ථේරවාද දර්ශනය…

May 26th, 2018

මගේ  බුදුපියාණන්වහන්සේ  පෙන්වා  වදාරන  ලද්දේ  එක්  දර්ශනයක්  පමණි.

ථේරවාද,  මහායාන,  වජ්‍රයාන……ආදී  විවිධාකාරයේ  දර්ශනයන්  පෙන්වා  දී  නැත.

බුදුවදන  සත්‍යවූත්  සැමකල්හිම  පැවැතියාවූත්  එකම  දර්ශනයකි.

විවිධ  වූ දර්ශන  පෙන්වා  දීමෙන්  වැටහෙන්නේ  පැවිදි  පිරිසේ  බෙදීම්  මිස  අන්  කිසිවක්  නොවෙයි.

තව  කාලයක්  යනවිට  සිරිධම්ම,  ඤාණානන්ද,  ……ආදී  විවිධාකාර  දර්ශනයන්ද  ඇති වේවි  කියා  සිතන්නට  පුළුවනි.

දැනට  බොහෝ  සේ  කතාබහට  ලක් වෙන  ථේරවාදය  සහ  මහායානය  ගැන  සිතීමේදී  බුදුවදනට  සමීපම  වෙන්නේ  ථේරවාදයයි.

ථේරවාද  දර්ශනයට  අනුවම   කටයුතු  කිරීමට   සමහර   පැවිදි  පිරිසට  අපහසුයි.

එමනිසා  අභිධර්මය  බුද්ධ  භාෂිතයක්  නොවෙයි  කියාද  විනය  කරුණු  ගැන  එතරම්  සැළකිය  යුතු  නැහැ කියා  කියන්නට  ද  තරම්  කුහක  වී  ඇත.

ථේරවාද  දර්ශනය  පහසු  වෙන්නේ  පෙර  සසර  පුරුදු  කල  සහ  පෙර කල  පින්  ඇති  පැවිදි  පිරිසටම  පමණකි.

මහායානයට  කැමැති  සමහර  පැවිදි  පිරිස   ගිහි  ජීවිතයට  බොහෝ  දුරස්තාවයක්  නොමැත.

එබැවින්  ඒ  පැවිදි  පිරිස  තමන්ගේ  අරමුණු  ඉටු  කර  ගැනීමට  පහසුවීම  සඳහා  ගිහි  පිරිසද  යොමු කරගනී.

අසූහාරදහසක්  වූ  ධර්මස්කන්ධය  ථේරවාද  දර්ශනයේදී  දැකිය  හැකියි.

නිවන්  සාක්ෂාත්  කරගැනීමට  මේ  සියල්ලම  අවශ්‍යය  නොවුවත්, මගේ  බුදු පියාණන්වහන්සේගේ  දර්ශනය  ඒ ආකාරයෙන්ම  පවත්වා  ගැනීමට  උවමනා  බැවින්,  සූත්‍ර,  විනය,  අභිධර්ම  යන  පිටක  තුනම  කිසිම  කප්පාදුවකින්  තොරව  ආරක්ෂා  වී  ඇත.

සියල්ලන්ටම  එකම  දෙයක්  ගැලපෙන්නේ  නැත.  කන  බොන  ආහාරයක්  උදාහරණයක්  ලෙස  ගෙන  බැලුවත්,  එකම  ආහාරය  වුවත්  විවිධාකාරයෙන්  ඒ කියන්නේ  කිරට, මිරිසට,  තෙලට,  මැල්ලුමට….ආදී  වශයෙන්  එක්  එක්  ආකාර  රසයන්ගෙන්  එක්  එක්  පුද්ගලයන්ට  උවමනා  බව  කවුරුත්  දනී.

එබැවින්  මහායාන  දර්ශනය  පෙන්වා  දීම  සඳහා  ත්‍රිපිටකයේ  කප්පාදුව  හෙලා  දැකීමට  තරම්  වටී.

අභිධර්මය  අවබෝධ  කල  හැකිනම්  එය  අතිවිශේෂයක්  ලෙස  මට  සිතේ.

ථේරවාද  දර්ශනය  පෙන්වා  දෙන  පැවිදි  පිරිස  ගිහි  පිරිසට  එක්  එක්  ඉගැන්වීමේ  ක්‍රම උපායන්  අනුගමනය  කරන  විට,  මහායාන  දර්ශනය  අනුගමනය  කරන  පිරිස  ඒවා  වැරදි  ආකාරයෙන්  ගෙන  විවේචනය  කරන්නේ නම්  ඒ  එම පිරිසේම  මානසික  දෝෂයක්ම  බවයි  මට  හැඟෙන්නේ.

ලදරුවෙකුට  යමක්  මුලින්ම  හඳුන්වා  දෙන  විට,  උදාහරණයක්  ලෙස  මලක්  ගත්තොත්,  කෙසේද  මූලිකවම හඳුන්වා දෙන්නේ.  මලක්,  මලක්…..යනාදී  වශයෙන්  වචනයෙන්  පටන්  ගෙන,  ඉන්පසු  මලේ  පාට, හැඩය,  පෙති ගනන,…..ආදී  වශයෙන්  ගෙන  මලේ  දික්  කඩක  විච්ඡේදනය  තුලින්  ස්ත්‍රී  පුරුෂ  ලක්ෂණ,  කුඩා  දේ විශාල  කර  බලන  අන්වීක්ෂ  වැනි  උපකරණ  මගින්  සෛල  ගැන,  ඒ සෛල  වල  අන්තර්ගත  දේ  පිළිබඳව ……ආදී  ඉතා  විශාල  පරාසයක්  තුලට  ගෙන යනු  ලබනවා  කාලයත්  සමඟම.

සිරුරෙහි  කොටස්  වශයෙන්  ගෙන  බැලීම  බොහෝ  පිරිසකට  පෙන්වා  දීම  ගැටළුවක්  කර  නොගත යුතුයි.  දන්නා  දෙයින්  නොදන්නා  දෙයට  යාමේ  ක්‍රමයක්  ලෙසයි  මමනම්  එය  දකින්නේ.

සිතෙහි  අකුසල  මූලයන්  වඩනවාට  වඩා  අනිත්‍යයි, දුක්ඛයි,  අනාත්මයි  යයි  සිතන  එකත්  කුසලයක්  ලෙස  බැලීමට,  පුරුදු  වෙන්න  කියා  මහායාන  දර්ශනිකයන්ට  ද  මම ආරාධනා  කරනවා.  එයින්  අයහපතක්  නොවන  නිසා.

සිතෙහි  වේගය  පාලනයට  චිත්ත  භාවනාවක්  වූ  සමථ  භාවනාව  හතලිස්  ආකාරයකින්  පෙන්වා  දී  ඇත්තේ  එක්   එක්  පුද්ගලයාට  ගැලපෙන  එකක්  තුලින්  අවශ්‍යය  අරමුණට  යාමට  පහසුවක්  වීමටයි.

මගේ  බුදුපියාණන්වහන්සේ  යමක්  දේශනා  කලේ  නම්  එය  වැඩියි  කියා  ඉවත්  කිරීමට  හෝ  අඩුයි  කියා  එකතු  කිරීමට  හෝ  සමත්  කිසිවෙක්  මේ  තුන්  ලොවෙහිම  නැත.  යමෙක්  එසේ  කරන්නේනම්  හෝ  කියන්නේනම්   හෝ   ඒ  උමතු  වූවෙක්ම  මිස  අන් කවරෙක්ද?

එක්  අරමුණක  සිත  බොහෝ  වෙලාවක්  තබා  ගැනීමට  සමථ  භාවනාවෙන්  හැකි  වූ  විට,  ප්‍රඥා  භාවනාව  වූ    විදර්ශනාවෙන්  නිවන  සාක්ෂාත්  කර ගත  හැකිවේ.

සමථ  භාවනාව  ලෞකික  වූ  දෙයකි.  ඉතාම  සුවදායී  බවක්   හැඟේ.  එබැවින්  එහිදී  අත්දකින්නට  අත් විඳින්නට  සිදු  වෙන  බොහෝ  දෑ  වලින්  මුලාවට  පත්  නොවීමට  ගුරුවරෙයෙකුගේ  උපදෙස්  උදව්  ලබා  ගැනීම  නිසා  විදර්ශනාවෙන්  ඇත්ත  අවබෝධ  වනු  ඇත.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම  විදර්ශනාවේදී  අවබෝධ  වන්නකි.

කිසිවෙකුට  තමන්ගේ   ඇසින්,  තමන්ගේම  ඇස  බැලිය  නොහැකි  නිසා  තල දර්පණයක්  (කණ්නාඩියක්)  ඉදිරියට  ගොස්  බලයි.  නමුත්  මගේ  බුදුපියාණන්වහන්සේ  පෙන්වා  දුන්  ඇස  එසේ  තල දර්පණයකින්වත්   බැලිය  නොහැකියි.

විදර්ශනාවේදි`  අවබෝධ  වෙන   ඇස  එසැනින්ම  ඇති  වී  එසැනින්ම  නැතිවීමත්,  එම  මොහොතේම  ත්‍රිලක්ෂණයත්,  මම,  මගේ,  සත්ව  පුද්ගල  ආත්ම  කිසිවක්ම  නැති  බවත්  එක්  මොහොතකදීම  අවබෝධයට  පත්  වෙන්නකි.

නාම  රූපයන්ගේ  බිඳීම  වඩාත්ම  ප්‍රකටම  අවබෝධ  වෙන  අවස්ථාවද  එම මොහොතමයි.

එවිට  සමථ  භාවනාවේදී  ලැබුණු  සතුටට  වඩා  බොහෝ  සේ  ඉල්පී  යන  සතුටක්ද  ලැබිය  හැකි  වේ.

අනෙක්  සියළුම  ඉන්ද්‍රියයන්  ගැනද  මේ  ආකාරයටම  නිතැතින්ම  අවබෝධයට පත්  වීම  සිදු වේ.

පඨවී,   අපෝ,  තේජෝ,  වායෝ,  යනුවෙන්  සතර මහා  භූතයන්  යනු  අතින්  අල්ලා  පෙන්වා  දිය  හැකි  දෙයක්ද  නොවේ.  එය ගති  ලක්ෂණයක්  පමණි.

බොහෝ  සේ  එකතු  වීමක්  නිසා  සකස්  වූ  දෙයක්  ලෙස  මායාවට  හසුව පැවැතීම  මත  එහෙම  දෙයක්  ඇති  ලෙසයි  සාමාන්‍යයෙන්  සිතෙන්නේ.

උදාහරණයක්  ලෙස  වතුර  බිංදුවක්  අපට  දැකිය  හැකියි  කියා  සිතුවාට  එහි  වතුර  සෑදී  ඇති  හයිඩ්‍රජන්  සහ  ඔක්සිජන්  අණු  කෙතෙක්ද?  පරමාණු  දක්වා  බැලුවත්  ඊටත්  එහා  ගිය  සිද්ධියක්  මගේ  බුදුපියාණන්වහන්සේ  පෙන්වා  දී  ඇත.

සතර  සතිපට්ඨානය  නිවනට  එකම  මඟ  යැයි  පෙන්වා  දී  ඇති  බැවින්  එය  අනුගමනය  කරන්නට  ආරාධනා  කරමි.

ථේරවාද  දර්ශනයේ  එක්  අරමුණක්  ඉවත්  කිරීමට  තවත්  අරමුණක්  දැමීමේ  ක්‍රමයක්  නැත.

පැමිණි  අරමුණෙහි  ඇත්ත  ඇති  සැටියෙන්  දැකීමයි  කල යුත්තේ.

චක්ඛු  ප්‍රසාදයට  රූපයේ  හමු  වීමත්  සමඟ  ඇති  වෙන  අරමුණෙහි  ඇත්ත  බලන  විට  එක්  මොහොතකදීම  නැතිව  යන්නක්  කෙරෙහි  මනසිකාරයන්  හේතුවෙන්  ඇලීම්  හෝ  ගැටීම්  හෝ  උපදින  බව  අවබෝධ  කරගත  හැකි  වෙයි.

උපන්  ආස්‍රව  ගෙවෙන  විදියටත්,  නූපන්  ආස්‍රව  නූපදින  විදියටත්  එනම්  යෝනිසෝමනසිකාරයෙන්  සිදු  වෙන්නේ  අරමුණෙහි  එනම්  නාම  රූපයන්ගේ  ඇත්ත  ඇති  සැටියෙන්  දැකීමයි.  එවිට  නැවැත  භවයක්  තනන  කර්මද  ඇති  නොවේ.

මහා  සයුර  කරා  යන  ගංගාවකට   බැසීමට  බොහෝ  තොටුපලවල්  ඇත.  ඔබ  සැම  සිටින  තැන  අනුව  තිබෙන  තොටුපලින්  ගමන  පටන්  ගන්න.

ථේරවාද  දර්ශනයේ  සියළුම  තොටුපලවල්  විවෘතයි.

මහායාන  දර්ශනයේ   එක්   පිරිසක්  පිවිසි  තොටුපල  පමණක්  ඉතිරි කොට  පෙන්වා,    අන්  සියළුම  තොටුපලවල්  විනාශ  කර  වසා  දමා  ඇත.

ථේරවාද  දර්ශනය  ලඝුකොට  සළකමින්  වැරදි  අර්ථ  කථන  දෙන්නන්ට  මම  ආරාධනා  කරනවා  පිළිවෙලකට  ථේරවාද  දර්ශනය  පළමුව  හඳුනා  ගන්න  කියා.

2013  ජනවාරි  මස  31  දාතමින්  යුතුව   ඇති  සම්මාදිට්ඨි  සූත්‍රයේ  සංෂිප්ත  සටහන  බලා  මෙම  නිවන්  මඟට  පිවිසිය  හැකි  තොටුපලවල්  පිළිබඳවත්  හඳුනා  ගන්න  කියා  මම  මෛත්‍රීයෙන්  ආරාධනා  කරනවා  විශේෂයෙන්ම  මහායාන  දර්ශනය  කරපින්නා ගෙන  ථේරවාද  දර්ශනයට  ගරහන  පිරිසට.

ඕනෑම  කෙනෙකුට  තමන්  කැමැති  දර්ශනයක්  අනුගමනය  කළ  හැකි  වුවත්,  අනෙක්  දර්ශනයන්ට  ගැරහීමේ  අයිතියක්  හෝ  සාදාචාරාත්මක  බවක්  හෝ  නොමැති  බව  ද  මතක්  කරන්නට  කැමැතියි.

මව් භාෂාව  හෙවත්  ලදරුවාට  අම්මා  මුලින්ම  හඳුන්වා  දෙන  භාෂාව  මනසිකාරයේ  තැන්පත්  වූ  විට,  අනෙක්  භාෂාවකින්   ඇති  දෙයක්  තේරුම්  ගැනීමට  අපහසුයි.  එබැවින්  පාලි  භාෂාවෙන්  ඇති  බුදුවදන  සිංහලෙන්  දේශනා  කරන  පැවිදි  පිරිසට  කොතරම්  අපහසුවක්  ඇත්ද,  පාලි  වචනයෙන්  කියන්නට  හදන  අර්ථයම  සිංහල  වචනයෙන්  පැහැදිලි  කර  දීමට.

පාලි  පරිවර්තනයේදී  වචන වල  අර්ථයට  ඇති  වී   ඇති  හිඩැස්  වැසීමට  අටුවාව   සකස්  වෙන්නට  ඇත  කියාත්  සිතෙනවා.

මගේ  බුදුපියාණන්වහන්සේගේ  කාලයේදි`  බොහෝ  පිරිසකට  අවබෝධය  ලබා  ගත  හැකි  වූයේ,  ගිහි  පිරිසගේ  භාෂාවෙන්ම  දේශනා  කල  බැවිනි.

අවබෝධ  කර ගත  යුතු  දෙයක්  පිළිබඳව  වචන  වලින්   පැහැදිලි  කර   දුන්නත්,   අවබෝධය  කෙසේ  පෙන්වා  දිය  හැකිද?  ” පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි” තම   තමන්   විසින්ම   අවබෝධ   කරගත   යුත්තකි.

පෙර  පින්  ඇත්තන්නට  සහ  බුදුපියාණන්වහන්සේ  ගැන  මහත්  වූ  ශ්‍රද්ධාවෙන්  යුතුව  ධර්මය  අසා  ඒ  අනුව  පිළිපදින  පිරිසටද  අවබෝධය  ඉතා  ඉක්මනින්ම  ලැබෙන  බව  විශ්වාසයි.

හරි  මඟට  සැමටම  පිවිසීමට,   මගේ  බුදුපියාණන්වහන්සේ  පෙන්වා  දුන්  ඇස   දකින්නට   අවබෝධයේ  ඇස  විවර  වේවා.