වෙසක් හඳ යි……බුදු හද යි…..

May 1st, 2018

මෙතෙක් කාලයක් වෙසක් සැමරුවේ වෙසක් මාසයේදී වුවත්, මෙවර අපට වෙසක් සමරන්නට සිදු වූයේ බක් මාසේය.

2018 අප්‍රේල් මස 29 වෙනි ඉරුදින වෙසක් පෝය දින ලෙස නම් කර තිබුණි.

වෙසක් ඇති නැති සැමටම වෙසක් හඳ එළිය දුනි.

වෙසක් හඳ මුළු ලොවටම එකසේය.

මා ගෙදර සිටින විට, වෙසක් හඳ ද එහිමයි. පන්සලට යන විට මඟ දිගටමත් පන්සලටත් වෙසක් හඳ එහිමයි.

මට මෙන්ම සෙසු පිරිසටද වෙසක් හඳ එසේම විය.

එකම වෙසක් හඳ මුළු ලෝකයාටම පෙනෙන්නේ තම තමන් සමඟම යන එන සිටින විලසිනි.

වෙසක් හඳ අප සැමටම වඩා ඉහලින්,  අහසේ බබළමින් සිටින නිසා, අපට එසේ පෙනෙයි.

වෙසක් හඳ අප සමඟ ම අප දිහාම බලමින් ගමන් කරනවා කියා සිතුනත්, වෙසක් හඳට නියමිත ගමන පමණමයි  ඇත්තේ.

බුදු හිමි බණ දේශනා කරන විට, සැමටම පෙනෙන්නේ තම තමා දෙසම බලා ගෙන තම තමාටම දහම් දෙසන විලාශයකි. අසා දැන ගත් දෙයක් වුවත්, එහි සත්‍යයක් ඇති බව පිළිගත හැකිය.

බුදු හද අප සැමගේම හද වලට වඩා ඉහලින් බබළමින් තිබෙන නිසා, වෙසක් හඳේ සිද්දිය සමඟ ගෙන බැලූ විට පැහැදිලි වෙයි.

ලෝකය තුල සිටින අප හද වලට වඩා, ලෝකයෙන් එතර වූ බුදු හද  ඉහලින් බබළමින් තිබේ.

ලෝකයෙන් එතර වූ බුදු හද ට ලං වෙන්නට ලෝකය තුල සිටින අප හද වලට හැකිද?

අප හද පොළොවෙහිය. බුදු හද අහසෙහිය. කෙසේ නම් ලං වෙන්නද?

බුදු හිමි මහා කාරුණිකයි. බුදු හද ට ලං වෙන මඟ පෙන්වා දී ඇත.

අප කළ යුත්තේ ඒ පෙන්වා දී ඇති මඟ ඔස්සේ අප්‍රමාදීව යාමයි.

බක් මාසෙට වෙසක් පෝය දැම්මා කියා පිරිසක් දොස් නඟමින් සිටියත්, වෙසක් හඳ ඒ කිසිවකට ප්‍රතිචාර නොදක්වා, වෙසක් මස පුන් සඳ මෙන් ම බබළමින් අහසේ දිස් විය.

තෙමඟුල සමරන වෙසක් පෝය දිනයේදී, මගේ බුදු සමිඳුගේ ගුණ දම් වැඩි වැඩියෙන් සිහියට නැඟෙන විට, එක් මොහතකදී, වෙසක් හඳ යි බුදු හද යි එක් කොට ගැලපෙන මෙම සිද්දිය සිහියට නැඟුණි.

බුදු හිමි පෙන්වා දුන් මඟ ඔස්සේ ගමන් කරන විට, අප හද ත් ඉහලට යන විට, ලෝකයේ ඇති බොහෝ දේ පිළිබඳව සත්‍යය අවබෝධ වී පෙනෙන්නට පටන් ගනී.

ඉහල අහසේ ඇති හඳ ට මුළු ලෝකයම  දැකිය හැකි සේ, බඹයක් තරම් වූ මේ මුළු ලෝකයම දැකිය හැකි සේ, අප හද ඉහලට ගැනීම සඳහා  මෙම බක් මස වෙසක් දිනයේ අධිෂ්ටාන කර ගනිමු.


WordPress › Error