හදමු හොඳ තැනක්….ඔයාටයි මටයි…..

March 6th, 2018

ඔයයි මමයි කොපමණ නම් තැන් හැදුවද?

ඔයයි මමයි දෙන්නෙක් මෙන් නොපෙනෙන තරමටම අප දෙන්නාගේ බැඳීම කාටවත්ම වෙන් කරන්නට බැහැ නේද?

ඔයයි මමයි වෙන් කරන්නට කිසිදු කෙනෙක් මේ තුන් ලොවෙහිම නැහැ නේද?

ඔයා හිතන කියන කරන හැම මොහොතකම මමත් ඒ විදියටම ඔයත් එක්කම නේද ඉන්නේ.

ඔයාගෙයි මගෙයි බැඳීම ඇති වුනු දවස හෝ මොහොත හෝ අපි දෙන්නවත් දන්නේ නැති තරමටම බොහෝ දීර්ඝ කාලයක් නේද?

ඔයා මගෙයි මන් ඔයාගෙයි කියන සමහර අය කොපමණ නම් වෙන් වෙනවාද?

ඒ වුනත් අප දෙන්නානම් කිසිම මොහොතක වෙන් වීමක් නැති බැඳීමකින් නේද ඉන්නේ.

ඔයයි මමයි කිව නොහැකි තරම් තැන් හදමින් මාරු වෙමින් තවමත් ඉන්නවා.

කොපමණ තැන් මාරු වුනත් ඔයයි මමයි තවමත් එකටමයි ඉන්නේ නේද?

ඔයා කොතැනද මමත් එතැනමයි. කාටවත්ම හිතා ගන්නවත් බැරි තරමටම අප දෙන්නාගේ බැඳීම හරි පුදුමයි නේද?

ඔයයි මමයි කිව නොහැකි තරමේ ප්‍රමාණයක් තැන් හදමින් මාරු වෙමින් සිටියා ඇති වගේ නේද?

ඔයාටයි මටයි හොඳ තැනක් හදමු.

හොඳ තැනක් හදා ගෙන ඔයයි මමයි එතැන සිට හොඳම තැනක් හඳමු.

එවිට ඔයාටයි මටයි නැවැත තැන් හඳමින් මාරු වෙන්න උවමනා  වෙන්නේ නැහැනේ.

එහෙනම් අපි දෙන්නාගේ කතාව බැලූ සැමටම තුණුරුවන්ගේ සරණයි කියනවා චිත්ත චෛතසික අප දෙදෙනාම.

(මනුෂ්‍යය ජීවිතයක් ලැබූ අප සැම දෙනාම සෝවාන් ඵලය නැමැති හොඳ තැනක් සකස් වෙන ලෙස අප්‍රමාදී වෙමු. එවිට අපට නිර්වානය නැමැති හොඳම තැන පිළිබඳව ස්ථිරම  විශ්වාසය ගොඩ නැඟේ.)