බුදුන් වහන්සේ නොවඩින සේක්වා!

March 13th, 2018

අග්ගමහා පණ්ඩිත පූජ්‍ය බළංගොඩ ආනන්දමෛත්‍රී නාහිමිපාණෝ විසින් ලියැවුනෙකින් උපුටා ගන්නා ලදී.

එක් ශාන්ත පුරුෂයෙක් මඟ බැස යෙයි. හේ ප්‍රවුජ්ජිතයෙකි. ඔහුට පාවහන් නැත. ඔහුගේ පිටෙහි අංශයෙක එල්ලාගත් පාත්‍රයෙක් වෙයි. සංසුන්වැ වියදඬු පමණ බැල්ම හෙලා වඩනා ඔහු පසුකැර මෝටර කාරයෙක් යෙයි. මෝටර කාරයේ සෙරෙප්පු කූට්ටමක් ලා, පට සිවුරක් ඇඳ පැත්තකින් හම් බෑගයක්ද තබාගෙනැ බඩ ඉදිරියට නෙරවා දෙපා පළලට දිග හැරී හාන්සි වී ඉන්නා හාමුදුරු කෙනෙකුත්  හොඳට ඇඳ පැළැඳ ගත් ඔහුගේ දායකයාත් ය. නායක තැන යටකී පාර අද්දරින් සන්සුන්ව යන පැවිදි නම ඈත සිටම දකී. හිස ඇල කොට ඇස හීන් කොටැ ඔහු දෙස හෙලා දැකුම් සහිත බැල්ලමක් හෙලයි. දායකයා අමතා “බලන්න මහත්මයා මේ පොට්ටනි එල්ලාගෙන ඇවිදින හොරුන් නිසා අප ශාසනයට වී තිබෙන අවනම්බුවක මහත. කුහක කමට ගිය ගිය තැන පාත්‍රය එල්ලාගෙන ඇවිදින තාලයෙ හැටියට ගෞරවය රැකගෙන ක්‍රියා කරන්නට නොදන්නා මේ උන්නාන්සේලා නිසා තමයි ශාසනය මෙච්චර පහත වැටී තියෙන්නේ” යැයි කියයි. “එහෙයි” කියා දායකයාද ප්‍රතිවචන දී නායක හාමුදුරුවන්ගේ බස මුදුනෙන් පිළිගනී.

යට කී හුදැකලාවැ යන පැවිදි නම දායක ගෙදරකට ගොස් සාංඝික දානයකට ගොස් එන භික්ෂූන් සමූහයකට හමුවෙයි. ඒ පිරිසෙහි මුලින් එන්නේද නායක මහණෙකි. සෙරෙප්පු දෙකක් දමාගෙන කළු කුඩයක් ඉසලා බඩ ඉදිරියට නෙරවා ඈති පා තබමින් බරපතළකම පාමින් හෙතෙමෙ යෙයි. ඔහුගේ අනුචර ශ්‍රමණ පිරිසද අල්ලාප සල්ලාප බෙනෙමින් ඒ මේ අත බලමින් යෙති. නායක තැන යටකී හුදකලාව යන පැවිද්දහු දැක හෙලා දැකුම් සහිත බැල්ලමක් ලා ඉවත බලා ගනී. අනුචර පැවිද්දෝ නින්දා සහිත බැල්ලමක් හෙලා “කුහකයෙකැයි, පොට්ටනිකාරයෙකැ යි සොර යැයි” ආදී බස් කොඳුරති. ඔවුන් කිසිවෙක් ඒ හුදකලා පැවිදි නමට මඟ නොහරි යි. ඔවුනට වැඩිමල් පෙනුමක් ඇති හේ මඟින් අයින්ව යයි.

ආගම දියුණුවට වැඩකරන මහා බෞද්ධයෙකුට හේ හමු වේ. කලිසම් හැඳගත් ඒ බෞද්ධයා යථෝක්ත චාම් පෙනීමක් ඇති පැවිදි නමට මඟ නොහරී ඒ පැවිදි නමම අයින්වැ ඔහුට මඟ හැර යයි. ජාතික ඇඳුම නමින් සම්මත ඇඳුමින් සැරසුන රට හදන්නට දඟලන්නෙක් ඉදිරි මඟින් ඒ පැවිදි නමට හමු වෙයි. හේද මඟ නොහැරම යයි. පැවිදි නම අයින්වැ ඔහුට මඟ හරියි. බෞද්ධ උසස් විද්‍යාලයෙක ආචාර්‍යවරුන් කීප දෙනෙක් සහිත උසස් පන්තියක ශිෂ්‍ය පිරිසක්ද ඉදිරි මඟින් එති. ඔවුන් කිසිවෙක් ඒ පැවිදි නමට මඟ නොහරී. පැවිදි නම ම ඔවුන් සැමට මඟ හැර අයින්වැ යෙයි.

හොඳටම හවස් වෙයි. ඒ පැවිදි නම එක් පටු පාරකට බැස යෙයි. රෝමාණු කතෝලික පාදිලි කෙනෙක් ඉදිරි මඟින් හමු වෙයි. ඒ පාදිලි තැන යට කී පැවිදි නම දැක ඕනෑ කමින් බලා සැළකිලි සහිතව අයින් වී මඟ හරී. බසක් දෙකක් කතා කොටැ සතුට දක්වයි.

අඳුරු වෙයි. යථෝක්ත පැවිදි නම එක් පන්සලකට පැමිණෙයි. රෑ නවාතැනටයැ. එහි අධිපති ස්ථවිර තැන දායකයන් කීප දෙනෙකුත් සමඟ කථාවෙහි යෙදී සිටින වේලාවකි. ආරාමයට පැමිණ යට කී හුදකලා පැවිදි නමට ඔන්න ඔහෙන් ඉඳගන්නැයි ඈත අස්සනක් පෙන්වයි. ස්ථානාධිපති තැනට ආගන්තුකයෙකු ආ බව සඳහන් නැති. තමාගේ ආරාමය තිබෙන ගමේ අන් භික්ෂුවක් පිණිස කීප දෙනෙකුන් ආරාමයක් සෑදීම ගැන “එය නවතාලන්නට කවර උපායක් යොදමුදෝ” යි දායකයන් හා හේ ලොකු සාකච්ඡාවෙකැ යෙදී ඉඳී.

රෑ ඉස්තෝප්පුවේ ඇඳෙකැ. ඒ පැවිදි නම නිදා හිඳ උදේ එහි ප්‍රධාන මහණහට දන්වා පිටත් වෙයි. හේ ඉන් නික්ම යන්නේ අන් ආරාමයකට පැමිණෙයි. ඒ සියම් නිකායේ පන්සලකි. එහි භික්ෂූහුද පැවිදි නමගෙන් “ඔබ සියම් නිකායේදැ” යි අසති. නැතැයි හේ උත්තර දෙයි. ඔවුන්ගේ සැළකිල්ල අඩුවෙයි. එදා සාංඝික දානයකි. සාංඝික කරන තුරු ඒ පැවිදි නම ඉවත් කෙරෙති.

එයින් නික්ම යන ඒ පැවිදි නම පසු දින අමරපුර නිකායේ ආරාමයකට එළඹේ. එය මහා විනයධර නායක කෙනෙකුන් ඉන්නා තැනෙකි. හේ යට කී පැවිදි නමගෙන් “අමරපුර නිකායේදැ”යි අසයි. නැතැයි හේ කියයි. එතැනදීද මඳක් ඒ පැවිදි නම ඈත් කෙරෙති. ඉන් පසුව රාමඤ්ඤ නිකායේ පන්සලකට හේ යයි. එහිදී රාමඤ්ඤ නිකායේදැයි අසන ලදින් නැතැයි ඔහුගෙන් පිළිතුරු වෙයි. ඉන්පසු සැළකිල්ල මඳ වෙයි.

මෙසේ ඇවිදිනා ඒ පැවිදි නමට සමහර ආරාම වලදී  සොරකැයි නවාතැන් පවා නොදෙති. සමහර තැනෙකදී  කුහකයෙකැයි නිග්‍රහ කෙරෙති. සමහර තැනකදී  අළුත් පැෂන් ගත් තරුණ භික්ෂූන්ගේ උසුළු විසුළු වෙයි. සියම් නිකායේ භික්ෂූහූ ඔහු ඇස් බැම ගා දමා ඇත්තෙක්දැයි බලති. එහිත් ගම් වදනටත්, ඒකාංශය වසා පොරෝන සමහරු, ඒ පැවිදි නමටත් එසේමදැයි සෝදිසි කෙරෙති. අමරපුර නිකායේ භික්ෂූහූ ඒ පැවිදි නම තමන් සේ හදිනා පොරෝනා කෙනෙක්ද? ආදීන් සොයති. රාමඤ්ඤ නිකායේ භික්ෂූහූ හේ ගොටු අත්තක් දරන්නෙක්දැයි තදින් විමසති. ගිහි මහා බෞද්ධයොත් තදනුචරයොත් ඒ පැවිදි නම ගැන කිසිදු සැළකිල්ලක් නොකරති.

මඟ යන ඒ පැවිදි තුමාගේ ශාන්ත වේශය දැක පැහැදුණි. ඒ තාක් දුර විමසුම් සහිතවැ පසුපසින් ආ දුප්පත් උපාසකයෙක් ඉතා ගෞරවයෙන් එතුමා සිය ගෙට වැඩමවා සංග්‍රහ කෙරෙයි. වළඳා අවසනැ එතුමා භුක්තානුමෝදනාව කෙරෙයි. එය ඇසූ උපාසක තෙම විමසුම් සහිත වේ. හේ විමසයි. ඇඳින ගනී. හේ මෙසේ දුක්මුසු වදන් කියන්නට වෙයි.

“අනේ ! මේ මාගේ සම්මා සම්බුදු හාමුදුරුවෝ නොවෙත්ද? උන්වහන්සේ අඳුනා ගන්නට බැරිවිය. අපේ නායක ස්වාමීන්වහන්සේලා ඉතා වැඩි දෙනාටත් තදනුගාමී පැවිද්දන්ටත් බුදුහාමුදුරුවන්වත් අඳුනා ගන්නට බැරි විය. අනේ වූ දෙයක හැටි. නෑ පුදුමයක් නොවෙයි. ඒ කිසි කෙනෙක් හැබෑ බෞද්ධයෝ නොවෙති. ඒ නිසයි මෙහෙම වුනේ”.

අද බුදුරජාණන්වහන්සේ වැඩියොත් වෙන්නේ මේ ටිකයි. එහෙත් බුදුරදහු නම් නොවඩිති. එයමැ සැනසිල්ලට කරුණය.

 

 

 

 

මතු ලොව්තුරා බුදු බව පැතූ අප නාසමිඳු……

March 12th, 2018

බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘ  පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳු ගතින් අප අතර නැති වුවත් අප සිත් තුල ජීවමාන බව නම් කිව යුතුමයි.

ලෝකයේ සිටින සියළුම දෙනා වෙනුවෙන් මහත් වූ කරුණාවෙන්ම බුදුදහම බෙදා දීම සඳහා  “සැම හිත සුව පිණිස” බෞද්ධ මාධ්‍යජාලයක් පළමුව ආරම්භ කලේ පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්වහන්සේමයි.

“අඳුරට ශාප කරනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම වටිනවා” යන කියමන සනාථ කරමින්  බෞද්ධයා මාධ්‍යජාලය ආරම්භ වූයේ පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුගේ අධිෂ්ටානය, වීර්‍ය, මෛත්‍රිය, ඉවසීම, ප්‍රඥාව…….. ආදී පාරමිතාවන් සපුරාලන අයුරිනි.

බෞද්ධයා මාධ්‍යජාලය තුලින් ශ්‍රැතමය ඤාණය ඇති කරමින්, පරියාප්තිය සහ ප්‍රතිපත්තිය පෙන්වා දෙමින්, ප්‍රතිවේදයට පත් වීමට මඟ විවර කිරීමේ ආරම්භකයා පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුයි.

අසදෘෂ  මහා පින්කම් රාශියක්ම කිරීමේ පුරෝගාමියා වූයේ ද පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුයි.

අටමස්ථානය,  සොළොස්මස්ථානය ආදී වටිනා පූජනීය ස්ථානවලදී ලක්ෂ සංඛ්‍යාත ජනතාව සහභාගී කරවා ගෙන පින්කම් කිරීමේ ආරම්භක ස්වාමීන්වහන්සේ වන්නේද පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුයි.

කිසිවෙක් නොකළ ඉතාම වටිනා පින්කමක් ලෙස  ලොවටම ආදර්ශයක් දෙන  වස විසෙන් තොර ආහාර ලබා දීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීමට පුරෝගාමීයා වූයේද පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුමයි.

ජනතාවට මුහුණ දීමට සිදු වූ  හදිසි ආපදා තත්ත්වයන් වලදී වර්ග බේදයකින් තොරව සියල්ලන්ටම සෑම අයුරින්ම උදව් උපකාර කලේය. මහා ගංවතුරෙන් විශාල හානියක් සිදු වූ විට, භෞතිකව කල උදව්  උපකාර වලට අමතරව නිදහස් චතුරස්‍රයේ දී තුන් නිකායේම ස්වාමීන්වහන්සේලා දහසක් වඩම්මවා පිරිත් දේශනා පවත්වා රටටත් රටවැසියන්ටත් ආශිර්වාද කරමින් සෙත් පැතීමේ  මහා කාරුණික සිතක් පහල වූයේද පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුටයි.

උතුරු, උතුරු මැද ප්‍රදේශ වලට බලපෑ මහා නියඟයේදී රතන සූත්‍රයෙන් පිරිත් කල වතුර බෝතල් ලක්ෂ ගණනාවක් සහ අවශ්‍යය කරන වියළි ආහාර ද්‍රව්‍යය  කන්ටේනර් පුරවා  ගෙන ගොස්  ලබා දී,  ගල් විහාරයේදී මහානායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වැසි පිරිත දේශනා කර, බුදු පිළිම වහන්සේගේ දෙපා දෝවනය කර, වැස්ස ඇති වීමට කල ඒ පින්කම අවසන් කර නැවැත කොළඹ ප්‍රදේශයට එන්නටත් ප්‍රථම නියඟය අවසන් වී මහ වැසි ඇති වූයේ අප නාසමිඳුගේ පාරමිතා සපුරාලන්නට මෙනි.

ලෝවැසි සියළුම රෝගීන්ට නීරෝගී සුවය පතා ඖෂධ වර්ග 108 කින් සකස් කල ඖෂධ ගිලන්පස  පූජාව සෑම සැන්දෑවකම පැවැත්වීමටත්, දෙතිසක් ව්‍යංජන සහිත දහවල් බුද්ධ පූජාවත්, උදෑසන 5.30 ට ආරම්භ කරන සත්බුදුවරුන් වෙනුවෙන් පවත්වන කිරි ආහාර පාත්‍ර  7 ක් සහිත බුද්ධ පූජාවත්  දිනපතාම පැවැත් වීමට අනුශාසනා කරමින් ආශිර්වාද කල පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුගේ අළුත් ජීවිතය සුවපත් වේවා.

නාසමිඳු  නැතිව  අප  සැම  දුක්           වෙනවා

නාසමිඳු   ලැබ   දෙවියෝ   තුටු            වෙනවා

කෙනෙකුගෙ දුක තවකෙනෙකුට සැප දෙනවා

දෙසු   බුදුවදන්    අප   සැමටම         සිහිවෙනවා

ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන බෞද්ධ දරුවන්ට  දහම් පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින විට, ඒ දරුවෝ වෙනුවෙන්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් පාසලක් මූලිකව ආරම්භ කලේ පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුයි.

බෞද්ධ පිරිසගෙන්  පමණක් නොව අබෞද්ධ පිරිසගෙන්ද  ඔබවහන්සේ ගේ ධර්ම ප්‍රචාර, සමාජ සත්කාර, අභයදානමය ආදී නොයෙක් පින්කම් සඳහා සහයෝගය සහ  ආශිර්වාදය  ලබන්නට තරම් පින්වන්ත වූයේ අප නාසමිඳුයි.

විවිධ ආකාරයෙන් බුදු දහමේ පණිවිඩය ගෙන යන්නට ඔබවහන්සේට සිත් වූයේ, විවිධ ආකාරයේ සිතුම් පැතුම් ඇති සැම දෙනාටම සාධාරණයක්  වෙන අයුරින් බව හැඟේ.

බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස සැළකෙන දළදා මාළිගාවේ රන් සහ රිදී දොරවල් දෙකම  සකස් කොට දීමට පුරෝගාමී වූයේද දරණාගම කුසලධම්ම නාසමිඳුයි. බෞද්ධ අබෞද්ධ පිරිසේ ශ්‍රද්ධා බීජය රෝපණය කිරීමට දැරූ උත්සහයේ අවස්ථාවන් බොහෝය.

කුසල් සිත් ඇති වෙන අයුරින් කල බොහෝ  දෑ වෙනුවෙන් අප සැමටම දායක වීමට ලැබීමත් අප සැම කල පෙර පිනෙක විපාකයක් යැයි සිතේ.

බුදු දහමේ ඇති කර්ම විෂයෙන් ඇති වෙන ප්‍රථිඵල ගැන සම්මාසම් බුදු වරයෙකුට පමණක් කිව හැකි දෙයක් බව පෙන්වා දීමටද ඔබවහන්සේ මෙවැනි නොසිතූ ආකාරයට නොසිතූ වෙලාවක අප හැර ගියේ. අපේ බුදුපියාණන්වහන්සේටද නොයෙක් රෝගී තත්ත්වයන්ට මුහුණ පාන්නට සිදු වූ බවත් නොරහසකි.

ඔබවහන්සේගේ චිත්ත ශක්තිය සහ සෘජු බව, ඔබවහන්සේට වැළඳුණු රෝගයට අඩපන කරන්නට බැරි වී ඇති බව, අවසන් වදන් වලින් අපට පැහැදිලි වුනා. ඒ වදන් සත්‍යයක්මයි. අපි සැම දෙනාම ඔබවහන්සේට පින් දෙමින් බෞද්ධයා සමඟින් සිට  නිවනම සාක්ෂාත් කර ගැනීමට  උත්සහ ගන්නෙමු.

මෙත් බෝසත් නාථ දෙවිඳු මෛත්‍රී නමින් බුදු බවට පත් වූ විට, මතු ලොව්තුරා බුදුබව පැතූ පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳු  නියත විවරණ ලබන බෝසත්වරයෙක් බව, ඉතාම කෙටි කලක් තුල  කල බොහෝ දෑ වලින් අපට පැහැදිලි වේ. ශතාධික කාලයකටවත් කල නොහැකි බොහෝ දේවල් කර ගැනීමට හැකි වූයේ ද බෝසත් ගුණ ඇති උතුම් බෝසත් වරයෙක් නිසාමයි කියා හැඟේ.

සැමටම   බුදුමඟ   පෙන්වා          දුන්නා

පින්කම්   කරනා  හැටි  පෙන්වා දුන්නා

සැම  සිත්   සුවපත්   කරලා           දුන්නා

නොබැඳී   යන  හැටිත්  පෙන්වා   දුන්නා

පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳු ගේ ගුණ ලියා නිම කරන්නට   කල කී දේවල් ලියා නිම කරන්නට තරම් මට දක්ෂතාවයක් නොමැත. ලිව්වේ ඉතාම ස්වල්පයකි. නොලිව්ව ප්‍රමාණය ඊට වඩා වැඩිය.

ශීලාදී ගුණයෙන් ප්‍රිය වූ ද එසේ හෙයින්ම ගරු සම්භාවනීය වූ ද අවවාද අනුශාසනා දෙන්නා වූ ද නපුරු වචන ඉවසන සුළු වූ ද අස්ථානයේ නොයොදවා නිර්වාන මාර්ගයේ යොදවන්නා වූ ද කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

අති පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්වහන්සේට මතු ලොව්තුරා බුදු බවම ලැබේවා.

 

හදමු හොඳ තැනක්….ඔයාටයි මටයි…..

March 6th, 2018

ඔයයි මමයි කොපමණ නම් තැන් හැදුවද?

ඔයයි මමයි දෙන්නෙක් මෙන් නොපෙනෙන තරමටම අප දෙන්නාගේ බැඳීම කාටවත්ම වෙන් කරන්නට බැහැ නේද?

ඔයයි මමයි වෙන් කරන්නට කිසිදු කෙනෙක් මේ තුන් ලොවෙහිම නැහැ නේද?

ඔයා හිතන කියන කරන හැම මොහොතකම මමත් ඒ විදියටම ඔයත් එක්කම නේද ඉන්නේ.

ඔයාගෙයි මගෙයි බැඳීම ඇති වුනු දවස හෝ මොහොත හෝ අපි දෙන්නවත් දන්නේ නැති තරමටම බොහෝ දීර්ඝ කාලයක් නේද?

ඔයා මගෙයි මන් ඔයාගෙයි කියන සමහර අය කොපමණ නම් වෙන් වෙනවාද?

ඒ වුනත් අප දෙන්නානම් කිසිම මොහොතක වෙන් වීමක් නැති බැඳීමකින් නේද ඉන්නේ.

ඔයයි මමයි කිව නොහැකි තරම් තැන් හදමින් මාරු වෙමින් තවමත් ඉන්නවා.

කොපමණ තැන් මාරු වුනත් ඔයයි මමයි තවමත් එකටමයි ඉන්නේ නේද?

ඔයා කොතැනද මමත් එතැනමයි. කාටවත්ම හිතා ගන්නවත් බැරි තරමටම අප දෙන්නාගේ බැඳීම හරි පුදුමයි නේද?

ඔයයි මමයි කිව නොහැකි තරමේ ප්‍රමාණයක් තැන් හදමින් මාරු වෙමින් සිටියා ඇති වගේ නේද?

ඔයාටයි මටයි හොඳ තැනක් හදමු.

හොඳ තැනක් හදා ගෙන ඔයයි මමයි එතැන සිට හොඳම තැනක් හඳමු.

එවිට ඔයාටයි මටයි නැවැත තැන් හඳමින් මාරු වෙන්න උවමනා  වෙන්නේ නැහැනේ.

එහෙනම් අපි දෙන්නාගේ කතාව බැලූ සැමටම තුණුරුවන්ගේ සරණයි කියනවා චිත්ත චෛතසික අප දෙදෙනාම.

(මනුෂ්‍යය ජීවිතයක් ලැබූ අප සැම දෙනාම සෝවාන් ඵලය නැමැති හොඳ තැනක් සකස් වෙන ලෙස අප්‍රමාදී වෙමු. එවිට අපට නිර්වානය නැමැති හොඳම තැන පිළිබඳව ස්ථිරම  විශ්වාසය ගොඩ නැඟේ.)

 

 

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin