. එසේ ශබ්ද නොකරන්න. එයින් වැරදි අර්ථයක් ගෙනදෙයි)