බුදුන් වහන්සේ නොවඩින සේක්වා!

March 13th, 2018

අග්ගමහා පණ්ඩිත පූජ්‍ය බළංගොඩ ආනන්දමෛත්‍රී නාහිමිපාණෝ විසින් ලියැවුනෙකින් උපුටා ගන්නා ලදී.

එක් ශාන්ත පුරුෂයෙක් මඟ බැස යෙයි. හේ ප්‍රවුජ්ජිතයෙකි. ඔහුට පාවහන් නැත. ඔහුගේ පිටෙහි අංශයෙක එල්ලාගත් පාත්‍රයෙක් වෙයි. සංසුන්වැ වියදඬු පමණ බැල්ම හෙලා වඩනා ඔහු පසුකැර මෝටර කාරයෙක් යෙයි. මෝටර කාරයේ සෙරෙප්පු කූට්ටමක් ලා, පට සිවුරක් ඇඳ පැත්තකින් හම් බෑගයක්ද තබාගෙනැ බඩ ඉදිරියට නෙරවා දෙපා පළලට දිග හැරී හාන්සි වී ඉන්නා හාමුදුරු කෙනෙකුත්  හොඳට ඇඳ පැළැඳ ගත් ඔහුගේ දායකයාත් ය. නායක තැන යටකී පාර අද්දරින් සන්සුන්ව යන පැවිදි නම ඈත සිටම දකී. හිස ඇල කොට ඇස හීන් කොටැ ඔහු දෙස හෙලා දැකුම් සහිත බැල්ලමක් හෙලයි. දායකයා අමතා “බලන්න මහත්මයා මේ පොට්ටනි එල්ලාගෙන ඇවිදින හොරුන් නිසා අප ශාසනයට වී තිබෙන අවනම්බුවක මහත. කුහක කමට ගිය ගිය තැන පාත්‍රය එල්ලාගෙන ඇවිදින තාලයෙ හැටියට ගෞරවය රැකගෙන ක්‍රියා කරන්නට නොදන්නා මේ උන්නාන්සේලා නිසා තමයි ශාසනය මෙච්චර පහත වැටී තියෙන්නේ” යැයි කියයි. “එහෙයි” කියා දායකයාද ප්‍රතිවචන දී නායක හාමුදුරුවන්ගේ බස මුදුනෙන් පිළිගනී.

යට කී හුදැකලාවැ යන පැවිදි නම දායක ගෙදරකට ගොස් සාංඝික දානයකට ගොස් එන භික්ෂූන් සමූහයකට හමුවෙයි. ඒ පිරිසෙහි මුලින් එන්නේද නායක මහණෙකි. සෙරෙප්පු දෙකක් දමාගෙන කළු කුඩයක් ඉසලා බඩ ඉදිරියට නෙරවා ඈති පා තබමින් බරපතළකම පාමින් හෙතෙමෙ යෙයි. ඔහුගේ අනුචර ශ්‍රමණ පිරිසද අල්ලාප සල්ලාප බෙනෙමින් ඒ මේ අත බලමින් යෙති. නායක තැන යටකී හුදකලාව යන පැවිද්දහු දැක හෙලා දැකුම් සහිත බැල්ලමක් ලා ඉවත බලා ගනී. අනුචර පැවිද්දෝ නින්දා සහිත බැල්ලමක් හෙලා “කුහකයෙකැයි, පොට්ටනිකාරයෙකැ යි සොර යැයි” ආදී බස් කොඳුරති. ඔවුන් කිසිවෙක් ඒ හුදකලා පැවිදි නමට මඟ නොහරි යි. ඔවුනට වැඩිමල් පෙනුමක් ඇති හේ මඟින් අයින්ව යයි.

ආගම දියුණුවට වැඩකරන මහා බෞද්ධයෙකුට හේ හමු වේ. කලිසම් හැඳගත් ඒ බෞද්ධයා යථෝක්ත චාම් පෙනීමක් ඇති පැවිදි නමට මඟ නොහරී ඒ පැවිදි නමම අයින්වැ ඔහුට මඟ හැර යයි. ජාතික ඇඳුම නමින් සම්මත ඇඳුමින් සැරසුන රට හදන්නට දඟලන්නෙක් ඉදිරි මඟින් ඒ පැවිදි නමට හමු වෙයි. හේද මඟ නොහැරම යයි. පැවිදි නම අයින්වැ ඔහුට මඟ හරියි. බෞද්ධ උසස් විද්‍යාලයෙක ආචාර්‍යවරුන් කීප දෙනෙක් සහිත උසස් පන්තියක ශිෂ්‍ය පිරිසක්ද ඉදිරි මඟින් එති. ඔවුන් කිසිවෙක් ඒ පැවිදි නමට මඟ නොහරී. පැවිදි නම ම ඔවුන් සැමට මඟ හැර අයින්වැ යෙයි.

හොඳටම හවස් වෙයි. ඒ පැවිදි නම එක් පටු පාරකට බැස යෙයි. රෝමාණු කතෝලික පාදිලි කෙනෙක් ඉදිරි මඟින් හමු වෙයි. ඒ පාදිලි තැන යට කී පැවිදි නම දැක ඕනෑ කමින් බලා සැළකිලි සහිතව අයින් වී මඟ හරී. බසක් දෙකක් කතා කොටැ සතුට දක්වයි.

අඳුරු වෙයි. යථෝක්ත පැවිදි නම එක් පන්සලකට පැමිණෙයි. රෑ නවාතැනටයැ. එහි අධිපති ස්ථවිර තැන දායකයන් කීප දෙනෙකුත් සමඟ කථාවෙහි යෙදී සිටින වේලාවකි. ආරාමයට පැමිණ යට කී හුදකලා පැවිදි නමට ඔන්න ඔහෙන් ඉඳගන්නැයි ඈත අස්සනක් පෙන්වයි. ස්ථානාධිපති තැනට ආගන්තුකයෙකු ආ බව සඳහන් නැති. තමාගේ ආරාමය තිබෙන ගමේ අන් භික්ෂුවක් පිණිස කීප දෙනෙකුන් ආරාමයක් සෑදීම ගැන “එය නවතාලන්නට කවර උපායක් යොදමුදෝ” යි දායකයන් හා හේ ලොකු සාකච්ඡාවෙකැ යෙදී ඉඳී.

රෑ ඉස්තෝප්පුවේ ඇඳෙකැ. ඒ පැවිදි නම නිදා හිඳ උදේ එහි ප්‍රධාන මහණහට දන්වා පිටත් වෙයි. හේ ඉන් නික්ම යන්නේ අන් ආරාමයකට පැමිණෙයි. ඒ සියම් නිකායේ පන්සලකි. එහි භික්ෂූහුද පැවිදි නමගෙන් “ඔබ සියම් නිකායේදැ” යි අසති. නැතැයි හේ උත්තර දෙයි. ඔවුන්ගේ සැළකිල්ල අඩුවෙයි. එදා සාංඝික දානයකි. සාංඝික කරන තුරු ඒ පැවිදි නම ඉවත් කෙරෙති.

එයින් නික්ම යන ඒ පැවිදි නම පසු දින අමරපුර නිකායේ ආරාමයකට එළඹේ. එය මහා විනයධර නායක කෙනෙකුන් ඉන්නා තැනෙකි. හේ යට කී පැවිදි නමගෙන් “අමරපුර නිකායේදැ”යි අසයි. නැතැයි හේ කියයි. එතැනදීද මඳක් ඒ පැවිදි නම ඈත් කෙරෙති. ඉන් පසුව රාමඤ්ඤ නිකායේ පන්සලකට හේ යයි. එහිදී රාමඤ්ඤ නිකායේදැයි අසන ලදින් නැතැයි ඔහුගෙන් පිළිතුරු වෙයි. ඉන්පසු සැළකිල්ල මඳ වෙයි.

මෙසේ ඇවිදිනා ඒ පැවිදි නමට සමහර ආරාම වලදී  සොරකැයි නවාතැන් පවා නොදෙති. සමහර තැනෙකදී  කුහකයෙකැයි නිග්‍රහ කෙරෙති. සමහර තැනකදී  අළුත් පැෂන් ගත් තරුණ භික්ෂූන්ගේ උසුළු විසුළු වෙයි. සියම් නිකායේ භික්ෂූහූ ඔහු ඇස් බැම ගා දමා ඇත්තෙක්දැයි බලති. එහිත් ගම් වදනටත්, ඒකාංශය වසා පොරෝන සමහරු, ඒ පැවිදි නමටත් එසේමදැයි සෝදිසි කෙරෙති. අමරපුර නිකායේ භික්ෂූහූ ඒ පැවිදි නම තමන් සේ හදිනා පොරෝනා කෙනෙක්ද? ආදීන් සොයති. රාමඤ්ඤ නිකායේ භික්ෂූහූ හේ ගොටු අත්තක් දරන්නෙක්දැයි තදින් විමසති. ගිහි මහා බෞද්ධයොත් තදනුචරයොත් ඒ පැවිදි නම ගැන කිසිදු සැළකිල්ලක් නොකරති.

මඟ යන ඒ පැවිදි තුමාගේ ශාන්ත වේශය දැක පැහැදුණි. ඒ තාක් දුර විමසුම් සහිතවැ පසුපසින් ආ දුප්පත් උපාසකයෙක් ඉතා ගෞරවයෙන් එතුමා සිය ගෙට වැඩමවා සංග්‍රහ කෙරෙයි. වළඳා අවසනැ එතුමා භුක්තානුමෝදනාව කෙරෙයි. එය ඇසූ උපාසක තෙම විමසුම් සහිත වේ. හේ විමසයි. ඇඳින ගනී. හේ මෙසේ දුක්මුසු වදන් කියන්නට වෙයි.

“අනේ ! මේ මාගේ සම්මා සම්බුදු හාමුදුරුවෝ නොවෙත්ද? උන්වහන්සේ අඳුනා ගන්නට බැරිවිය. අපේ නායක ස්වාමීන්වහන්සේලා ඉතා වැඩි දෙනාටත් තදනුගාමී පැවිද්දන්ටත් බුදුහාමුදුරුවන්වත් අඳුනා ගන්නට බැරි විය. අනේ වූ දෙයක හැටි. නෑ පුදුමයක් නොවෙයි. ඒ කිසි කෙනෙක් හැබෑ බෞද්ධයෝ නොවෙති. ඒ නිසයි මෙහෙම වුනේ”.

අද බුදුරජාණන්වහන්සේ වැඩියොත් වෙන්නේ මේ ටිකයි. එහෙත් බුදුරදහු නම් නොවඩිති. එයමැ සැනසිල්ලට කරුණය.

 

 

 

 


Trackback URI | Comments RSS

Leave a Reply

Name (required)

Email (required)

Website

Speak your mind

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin