දැනුම …? අවබෝධය ….? ප්‍රත්‍යක්ෂය …?

May 18th, 2018

දැනුම  ලැබෙන්නේ  ඇසීමෙන්  කියවීමෙන්  දැකීමෙන්  දැනීමෙන්  යනාදී  වශයෙන්  විවිධ  ආකාරයන්ගෙන්  සහ  විවිධ  පැතිකඩ  ඔස්සේය.

කිසිම  දැනුමක්  නැති  කිසිවෙකුත්  මෙලොව  ජීවත්ව  සිටිය  නොහැකියි.

දැනුමේ  ප්‍රමාණය  අනුව  උගත්කම  තීරණය  වෙයි.

දැනුම,  අවශ්‍ය තැනට  අවශ්‍ය  වෙලාවට  අවශ්‍ය  විදියට  සකස්  කර  ගන්නා  බුද්ධිමතා  ලෙස  ගත  හැකියි.

දැනුමට  යම්කිසි  ප්‍රමාණාත්මකතාවයක්  සහ  යම්කිසි  රාමුවකට  සිර  වී  ඇති  ආකාරයක්ද  පෙන්නුම්  කෙරේ.

දැනුමට  මතකයේ  රැඳී  තිබිය  හැකි  කාලයක්ද  ඇත.

භාවිතා  නොකර  සිටීම,  නැවැත  නැවැත  සිහිපත්  නොකිරීම,  රෝගයන්, …..ආදී  තව  බොහෝ  හේතු  නිසා  දැනුම  මතකයෙන්  ගිලිහෙනු  ඇත.

 

දැනුම  තිබෙන්නාට  අවබෝධය  කරා  ලඟා  විය  හැකියි.

කිසිම  දැනුමක්  නොමැතිව  අවබෝධයක්  ලබාගැනීමට  නොහැකියි.

දැනුම  හේතුවෙන්  යම්  දෙයක  යතාර්ථය  වැටහෙන්නේ  අවබෝධයක්  ඇති විටයි.

දැනුමට  මතකයේ  රැඳී  තිබිය  හැකි  කාලයක්  තිබුනත්  අවබෝධයට  එසේ  කාලයක්  නොමැත.

යම්  දෙයක්  අවබෝධ  කලේනම්  එය  සදා  මතකයේ  රැඳේ.

අවබෝධය  රඳවා  තබා  ගැනීමට  කියා  කිසිම  වෙහෙසක්  ගැනීමට  අවශ්‍ය  නැත.

කෙනෙක්  විසින්  ලබාගත්  අවබෝධය,  ඒ  ආකාරය  ඔස්සේ  තව  කෙනෙකුට  පැවැසිය  හැකියි.

එහෙත්  අසන  කෙනාට  එය  අවබෝධ  නොවිය  හැකියි.

එසේ  වෙන්නේ  අසන  කෙනා,   අවබෝධ  කිරීමට  නොහැකි  කෙනෙක්  නිසාවෙන්  නොව,  අනෙක්  කෙනාගේ  අවබෝධයේ  මඟ,  අසන්නාට  නොගැලපෙන  නිසාවෙනි.

යම්  දෙයක්  අවබෝධ  කරගත්තාට,  ඒ  අවබෝධ  කල  ආකාරය  සැමදෙනාටම  පොදු  නොවන  නිසාවෙනි.

එබැවින්   දැනුම  සහ  අවබෝධය  පමණක්  තිබෙන්නාට,  එක්  එක්  කෙනාට  ගැලපෙන  අයුරින්  තමාලද  අවබෝධය   ලබා  දීමට  අපහසු  වෙයි.

 

ප්‍රත්‍යක්ෂය  යනු  ද  අවබෝධයකි.

එහෙත්  එය  ඉතා  උතුම්  අවබෝධයකි.

ප්‍රත්‍යක්ෂය  යනු  තමා  තුලින්ම  ලබන  අවබෝධයකි.

ප්‍රත්‍යක්ෂය  කිසිවෙකුගෙන්  ලබාගත  නොහැකි,  කිසිවෙකුටවත්   ලබාදිය  නොහැකි,  තම  තමන්  විසින්ම  තම  තමන්   තුලින්ම  ලබන  අවබෝධයකි.

දැනුම  සහ  අවබෝධය  තිබෙන්නාට  ප්‍රත්‍යක්ෂ  අවබෝධයටද  ලඟා  විය  හැකියි.

ප්‍රත්‍යක්ෂ  අවබෝධය  ලැබුවෙකුට  තමාගේ  අවබෝධයෙන්  තව  බොහෝ  දෙනෙකුට,  ඒ  ඒ  කෙනාට  ගැලපෙන  ලෙස  අවබෝධය  ලබා  ගැනීමේ  මඟ  පෙන්වා  දිය  හැකියි.

ප්‍රත්‍යක්ෂ  අවබෝධය  කිසි  විටෙක   ඉවත්  නොවේ.

ප්‍රත්‍යක්ෂය  ජීවිතය  හා  බැඳී  පවතින්නක්  බැවින්,  ප්‍රත්‍යක්ෂ  අවබෝධයට  පත්  වූ  පුද්ගලයා  ඒ  තුලම  නිරතුරුවම  ජීවත්  වේ.

ජීවිතයේ  සාමාන්‍ය  ආකාරයේ  පැවැත්ම  ඇතිව  කටයුතු  කිරීමට,  ප්‍රත්‍යක්ෂයෙන්   ලැබෙන්නේද  පහසුවකි.

ප්‍රත්‍යක්ෂ  අවබෝධය  ලැබූ  පුද්ගලයාට,  අනෙක්  පුද්ගලයාට  ගැලපෙන  ආකාරයෙන්  අවබෝධයට  මඟ  පෙන්වා  දීමට  පමණක්  නොව,  ඒ  ඒ  පුද්ගලයන්ගේ  අවබෝධයේ  තැන  සිට  ඉදිරියට  යායුතු  කොටස  ද  පෙන්වා  දිය  හැකියි.

එපමණක්  නොව  ඕනෑම  තැනකින්  පටන්  ගෙන  යායුතු  තැනටම  මඟ  පෙන්වා  දීමටද  හැකියි.

(ලංකාවේ  සෑම  ප්‍රදේශයකම  සිට  අගනගරය  වූ  කොළඹට  ඒමට  මඟක්  සහ  බස්‍ රථයක්  ඇත්තා  සේ)

ප්‍රත්‍යක්ෂය  කිසිවෙකුට  විනාශ   කිරීමට  හෝ  උදුරා  ගැනීමට  හෝ  නොහැකියි.

ප්‍රත්‍යක්ෂයට  පත්  පුද්ගලයාට  එය  ඉවත්  කිරීමට  හෝ  එයින්  ඉවත්  වීමටද  හෝ  නොහැකියි.

ප්‍රත්‍යක්ෂයද  ජීවිතයද  දෙකක්  නොව  එකක්  වන  බැවිනි.

දැනුම  අවබෝධයටත්,  අවබෝධය   ප්‍රත්‍යක්ෂයටත්,   උපකාරී  වෙන  නිසා,  දැනුමට  ගරහා  නොකල  යුතුයි.

(ප්‍රාථමික   පාසලේදී  ඉගෙන  ගත්  අකුරු,  ඉවතට  විසී  කර  උසස්  ඉගෙනුමකට  යා  නොහැකි  සේය.)

සසරෙන්  එතර  වීමට  සිතන  සැම  දෙන  නිවැරැදි  ධර්මය  පිළිබඳව  දැනුම  ලබන්න.

ඒ  දැනුම  සැවොම  අවබෝධයට  පත්  කරති.

දැනුම  සහ  අවබෝධයට  පත්  වූ  විට,  නිවන  සාක්ෂාත්  වෙන  ප්‍රත්‍යක්ෂ  අවබෝධය  නොසිතූ  වෙලාවකදී  හමු වෙනු  ඇත.

සැවොම  නිවන්  සැපයෙන්  සුවපත්  වේවා.

 

 


WordPress › Error