උපාදාන ! උපාදාන ! මොනවද මේ..?

June 3rd, 2018

උපාදාන  අකුශල  ධර්ම  කොටසට  අයත්  වූවකි.

උපාදාන  අකුශල  චෛතසික  තුල  ඇති වෙන්නකි.

ලෙහෙසියෙන්  ඉවත්  නොවන  සේ   මානසිකව  අල්ලා  ගැනීම  උපාදාන  ලෙස  දැක්විය  හැකියි.

කාම  උපාදානය,  දිට්ඨි  උපාදානය,  සීලබ්බත  උපාදානය,  අත්තවාද  උපාදානය  යන   ආකාර  වලින්  පෙන්වා  දී  ඇත.

ලෝභ  චෛතසිකය   මූලික  වී,  මනසින්  කාම  වස්තූන්  තදින්  අල්ලා  ගැනීම  කාම  උපාදානයයි.

ත්‍රිලක්ෂණයට  යටත්ව  ඇති  දෑ,  සත්‍යය   වශයෙන්ම  ඇති  ලෙස   තදින්  ගන්නා  වූ  වැරදි  මතය  දිට්ඨි  උපාදානයයි.

නිවන්  මඟ  අහුරන  මිත්‍යා  ශීල  සහ  මිත්‍යා   ව්‍රත  නිවන්  මඟ  යයි   වරදවා  තදින්  ගැනීම   සීලබ්බත  උපාදානයයි.

රූපාදී   පංච්ස්කන්ධය   ආත්ම   වශයෙන්   වරදවා  තදින්   ගැනීම  අත්තවාද  උපාදානයයි.

දිට්ඨි  උපාදානය,  සීලබ්බත  උපාදානය,  අත්තවාද  උපාදානය  යන  මෙම  උපාදානයන්  තුනටම   මූලික   වෙන්නේ  දිට්ඨි  චෛතසිකයයි.

එමනිසා  මෙම   උපාදානයන්   හතර  ආකාරයෙකින්  පෙන්වා  දුන්නත්  ලෝභය  සහ  දිට්ඨිය  යන  චෛතසික  දෙක  මූලික  වී  මනසින්  තදින්  අල්ලා  ගැනීමක්  සිදු  වේ.

 

පංච  ඉන්ද්‍රියන්  හමුවේදී  ඇති  වෙන  අරමුණු  එක්තරා  නියමයකට  අනුව  ක්‍රියාවලියක්  සිදු  වේ.

එම  ක්‍රියාවලිය  නැවැත්වීමට  කිසිවෙකුටවත්  නොහැකියි.

උදාහරණයක්  ලෙස  චක්ඛු  ප්‍රසාදයට  හමු  වෙන  වර්ණ  රූපය  නිසාවෙන්   ඵස්සය  හෙවත්  ස්පර්ශය   ඇති  වේ.

එම  ඵස්සය  නිසා  විඳීමක්  හෙවත්  වේදනාවක්   හඳුනා  ගැනීමක්  හෙවත්  සංඥාවක්   සහ  චේතනාවද   මනසිකාරයද  සිදු  වේ.

මේ  අවස්ථාව  පෙර  කර්ම  විපාක  දෙන    අවස්ථාව  ලෙස  සැළකේ.

මෙම  අවස්ථාවේදී  නව  කර්ම  ඇති  වෙන   චේතනාවක්  ද   නොමැත.

මෙම  අවස්ථාවේදී  ඇති  වෙන  මනසිකාරයෙන්  නැවැත  නැවැත  සිතිවිලි  ඇති  කර  ගැනීම  නිසා  තදින්  අල්ලා  ගන්නා  ගතිය  ඇති  වීමෙන්    උපාදාන   මනසිකාරය  වේ.

ඉන්පසු  සත්ව  පුද්ගල  වස්තු  …..ආදී   නොයෙක්   ආකාරයේ  දේවල්  ඇති  බවක්  දැනීමම  උපාදානය  ලෙස  හැඳින්විය  හැකියි.

ඉන්පසු  ඒ  පිළිබඳව  ඇති  වෙන  චේතනාවන්  නව  කර්ම  ඇති  වීමට  හේතු  වේ.

එමනිසා  යම්  අරමුණක්  හමුවේදී  එහි  ඇත්ත  ඇති  සැටියෙන්   බැලීමෙන්   උපාදාන  වීම  වැලැක්වේ.

ලැබෙන  සෑම  අරමුණක්ම  හේතූන්   නිසා  ඇති  වූ  බවත්,  ක්ෂණයකින්  අනිත්‍ය  වන  බවත්,  වැනසෙන  දෙයක්,  ගෙවි  ගෙවී  යන  දෙයක්,  සකස්  වූ  දෙයක්,  නොඇලිය   යුතු  දෙයක්,  ලෙස  යෝනිසෝ  මනසිකාරයෙන්  සිතන  විට,  උපාදාන  වීම  ක්‍රම  ක්‍රමයෙන්   හීන  වේ.

මේ  සත්‍ය  ලොවට  මූලිකවම  පෙන්වා  දෙන්නේ  සම්මාසම්බුදුරජාණන්   වහන්සේලාම  පමණකි.

ඒ  මඟ  ගමන්  කරන  අනෙක්  ශ්‍රාවකයන්ටද  එම  සත්‍ය  හමු වුවත්  එම  ආර්යයන්ට,   ශාස්තෲන්වහන්සේ   යයි   කිව  නොහැකි    වෙන්නේ,   සම්මාසම්බුදුරජාණන්   වහන්සේ  පෙන්වූ   මාර්ගයෙන්  බැහැරව   වෙනත්   මාර්ගයක්   නොමැති   බැවිනි.

සම්මාසම්බුදුරජාණන්   වහන්සේ   කෙරෙහි  සහ  දේශනා  කළ   සද්ධර්මය   කෙරෙහි  නොසැලෙන  ශ්‍රද්ධාවෙන්  සිට  ඒ  මඟ  ගමන්  කරන්නේනම්   ඉක්මනින්ම  නිවන  සාක්ෂාත්  වනු  ඇත.

නිවන  අවබෝධ  වීමට  පෙර,   ශාස්තෲන්වහන්සේ   සහ  දේශනා  කළ  සද්ධර්මය  කෙරෙහි  ඇති  ශ්‍රද්ධාව  උපාදානයක්   ලෙස  දකින්නේනම්   එයද  මුලාවකි.  වැරදි  දෘෂ්ටියකි.  එවැන්නන්ට  නිවන්  අවබෝධයද   දුරස්  වනු  ඇත.

නිවන  අවබෝධ  වූ  පිරිසට   උපාදානයන්   කිසිවක්  නැත.

රහත්  බවට  පත්   වෙන  අවස්ථාව  දක්වා  ඇති  අනෙක්  මාර්ග  ඵල  වලදීද  උපාදාන  ක්‍රම  ක්‍රමයෙන්  ගෙවී   යන්නේය.

සිත්  ඉපදීම  සම්පූර්ණයෙන්ම  නවත්වා   ගැනීමට  හැකි  වෙන්නේ  නිරෝධ  සමාපත්තියේදී  පමණි.

රහතන්වහන්සේලාටද  සිත්  උපදී.

රහතන්වහන්සේලාට   නිරෝධ  සමාපත්තියේදී  සිත්  ඉපදීම  නවතී.

රහතන්  වහන්සේලාගේ  ඉන්ද්‍රියන්  හමුවට  එන  අරමුණු,  පංචස්කන්ධයක්  මිස  පංච  උපාදානස්කන්ධයක්   නොවේ.

රහත්  බවින්  මෙපිට  සිටින  පිරිසේ  ඉන්ද්‍රියන්  හමුවට  එන  අරමුණු  පංච  උපාදානස්කන්ධ  වේ.

එබැවින්  නව  කර්ම  ඇති  වීමෙන්  භවයන්  හදා  ගනු  ලැබේ.

මාර්ග ඵල  අනුව  උපාදාන  අඩු  වෙන  බැවින්,  හදා  ගන්නා  භවයන්ද  වෙනස්  වේ.

අප්‍රමාදීව  නිවන්  මඟේ  කටයුතු  කරමු.

 

 


Trackback URI | Comments RSS

Leave a Reply

Name (required)

Email (required)

Website

Speak your mind

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin