define('WP_CACHE', true ); නොතේරු archive ප්‍රියානිගේ අදහස්‍…

බුදුන් වහන්සේ නොවඩින සේක්වා!

March 13th, 2018

අග්ගමහා පණ්ඩිත පූජ්‍ය බළංගොඩ ආනන්දමෛත්‍රී නාහිමිපාණෝ විසින් ලියැවුනෙකින් උපුටා ගන්නා ලදී.

එක් ශාන්ත පුරුෂයෙක් මඟ බැස යෙයි. හේ ප්‍රවුජ්ජිතයෙකි. ඔහුට පාවහන් නැත. ඔහුගේ පිටෙහි අංශයෙක එල්ලාගත් පාත්‍රයෙක් වෙයි. සංසුන්වැ වියදඬු පමණ බැල්ම හෙලා වඩනා ඔහු පසුකැර මෝටර කාරයෙක් යෙයි. මෝටර කාරයේ සෙරෙප්පු කූට්ටමක් ලා, පට සිවුරක් ඇඳ පැත්තකින් හම් බෑගයක්ද තබාගෙනැ බඩ ඉදිරියට නෙරවා දෙපා පළලට දිග හැරී හාන්සි වී ඉන්නා හාමුදුරු කෙනෙකුත්  හොඳට ඇඳ පැළැඳ ගත් ඔහුගේ දායකයාත් ය. නායක තැන යටකී පාර අද්දරින් සන්සුන්ව යන පැවිදි නම ඈත සිටම දකී. හිස ඇල කොට ඇස හීන් කොටැ ඔහු දෙස හෙලා දැකුම් සහිත බැල්ලමක් හෙලයි. දායකයා අමතා “බලන්න මහත්මයා මේ පොට්ටනි එල්ලාගෙන ඇවිදින හොරුන් නිසා අප ශාසනයට වී තිබෙන අවනම්බුවක මහත. කුහක කමට ගිය ගිය තැන පාත්‍රය එල්ලාගෙන ඇවිදින තාලයෙ හැටියට ගෞරවය රැකගෙන ක්‍රියා කරන්නට නොදන්නා මේ උන්නාන්සේලා නිසා තමයි ශාසනය මෙච්චර පහත වැටී තියෙන්නේ” යැයි කියයි. “එහෙයි” කියා දායකයාද ප්‍රතිවචන දී නායක හාමුදුරුවන්ගේ බස මුදුනෙන් පිළිගනී.

යට කී හුදැකලාවැ යන පැවිදි නම දායක ගෙදරකට ගොස් සාංඝික දානයකට ගොස් එන භික්ෂූන් සමූහයකට හමුවෙයි. ඒ පිරිසෙහි මුලින් එන්නේද නායක මහණෙකි. සෙරෙප්පු දෙකක් දමාගෙන කළු කුඩයක් ඉසලා බඩ ඉදිරියට නෙරවා ඈති පා තබමින් බරපතළකම පාමින් හෙතෙමෙ යෙයි. ඔහුගේ අනුචර ශ්‍රමණ පිරිසද අල්ලාප සල්ලාප බෙනෙමින් ඒ මේ අත බලමින් යෙති. නායක තැන යටකී හුදකලාව යන පැවිද්දහු දැක හෙලා දැකුම් සහිත බැල්ලමක් ලා ඉවත බලා ගනී. අනුචර පැවිද්දෝ නින්දා සහිත බැල්ලමක් හෙලා “කුහකයෙකැයි, පොට්ටනිකාරයෙකැ යි සොර යැයි” ආදී බස් කොඳුරති. ඔවුන් කිසිවෙක් ඒ හුදකලා පැවිදි නමට මඟ නොහරි යි. ඔවුනට වැඩිමල් පෙනුමක් ඇති හේ මඟින් අයින්ව යයි.

ආගම දියුණුවට වැඩකරන මහා බෞද්ධයෙකුට හේ හමු වේ. කලිසම් හැඳගත් ඒ බෞද්ධයා යථෝක්ත චාම් පෙනීමක් ඇති පැවිදි නමට මඟ නොහරී ඒ පැවිදි නමම අයින්වැ ඔහුට මඟ හැර යයි. ජාතික ඇඳුම නමින් සම්මත ඇඳුමින් සැරසුන රට හදන්නට දඟලන්නෙක් ඉදිරි මඟින් ඒ පැවිදි නමට හමු වෙයි. හේද මඟ නොහැරම යයි. පැවිදි නම අයින්වැ ඔහුට මඟ හරියි. බෞද්ධ උසස් විද්‍යාලයෙක ආචාර්‍යවරුන් කීප දෙනෙක් සහිත උසස් පන්තියක ශිෂ්‍ය පිරිසක්ද ඉදිරි මඟින් එති. ඔවුන් කිසිවෙක් ඒ පැවිදි නමට මඟ නොහරී. පැවිදි නම ම ඔවුන් සැමට මඟ හැර අයින්වැ යෙයි.

හොඳටම හවස් වෙයි. ඒ පැවිදි නම එක් පටු පාරකට බැස යෙයි. රෝමාණු කතෝලික පාදිලි කෙනෙක් ඉදිරි මඟින් හමු වෙයි. ඒ පාදිලි තැන යට කී පැවිදි නම දැක ඕනෑ කමින් බලා සැළකිලි සහිතව අයින් වී මඟ හරී. බසක් දෙකක් කතා කොටැ සතුට දක්වයි.

අඳුරු වෙයි. යථෝක්ත පැවිදි නම එක් පන්සලකට පැමිණෙයි. රෑ නවාතැනටයැ. එහි අධිපති ස්ථවිර තැන දායකයන් කීප දෙනෙකුත් සමඟ කථාවෙහි යෙදී සිටින වේලාවකි. ආරාමයට පැමිණ යට කී හුදකලා පැවිදි නමට ඔන්න ඔහෙන් ඉඳගන්නැයි ඈත අස්සනක් පෙන්වයි. ස්ථානාධිපති තැනට ආගන්තුකයෙකු ආ බව සඳහන් නැති. තමාගේ ආරාමය තිබෙන ගමේ අන් භික්ෂුවක් පිණිස කීප දෙනෙකුන් ආරාමයක් සෑදීම ගැන “එය නවතාලන්නට කවර උපායක් යොදමුදෝ” යි දායකයන් හා හේ ලොකු සාකච්ඡාවෙකැ යෙදී ඉඳී.

රෑ ඉස්තෝප්පුවේ ඇඳෙකැ. ඒ පැවිදි නම නිදා හිඳ උදේ එහි ප්‍රධාන මහණහට දන්වා පිටත් වෙයි. හේ ඉන් නික්ම යන්නේ අන් ආරාමයකට පැමිණෙයි. ඒ සියම් නිකායේ පන්සලකි. එහි භික්ෂූහුද පැවිදි නමගෙන් “ඔබ සියම් නිකායේදැ” යි අසති. නැතැයි හේ උත්තර දෙයි. ඔවුන්ගේ සැළකිල්ල අඩුවෙයි. එදා සාංඝික දානයකි. සාංඝික කරන තුරු ඒ පැවිදි නම ඉවත් කෙරෙති.

එයින් නික්ම යන ඒ පැවිදි නම පසු දින අමරපුර නිකායේ ආරාමයකට එළඹේ. එය මහා විනයධර නායක කෙනෙකුන් ඉන්නා තැනෙකි. හේ යට කී පැවිදි නමගෙන් “අමරපුර නිකායේදැ”යි අසයි. නැතැයි හේ කියයි. එතැනදීද මඳක් ඒ පැවිදි නම ඈත් කෙරෙති. ඉන් පසුව රාමඤ්ඤ නිකායේ පන්සලකට හේ යයි. එහිදී රාමඤ්ඤ නිකායේදැයි අසන ලදින් නැතැයි ඔහුගෙන් පිළිතුරු වෙයි. ඉන්පසු සැළකිල්ල මඳ වෙයි.

මෙසේ ඇවිදිනා ඒ පැවිදි නමට සමහර ආරාම වලදී  සොරකැයි නවාතැන් පවා නොදෙති. සමහර තැනෙකදී  කුහකයෙකැයි නිග්‍රහ කෙරෙති. සමහර තැනකදී  අළුත් පැෂන් ගත් තරුණ භික්ෂූන්ගේ උසුළු විසුළු වෙයි. සියම් නිකායේ භික්ෂූහූ ඔහු ඇස් බැම ගා දමා ඇත්තෙක්දැයි බලති. එහිත් ගම් වදනටත්, ඒකාංශය වසා පොරෝන සමහරු, ඒ පැවිදි නමටත් එසේමදැයි සෝදිසි කෙරෙති. අමරපුර නිකායේ භික්ෂූහූ ඒ පැවිදි නම තමන් සේ හදිනා පොරෝනා කෙනෙක්ද? ආදීන් සොයති. රාමඤ්ඤ නිකායේ භික්ෂූහූ හේ ගොටු අත්තක් දරන්නෙක්දැයි තදින් විමසති. ගිහි මහා බෞද්ධයොත් තදනුචරයොත් ඒ පැවිදි නම ගැන කිසිදු සැළකිල්ලක් නොකරති.

මඟ යන ඒ පැවිදි තුමාගේ ශාන්ත වේශය දැක පැහැදුණි. ඒ තාක් දුර විමසුම් සහිතවැ පසුපසින් ආ දුප්පත් උපාසකයෙක් ඉතා ගෞරවයෙන් එතුමා සිය ගෙට වැඩමවා සංග්‍රහ කෙරෙයි. වළඳා අවසනැ එතුමා භුක්තානුමෝදනාව කෙරෙයි. එය ඇසූ උපාසක තෙම විමසුම් සහිත වේ. හේ විමසයි. ඇඳින ගනී. හේ මෙසේ දුක්මුසු වදන් කියන්නට වෙයි.

“අනේ ! මේ මාගේ සම්මා සම්බුදු හාමුදුරුවෝ නොවෙත්ද? උන්වහන්සේ අඳුනා ගන්නට බැරිවිය. අපේ නායක ස්වාමීන්වහන්සේලා ඉතා වැඩි දෙනාටත් තදනුගාමී පැවිද්දන්ටත් බුදුහාමුදුරුවන්වත් අඳුනා ගන්නට බැරි විය. අනේ වූ දෙයක හැටි. නෑ පුදුමයක් නොවෙයි. ඒ කිසි කෙනෙක් හැබෑ බෞද්ධයෝ නොවෙති. ඒ නිසයි මෙහෙම වුනේ”.

අද බුදුරජාණන්වහන්සේ වැඩියොත් වෙන්නේ මේ ටිකයි. එහෙත් බුදුරදහු නම් නොවඩිති. එයමැ සැනසිල්ලට කරුණය.

 

 

 

 

මතු ලොව්තුරා බුදු බව පැතූ අප නාසමිඳු……

March 12th, 2018

බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘ  පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳු ගතින් අප අතර නැති වුවත් අප සිත් තුල ජීවමාන බව නම් කිව යුතුමයි.

ලෝකයේ සිටින සියළුම දෙනා වෙනුවෙන් මහත් වූ කරුණාවෙන්ම බුදුදහම බෙදා දීම සඳහා  “සැම හිත සුව පිණිස” බෞද්ධ මාධ්‍යජාලයක් පළමුව ආරම්භ කලේ පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්වහන්සේමයි.

“අඳුරට ශාප කරනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම වටිනවා” යන කියමන සනාථ කරමින්  බෞද්ධයා මාධ්‍යජාලය ආරම්භ වූයේ පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුගේ අධිෂ්ටානය, වීර්‍ය, මෛත්‍රිය, ඉවසීම, ප්‍රඥාව…….. ආදී පාරමිතාවන් සපුරාලන අයුරිනි.

බෞද්ධයා මාධ්‍යජාලය තුලින් ශ්‍රැතමය ඤාණය ඇති කරමින්, පරියාප්තිය සහ ප්‍රතිපත්තිය පෙන්වා දෙමින්, ප්‍රතිවේදයට පත් වීමට මඟ විවර කිරීමේ ආරම්භකයා පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුයි.

අසදෘෂ  මහා පින්කම් රාශියක්ම කිරීමේ පුරෝගාමියා වූයේ ද පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුයි.

අටමස්ථානය,  සොළොස්මස්ථානය ආදී වටිනා පූජනීය ස්ථානවලදී ලක්ෂ සංඛ්‍යාත ජනතාව සහභාගී කරවා ගෙන පින්කම් කිරීමේ ආරම්භක ස්වාමීන්වහන්සේ වන්නේද පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුයි.

කිසිවෙක් නොකළ ඉතාම වටිනා පින්කමක් ලෙස  ලොවටම ආදර්ශයක් දෙන  වස විසෙන් තොර ආහාර ලබා දීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීමට පුරෝගාමීයා වූයේද පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුමයි.

ජනතාවට මුහුණ දීමට සිදු වූ  හදිසි ආපදා තත්ත්වයන් වලදී වර්ග බේදයකින් තොරව සියල්ලන්ටම සෑම අයුරින්ම උදව් උපකාර කලේය. මහා ගංවතුරෙන් විශාල හානියක් සිදු වූ විට, භෞතිකව කල උදව්  උපකාර වලට අමතරව නිදහස් චතුරස්‍රයේ දී තුන් නිකායේම ස්වාමීන්වහන්සේලා දහසක් වඩම්මවා පිරිත් දේශනා පවත්වා රටටත් රටවැසියන්ටත් ආශිර්වාද කරමින් සෙත් පැතීමේ  මහා කාරුණික සිතක් පහල වූයේද පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුටයි.

උතුරු, උතුරු මැද ප්‍රදේශ වලට බලපෑ මහා නියඟයේදී රතන සූත්‍රයෙන් පිරිත් කල වතුර බෝතල් ලක්ෂ ගණනාවක් සහ අවශ්‍යය කරන වියළි ආහාර ද්‍රව්‍යය  කන්ටේනර් පුරවා  ගෙන ගොස්  ලබා දී,  ගල් විහාරයේදී මහානායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වැසි පිරිත දේශනා කර, බුදු පිළිම වහන්සේගේ දෙපා දෝවනය කර, වැස්ස ඇති වීමට කල ඒ පින්කම අවසන් කර නැවැත කොළඹ ප්‍රදේශයට එන්නටත් ප්‍රථම නියඟය අවසන් වී මහ වැසි ඇති වූයේ අප නාසමිඳුගේ පාරමිතා සපුරාලන්නට මෙනි.

ලෝවැසි සියළුම රෝගීන්ට නීරෝගී සුවය පතා ඖෂධ වර්ග 108 කින් සකස් කල ඖෂධ ගිලන්පස  පූජාව සෑම සැන්දෑවකම පැවැත්වීමටත්, දෙතිසක් ව්‍යංජන සහිත දහවල් බුද්ධ පූජාවත්, උදෑසන 5.30 ට ආරම්භ කරන සත්බුදුවරුන් වෙනුවෙන් පවත්වන කිරි ආහාර පාත්‍ර  7 ක් සහිත බුද්ධ පූජාවත්  දිනපතාම පැවැත් වීමට අනුශාසනා කරමින් ආශිර්වාද කල පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුගේ අළුත් ජීවිතය සුවපත් වේවා.

නාසමිඳු  නැතිව  අප  සැම  දුක්           වෙනවා

නාසමිඳු   ලැබ   දෙවියෝ   තුටු            වෙනවා

කෙනෙකුගෙ දුක තවකෙනෙකුට සැප දෙනවා

දෙසු   බුදුවදන්    අප   සැමටම         සිහිවෙනවා

ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන බෞද්ධ දරුවන්ට  දහම් පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින විට, ඒ දරුවෝ වෙනුවෙන්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් පාසලක් මූලිකව ආරම්භ කලේ පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුයි.

බෞද්ධ පිරිසගෙන්  පමණක් නොව අබෞද්ධ පිරිසගෙන්ද  ඔබවහන්සේ ගේ ධර්ම ප්‍රචාර, සමාජ සත්කාර, අභයදානමය ආදී නොයෙක් පින්කම් සඳහා සහයෝගය සහ  ආශිර්වාදය  ලබන්නට තරම් පින්වන්ත වූයේ අප නාසමිඳුයි.

විවිධ ආකාරයෙන් බුදු දහමේ පණිවිඩය ගෙන යන්නට ඔබවහන්සේට සිත් වූයේ, විවිධ ආකාරයේ සිතුම් පැතුම් ඇති සැම දෙනාටම සාධාරණයක්  වෙන අයුරින් බව හැඟේ.

බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස සැළකෙන දළදා මාළිගාවේ රන් සහ රිදී දොරවල් දෙකම  සකස් කොට දීමට පුරෝගාමී වූයේද දරණාගම කුසලධම්ම නාසමිඳුයි. බෞද්ධ අබෞද්ධ පිරිසේ ශ්‍රද්ධා බීජය රෝපණය කිරීමට දැරූ උත්සහයේ අවස්ථාවන් බොහෝය.

කුසල් සිත් ඇති වෙන අයුරින් කල බොහෝ  දෑ වෙනුවෙන් අප සැමටම දායක වීමට ලැබීමත් අප සැම කල පෙර පිනෙක විපාකයක් යැයි සිතේ.

බුදු දහමේ ඇති කර්ම විෂයෙන් ඇති වෙන ප්‍රථිඵල ගැන සම්මාසම් බුදු වරයෙකුට පමණක් කිව හැකි දෙයක් බව පෙන්වා දීමටද ඔබවහන්සේ මෙවැනි නොසිතූ ආකාරයට නොසිතූ වෙලාවක අප හැර ගියේ. අපේ බුදුපියාණන්වහන්සේටද නොයෙක් රෝගී තත්ත්වයන්ට මුහුණ පාන්නට සිදු වූ බවත් නොරහසකි.

ඔබවහන්සේගේ චිත්ත ශක්තිය සහ සෘජු බව, ඔබවහන්සේට වැළඳුණු රෝගයට අඩපන කරන්නට බැරි වී ඇති බව, අවසන් වදන් වලින් අපට පැහැදිලි වුනා. ඒ වදන් සත්‍යයක්මයි. අපි සැම දෙනාම ඔබවහන්සේට පින් දෙමින් බෞද්ධයා සමඟින් සිට  නිවනම සාක්ෂාත් කර ගැනීමට  උත්සහ ගන්නෙමු.

මෙත් බෝසත් නාථ දෙවිඳු මෛත්‍රී නමින් බුදු බවට පත් වූ විට, මතු ලොව්තුරා බුදුබව පැතූ පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳු  නියත විවරණ ලබන බෝසත්වරයෙක් බව, ඉතාම කෙටි කලක් තුල  කල බොහෝ දෑ වලින් අපට පැහැදිලි වේ. ශතාධික කාලයකටවත් කල නොහැකි බොහෝ දේවල් කර ගැනීමට හැකි වූයේ ද බෝසත් ගුණ ඇති උතුම් බෝසත් වරයෙක් නිසාමයි කියා හැඟේ.

සැමටම   බුදුමඟ   පෙන්වා          දුන්නා

පින්කම්   කරනා  හැටි  පෙන්වා දුන්නා

සැම  සිත්   සුවපත්   කරලා           දුන්නා

නොබැඳී   යන  හැටිත්  පෙන්වා   දුන්නා

පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳු ගේ ගුණ ලියා නිම කරන්නට   කල කී දේවල් ලියා නිම කරන්නට තරම් මට දක්ෂතාවයක් නොමැත. ලිව්වේ ඉතාම ස්වල්පයකි. නොලිව්ව ප්‍රමාණය ඊට වඩා වැඩිය.

ශීලාදී ගුණයෙන් ප්‍රිය වූ ද එසේ හෙයින්ම ගරු සම්භාවනීය වූ ද අවවාද අනුශාසනා දෙන්නා වූ ද නපුරු වචන ඉවසන සුළු වූ ද අස්ථානයේ නොයොදවා නිර්වාන මාර්ගයේ යොදවන්නා වූ ද කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

අති පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්වහන්සේට මතු ලොව්තුරා බුදු බවම ලැබේවා.

 

හදමු හොඳ තැනක්….ඔයාටයි මටයි…..

March 6th, 2018

ඔයයි මමයි කොපමණ නම් තැන් හැදුවද?

ඔයයි මමයි දෙන්නෙක් මෙන් නොපෙනෙන තරමටම අප දෙන්නාගේ බැඳීම කාටවත්ම වෙන් කරන්නට බැහැ නේද?

ඔයයි මමයි වෙන් කරන්නට කිසිදු කෙනෙක් මේ තුන් ලොවෙහිම නැහැ නේද?

ඔයා හිතන කියන කරන හැම මොහොතකම මමත් ඒ විදියටම ඔයත් එක්කම නේද ඉන්නේ.

ඔයාගෙයි මගෙයි බැඳීම ඇති වුනු දවස හෝ මොහොත හෝ අපි දෙන්නවත් දන්නේ නැති තරමටම බොහෝ දීර්ඝ කාලයක් නේද?

ඔයා මගෙයි මන් ඔයාගෙයි කියන සමහර අය කොපමණ නම් වෙන් වෙනවාද?

ඒ වුනත් අප දෙන්නානම් කිසිම මොහොතක වෙන් වීමක් නැති බැඳීමකින් නේද ඉන්නේ.

ඔයයි මමයි කිව නොහැකි තරම් තැන් හදමින් මාරු වෙමින් තවමත් ඉන්නවා.

කොපමණ තැන් මාරු වුනත් ඔයයි මමයි තවමත් එකටමයි ඉන්නේ නේද?

ඔයා කොතැනද මමත් එතැනමයි. කාටවත්ම හිතා ගන්නවත් බැරි තරමටම අප දෙන්නාගේ බැඳීම හරි පුදුමයි නේද?

ඔයයි මමයි කිව නොහැකි තරමේ ප්‍රමාණයක් තැන් හදමින් මාරු වෙමින් සිටියා ඇති වගේ නේද?

ඔයාටයි මටයි හොඳ තැනක් හදමු.

හොඳ තැනක් හදා ගෙන ඔයයි මමයි එතැන සිට හොඳම තැනක් හඳමු.

එවිට ඔයාටයි මටයි නැවැත තැන් හඳමින් මාරු වෙන්න උවමනා  වෙන්නේ නැහැනේ.

එහෙනම් අපි දෙන්නාගේ කතාව බැලූ සැමටම තුණුරුවන්ගේ සරණයි කියනවා චිත්ත චෛතසික අප දෙදෙනාම.

(මනුෂ්‍යය ජීවිතයක් ලැබූ අප සැම දෙනාම සෝවාන් ඵලය නැමැති හොඳ තැනක් සකස් වෙන ලෙස අප්‍රමාදී වෙමු. එවිට අපට නිර්වානය නැමැති හොඳම තැන පිළිබඳව ස්ථිරම  විශ්වාසය ගොඩ නැඟේ.)

 

 

දැණුම අවබෝධයට බාධාවක්ද?……..?…….?

February 9th, 2018

දැණුම යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද?

දැණුම ලැබෙන්නේ කෙසේද?

දැණුම ලැබෙන්නේ කොහෙන්ද?

දැණුම ලැබෙනවාද? ලබාගන්නවාද?

දැණුම අවබෝධයට බාධා වෙනේ කෙසේද?

දැණුම බිම තැබිය හැකිද?

දැණුම බිම තැබූ විට කුමක් සිදු වේද?

දැණුම බිම තබා හොඳ හුස්මක් ගත හැකිද?

සෑම දෙයක්ම සෑම සිදු වීමක්ම ආදී විවිධාකාර දේවල්  පිළිබඳව දැන ගැනීම හඳුනා ගැනීම දැණුම ලෙස සරලව කිව හැකියි.

නාමිකව හෝ කෙටියෙන් හෝ කෙටි විස්තරයකින් හෝ දීර්ඝ විස්තරයකින් හෝ යන නොයෙක් පරාසයන් තුළ දැණුම තිබිය හැකියි.

දැණුම සහ දැණුමේ ප්‍රමාණය සාපේක්ෂක වන නිසා, විවිද පැතිකඩ ඔස්සේ විවිද මත ඉදිරිපත් කළ හැකි බවද කිව යුතුයි.

දැණුම ලැබෙන ආකාර බොහෝ ප්‍රමාණයක් ඇති නමුත් ඒ සියල්ලම නොවිධිමත් අවධිමත් විධිමත් යනාකාරයෙන් කොටස් වලට යොමු කිරීමෙන් පහසුවක් සැලසේ.

අපේ ෂඩ් ඉන්ද්‍රියන්ට ලැබෙන සෑම අරමුණකින්ම අපට දැණුම ලැබෙන අතර ඒ අරමුණු ඇති කිරීමට හෝ ඇති වීමට හෝ යනාදි දේවල් සියල්ලම දැණුම ලැබෙන ප්‍රභවයයන් ලෙසද ගත හැකියි.

දැණුම, ලබාගැනීමෙනුත් ලැබීමෙනුත් යන දෙයාකාරයෙන්ම සිදු වෙන්නකි.

දැණුම ලබා ගැනීම නොයෙක් ආකාරයට සිදු කරන බව අපි සැවොම දනිමු.

විවිධ අය විවිධාකාරයෙන් දැණුම ලබා ගැනීම සිදු කරත් පොදුවේ සියල්ලක්ම ප්‍රධාන වශ්‍යෙන් මූලිකව අධ්‍යාපන ආයතන මඟින් ලබා ගැනීමට යොමු වී  ඇත.

අධ්‍යාපන ආයතන වලට යාමට ප්‍රථම නිවසේදීත්  සමාජයෙනුත් නොයෙක් ආකාරයේ දැණුම් සම්භාරයක් කාහටත් ලැබී ඇත.

උපන් අවස්ථාවේදී සිඟිති දරුවාට කිරි උරා බීමේ දැණුම ලබා දුන්නේ කවුද?

අපහසුවක් දැනෙන විට ඒ බව හඟවන්නට ක්‍රමයක් එනම් අඬන්නට කියා දැණුමක් ලබා දුන්නේ කවුද?

පහසුවක් දැනෙන විට, සිනහ වෙන්නට කියා දැණුමක් ලබා දුන්නේ කවුද? (උපන් හැටියේ බිළිඳු දරුවන් පවා නින්දෙන් ලස්සනට සිනහ වෙන බව දන්නෝ දනිති)

එමනිසා දැණුම ලැබීමේ සහ ලබා ගැනීමේ ක්‍රම සහ ප්‍රභවයයන් ගැන, තවදුරටත් සෙවීමට අවශ්‍යය වන්නේනම් තම තම්න් විසින්ම සොයා ගැනීමට යොමු විය හැකියි. ( බොහෝ කරුණු විස්තරාත්මකව ඇති බැවිනි)

දැණුම කිසිම දෙයක අවබෝධයට බාධාවක්  නොවන්නේමය.

කිසිම දැණුමක් නොමැති කිසිම සත්ත්වයෙක්ද සොයා ගත නොහැකියි.

දැණුම අවබෝධයට පහසුවක් ගෙන දෙයි.

දැණුම නිසා ඇති වෙන උගත්කම බුද්ධියට හරවා ගත් කළ, එය අවබෝධයට පහසුවක්ම වෙයි.

උගත්කමට වඩා බුද්ධියේ වෙනස ලෙස දැක්විය හැකි වෙන්නේ, අවශ්‍යය තැනට අවශ්‍යය දෙය අවශ්‍ය වෙලාවට සකස් කර ගත හැකි වෙන්නේ බුද්ධියට පමණි.

එමනිසා දැණුම, අවබෝධය සඳහා  යොදා ගැනීමට බුද්ධිමතාට ගැටළුවක් නොවේ.

දැණුම නිසා ඇති කරගන්නා නොයෙක් ආකාරයේ මානයන් නිසා අවබෝධයන්ට බාධා ඇති විය හැකියි.

රහත් වනතුරුම සෑම කෙනෙක් ලඟම ඇති ක්ලේශයක් වන මානයේ ප්‍රමාණය මැනිය හැකි වෙන්නේ ද සම්මා සම්බුදුවරයෙකුටම පමණි.

නොයෙක් ආකාරයේ දැණුම්, උපතේ සිටම ඇති දෙයක් නිසා, එය ජීවිතය හා බැඳී  පැවතෙන්නක් මිස,  කරමත ඇති දෙයක් ලෙස සිතා බිම තැබිය හැකි දෙයකුත් නොවෙයි.

විවිධ අවස්ථාවන් වලදී විවිධ දේවල් පිළිබඳව නොයෙක් ආකාරයේ අවබෝධයන් ඇතත්, වටිනාම අවබෝධය ලෙස අප සිතන සංසාර දුකින් එතරවීම යන   අවබෝධයේ ගමන් මඟෙහි සිටින තැන, නිවැරැදිවම කිව හැකි වෙන්නේ සම්මා සම්බුදුවරයෙකුට පමණි.

කෙනෙකුගේ කතා බහෙන් හැසිරීමෙන්, ඒ කෙනාගේ අවබෝධයේ ප්‍රමාණය  කියන්නට යමෙක් පෙළඹෙන්නේ නම්, ඒ තැනැත්තා කෙරෙහි අනුකම්පාවෙන් සහ මෛත්‍රී සිතින් බැලීම පමණක් කළ යුතුයි. මක් නිසාද යත් සම්මා සම්බුදු වරයෙකු සතු හැකියාව ඇති බව පෙන්වීමට උත්සහ කිරීම නිසායි.

දැණුම ජීවිතය හා බැඳී පවතින්නක් නිසා, එය බිම තැබිය හැකි දෙයක් නොවෙයි.

දැණුම බිම තැබිය නොහැකි නම්, බිම තැබූ විට කුමක්  සිදු වේද යන ප්‍රශ්නය ද නොගැලපේ.

දැණුම බිම තැබිම සිදු වෙන්නේ, මරණයත් සමගයි.

ඉන්පසු හොඳ හුස්මක් ගත් කෙනෙක් ලොව කොතැනක හෝ සිටීද?

 

 

 

අනේ මෙහෙම තණ්හාවක්..!

January 6th, 2018

X:-   මගේ දුකට හේතුව තණ්හාව බව බොහෝ දෙනා කියන නිසා,  මට ඔබව ඉවත් කරන්නට උවමනායි.

තණ්හාව:-   මාව ඉවත් කරන්නට වෙහෙසුනාට වැඩක් නැහැ.

වේදනාව හේතුවෙන් තමයි මගේ ඇතිවීම.

වේදනාව නොමැතිනම් මමත් නොමැත.

X:-   වේදනාව මට ඔබව ඉවත් කරන්නට උවමනායි.

වේදනාව හේතුවෙන් තණ්හාව ඇති වෙන බව කියන නිසා.

වේදනාව:-   මාව ඉවත් කරන්නට වෙහෙසෙන්න එපා. එය කල නොහැකියි.

ඵස්සය හේතු කොටගෙනයි මගේ ඇතිවීම.

ඵස්සය නොමැතිනම් මමත් නැත.

X:-   ඵස්සය මට ඔබව ඉවත් කරන්නට උවමනායි.

ඵස්සය හේතුවෙන් වේදනාව ඇති වෙන බව කියන නිසාවෙන්.

ඵස්සය:-  මාව ඉවත් කල නොහැකියි.

ෂඩායතනයන්ගේ හේතුවෙන් තමයි මගේ ඇතිවීම.

ෂඩායතනයන්  නොමැතිනම් මමත් නොමැත.

X:-   ෂඩායතන මට ඔබලා ඉවත් කරන්නට උවමනායි.

ෂඩායතනයන්ගේ හේතුවෙන් ඵස්සය ඇති වෙන බව කියන නිසා.

ෂඩායතනයන්:-   අපව ඉවත් කල නොහැකියි.

නාම රූප හේතු කොට ගෙන අපේ ඇති වීම සිදු වෙන්නේ.

නාම රූප නොමැතිනම් අපද නැත.

X:-   නාම රූප මට ඔබ ඉවත් කරන්නට උවමනායි.

නාම රූප හේතුවෙන් ෂඩායතනයන් ඇති වෙන බව කියන බැවින්.

නාම රූප:-   මාව ඉවත් කිරීමට නොහැකියි.

විඤ්ඤාණය හේතුවෙන් මගේ ඇතිවීම සිදු වෙන්නේ.

විඤ්ඤාණය නොමැති නම මමද නොමැත.

X:-   විඤ්ඤාණය මට ඔබව ඉවත් කරන්නට උවමනායි.

විඤ්ඤාණය හේතුවෙන් නාම රූප ඇතිවෙන බව කියන නිසා.

විඤ්ඤාණය:-   මාව ඉවත් කරන්නට නොහැකියි.

සංස්කාරයන්ගේ හේතුවෙන් තමයි මගේ ඇතිවීම සිදු වෙන්නේ.

සංස්කාරයන් නැති නම් මමද නැත.

X:-   සංස්කාර මට ඔබව ඉවත් කරන්නට උවමනායි.

සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය ඇති වෙන බව කියන නිසා.

සංස්කාර:-   මාව ඉවත් කරන්නට වෙහෙසෙන්න එපා. එය කල නොහැකියි.

අවිද්‍යාව හේතුවෙන්  මගේ ඇතිවීම සිදු වෙන බැවින්.

අවිද්‍යාව නොමැතිනම් මමද නැත.

X:-  අවිද්‍යාව මට ඔබව ඉවත් කරන්නට උවමනායි.

අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වෙන බව කියන නිසා.

අවිද්‍යාව:-   ඔව්, ඔබට මාව ඉවත් කළ හැකියි.

ඔබ යෝනිසෝ  මනසිකාරයෙන් සැම විටම කටයුතු කරන්න.

එවිට ඔබට ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළුවනි.

කෙටියෙන්ම කියනවනම් සතර සතිපට්ඨානය වඩන්න.

එවිට  දුකට හේතුව වන තණ්හාව දුරු වී,  ඔබට අවශ්‍යය දෙය සිදු වේවි.

කිසි විටෙක කිසිවක් ඉවත් කල නොහැකියි. කිසි විටෙක කිසිවක් ලබාගතද නොහැකියි. කල යුතු දෙය කරන විට, ඉවත් වීම සිදු වේ. ලැබීමද සිදු වේ.

එයින් අදහස් කලේ තණ්හාව ඉවත් කරන්නට යෑම කල නොහැකි දෙයක් සහ එය ඉවත් කිරීම සඳහා කලයුතු දෙය පමණක් කිරීමයි.

තණ්හාව ඉවත් කළ නොහැකි සේම නිවනද ලබාගත නොහැකියි.

යායුතු මඟ හෙවත් කලයුතු දෙය කරන විට, තණ්හාව දුරු වේ. නිවනද ලැබේ.

ඉවත් වීමක් සහ ලැබීමක් මිස ඉවත් කිරීමක් හෝ ලබා ගැනීමක් ගැන නොසිතිය යුතුයි.

සරල පැහැදිලි කිරීමක් ලෙස මසිතට මෙසේ හැඟුණු  දෙය පහතින් දක්වමි.

බැක්ටීරීයාවක් හේතුවෙන් සෑදුණු රෝගයක් ගැන  සිතමු.

අපි රෝගය හඳුනා ගෙන එයට හේතුව බැක්ටීරීයාවක් බවද දැන ගත්තා යැයි සිතමු.

අපිට බැක්ටීරියාව ඉවත් කල හැකිද? අපි එසේ කරන්නට සුදානම් වෙනවාද?

අපි කරන්නේ එම බැක්ටීරියාවේ වර්ධනය නැති කිරීමටත් නැවැත අළුතෙන් ඇති නොවීමටත් වග බලා ගැනීම නේද?

ඖෂධ භාවිතය ඇතුළු කල යුතු දේ කරනවා මිසක් බැක්ටීරියාව ඉවත් කරන්නට නොහැකි බවද අපි දනිමු.

කලයුතු දෙය කරන විට බැක්ටීරියාව ඉවත් වීමද සුවය ලැබීමද සිදු වෙන්නක් මිස සිදු කරන දෙයක් නොවෙයි නේද?

 

දැන් ඔබට දුකයි ද?

December 27th, 2017

දැන් ඔබට සතුටුයිද කියල නිතරම ඇහෙන කතාවකි.

දැන් ඔබට දුකයිද  කියලා අහන්න හිතුනා.

මොකක්ද මේ දුක කියන්නේ?

අකමැති දෙයක් සිතට කයට සිදු වූ විට, අපිට දුක එනවා.

දුක යනු නරක සිතිවිල්ලක්.

එය ද්වේෂ සහගත සිතිවිල්ලක්.

අපට කැමැති ආකාරයට කිසිවක් සිදු නොවන බව දැන දැනත් අපි බලාපොරොත්තු වෙනවා කැමැති ආකාරයට සිදුවිය යුතුයි කියා.

අපේ සිතීමේ වරදකින් ඇති වෙන දුක ඉවත් කර ගැනීමට හැකි වෙන්නේ අපේ සිතීමේ ක්‍රමය වෙනස් කිරීමෙනි.

සිතීමේ ක්‍රමය වෙනස් කර ගැනීමට ඇති ක්‍රමය කුමක්ද?

බුදුපියාණන්වහන්සේ අපට සදා සැප ලබාගත හැකි වෙන මඟ පෙන්වා දී ඇති ක්‍රමය පිළිපැදීමෙන්, අපේ වැරැදි ලෙස සිතීමේ ක්‍රමය වෙනස් වෙයි.

ඒ මඟ යන්නන්ට දුක ඉවත් වීම හෙවත් සදා සැපයට පත් වීමටද හැකි බව විශ්වාසයෙන්ම පිළි ගෙන එමඟ යමු.

බුදුපියාණන්වහන්සේ දුකම ගැන කතා කරන කෙනෙක් ලෙස පෙන්වා දෙන්නන්ට සදා සැප නොපෙනෙන්නේ මන්ද?

බුදුපියාණන්වහන්සේ දුක ගැනම කතා කළ කෙනෙක් ලෙස නොපෙනෙන මට උන්වහන්සේ සදා සැප ගැනම කතා කළ කෙනෙක් ලෙසයි පෙනෙන්නේ.

මගේ මම යන සිතිවිල්ල නිසාවෙන් දුක ඇති වෙනවා.

මම නැති වූ විට දුකද නැති වෙනවා.

මගේ මම යන සක්කාය දිට්ඨිය නැති වෙන මඟ ගමන් කරමු.

අපේ සිතට එන සෑම අරමුණකදීම ලෝභ මූලිකව සිදු වෙන ඇලීමත්, ද්වේෂ මූලිකව සිදු වෙන ගැටීමත් මෝහය නිසාම සිදු වෙන්නක් වුවත් අපි එය මගේ මම යන දිට්ඨිය තුළ සිටින නිසයි දුක ඇති වෙන්නේ.

ක්ෂණයක් ක්ෂනයක් පාසා ඉපද නැති වෙන අරමුණු හෙවත්  නාමරූප හෙවත් පඤ්චස්කන්ධය ඇලීමෙන් හෝ ගැටීමෙන් හෝ උපාදානය කර නොගෙන ඇති සැටියෙන් දකින්නට අපේ සිත පුරුදු කරමු.

ෂඩ් ඉන්ද්‍රියන් වලට ලැබෙන අරමුණු නිවැරැදිව ඇති සැටියෙන්ම දකින්නට සිත පුරුදු කරමු.

යෝනිසෝමනසිකාරයෙන් සිටින්නට හැකි නම් අරමුණු වල ඇත්ත දකින්නට පුළුවනි.

යෝනිසෝමනසිකාරය ලෙස සඳහන් කලේ නූපන් ආස්‍රව නූපදින ලෙසටත් උපන් ආස්‍රව ගෙවෙන ආකාරයටත් හිතන විදියටයි.

මොළය මැරිලා ද?

December 17th, 2017

මොකක්ද මේ “මොළය මැරිලා” යයි කියන්නේ.

වෛද්‍ය විද්‍යාවට අනුවනම් අර්ථ දැක්වීම් තිබෙන බවනම් කවුරුත් දන්නවා.

ඒ වුනාට සාමාන්‍යය ජනතාවට මෙය තේරුම් ගන්නට බැරි බවනම් සිතෙනවා.

මොළය මැරුණු පුද්ගලයන් ගැන දින කිහිපයක් බලා සිට, ඉන්පසු ඔවුන්ගේ අවයව ඉවත් කරමින් වෙනත් පුද්ගලයන්ට බද්ධ කිරීමේ සැත්කම කරන්නට ලංකාවේ වෛද්‍යවරුන් දෙන  උපදෙස ගැන මොනවාද සිතෙන්නේ?

එසේ කිරීම මහත්ඵල මහානිශංස පුණ්‍ය ක්‍රියාවක් බවද ඔවුන් සඳහන් කරන්නේ කෙසේද කියාත් මහත් ගැටළුවකි.

මට එසේ සිතෙන්නේ වෙනත් රටවල මොළය මැරුණු පුද්ගලයන් මාස හත අටක් අවුරුද්දක් වගේ කාලයක් සිට නැවැත සුවය ලැබූ අවස්ථාවන්ද ඇති බව කියවෙන කතා පුවත් නිසාවෙනි.

නිවුන් දරු උපතක්  සිදු කිරීමට  සිටි අම්මා කෙනෙක් වැටීමෙන් මොළය මැරී, රෝහල් ගතව  මාස හතරක් ඉක්මවූ පසු ඉතාම නීරෝගී දරු දෙදෙනෙක් ලබා ගත් පුවතක්ද ඉතාම මෑතකදී අසන්නට ලැබුණු පුවතකි.

ලංකාවේ මොළය මැරුණු පුද්ගලයෙක් ගැන ඉතාම ටික දිනක් පමණක් රදවා ගන්නේ අවයව බද්ධ කිරීමට අවශ්‍ය පුද්ගලයන් සොයා ගන්නා තෙක්ම  පමණක් බවයි මට සිතෙන්නේ.

සාමාන්‍ය තුවාලයක් සනීප වෙන්නට යන තරම්  කාලයක්වත්  මොළය මැරුණු පුද්ගලයා වෙනුවෙන් කලයුතු දේ කරන්නට අපේ රෝහල් වල ඉඩ පහසුකම් නැද්ද?

මොළය මැරිලා කිව්වට හදවත වැඩ කරන නිසා එම පුද්ගලයා නොමැරුණු කෙනෙකි.

එමනිසා මගේ අදහසනම් මොළය මැරුණු පුද්ගලයාට කරන බරපතලම වරදක් අපේ රෝහල් වලින් කරන බවකි.

මොළය මැරුණු පුද්ගලයාගේ හදවත ක්‍රියාකරන නිසා එම පුද්ගලයාගේ සිත ද සක්‍රියව පවතින බවකි.

එමනිසා එම පුද්ගලයාගේ පණ තියෙද්දීම, අවයව උදුරා ගැනීම සාහසික ක්‍රියාවක් සහ මිනී මැරුමක් ලෙසයි මට සිතෙන්නේ.

එය මහත්ඵල මහානිශංස දෙන පින්කමක් නොව සතර අපාගත වෙන මහා පවක් ලෙසයි මට සිතෙන්නේ.

උදාහරණයක් ලෙස අපි මෙහෙම සිතමු. අංශබාගය හැදුණු පුද්ගලයෙක්ගේ  මොළය කොටසක් මැරිලා නිසා නේද එම පුද්ගලයාට එම අංශය පිළිබඳව චලනයන් ආදී ක්‍රියාවන් කිරීමට අපහසු වෙන්නේ.

එවිට අපි ඒ රෝගියාගේ එම අංශයේ ඇති සෙලවිය නොහැකි අතක් පයක් වැනි බාහිර අවයවයක් හෝ ඉවත් කර වෙනත් කෙනෙකුට බද්ධ කරන්නට, එම පුද්ගලයා කැමැති වෙනවාද?

“ඔබට දැන් මේ අත පය සෙලවිය නොහැකි නිසා වැඩක් නැහැනේ” කියා මහත්ඵල මහානිශංස පින්කමක් කරගන්නට මේ අත පය වෙනත් කෙනෙකුට බද්ධ කරන්නට යොදා  ගන්නවා කියා  එම පුද්ගලයාට කිව හැකිද? එසේ කිව්වාම එම පුද්ගලයා එයට අනුබල දේවිද?

සිංහල තෙල් බෙහෙත් වලින් අවුරුදු ගණනාවක් හෝ සාත්තු කර සුව කරගැනීමට තමයි එවිට හැම කෙනෙක්ම වෙහෙසෙන්නේ.

එහෙම සුව කළ දක්ෂ සිංහල වෛද්‍යවරුන් සිටි බවටත් කතා පුවත් අසා ඇත.

එමනිසා මොළය මැරුණු පුද්ගලයෙකුගේ  හදවත  ක්‍රියාත්මක වන නිසා, සිතද ක්‍රියාත්මකව ඇති බැවින්, සමහර විට එම පුද්ගලයාගේ අවයව ගැනීමට සූදානම් වෙන බව දැණුනු විට “එපා මගේ අවයව ගන්න ” කියා හිතෙන්නත් ඇති. නමුත් ඒවා වචන වලින් පිට කරගන්නට බැරි වෙන්නේ ස්නායු වල ඇති  ක්‍රියාවලිය තාවකාලිකව නතර වී හෝ ක්‍රමානුකූලව හෝ සිදු නොවන නිසාවෙන් වෙන්නට පුළුවනි.

මෙවැනි අසරණ තත්වයට පත් වූ රෝගියෙකුට සළකන අයුරු මසිතට ගැටළුවකි.

වෛද්‍යවරුන්ටනම් අවයව බද්ධ කිරීමේ පලපුරුද්ද වැඩි කර ගැනීමට හොඳ අවස්ථාවක් වේ.

මොළය මැරුණු පුද්ගලයන්ගේ ඥාති වරුනි, ඔබේ රෝගියා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?

බොහෝ කාලයක් ගත වී හෝ සුවපත් කර ගැනීමටද? නැත්නම් මහත්ඵල මහානිශංස පින්කමක් වෙනුවෙන් කියා අවයව දීමටද?

මොළය සම්බන්ධ සහ ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරුනි, මෙවැනි රෝගියෙක් සුවපත් කරන්නට පුළුවන්ද කියා සොයා බලන්නට සිතෙන්නේවත් නැද්ද?

අළුත් සොයා ගැනීම් කිරීමට අපේ රටේ විද්වතුන්ට අව්ස්ථාවන් සහ පහසුකම් නැතුවාද? නැත්නම් එවැනි පුද්ගලයන්ට එවැනි දෑ සෙවීමට හිතෙන්නේ නැතුවාද?

මව්කුස ඇති කළලයන් විනාශ කිරීම වැරැදි දෙයක් නම්, මොළය මැරුණු එහෙත් නොමැරුණු පුද්ගලයෙක් මරණයට  පත් කරවන ක්‍රියාවන්හි යෙදීමද වරදක් ලෙසයි මට සිතෙන්නේ.

බුදුදහමට අනුවද එය මහා පවක් ලෙසයි මට සිතෙන්නේ.

ඕනෑම පුද්ගලයෙකුගේ ඉපදීම සහ මරණය එම පුද්ගලයාගේ කර්ම ශක්තියට අනුව සිඳු වෙන දෙයක් නිසා කිසිවෙකුට තව කෙනෙක් මරණයට පත් කිරීම  සහ මරණයට  පත් වෙන අයුරින් කටයුතු කිරීම, නුසුදුසු සහ නොකලයුතු සහ පව් සිඳු වෙන දෙයක් ලෙසයි මට සිතෙන්නේ.

අක්ෂිදාන සංගමය විසින් පණ තියෙද්දීම ඇස් දන්දීමට කැමැත්ත පිළිබඳව ප්‍රකාශන  ලබා ගන්නා ආකාරයට මොළය මැරුණොත් බලා නොසිටම අවයව දන් දීමට කැමැත්ත පිළිබඳව ප්‍රකාශනයන් ලබා ගෙන තිබෙනවාද?

එහෙම ප්‍රකාශන ලබාදුන් පුදගලයන්ගේ අවයව ගැනීමෙන් නම්, එම පුද්ගලයාට  මහත්ඵල මහානිශංස පින්කමක් සිදු විය හැකියි කියා සිතෙනවා.

 

 

දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීම සාර්ථකද? අසාර්ථකද?

February 6th, 2017

ශාරීරික දඬුවම් කියන්නේ කුමක්ද?

වෙනත් කෙනෙක් විසින් ද්වේෂ සහගතව ජීවිතය හිංසනයට වේදනාවට කරදරයට පත් කරවීම.

රවා බැලීම, නපුරු ලෙස බැලීම, අසභ්‍ය වචනයෙන් ඵරුෂ වචනයෙන් ආක්‍රෝශ කිරීම ආදී නොයෙක් ක්‍රමයන් මඟින්ද හිංසනයට පත් කල හැකියි.

තමා විසින්ම තමාගේ ජීවිතය හිංසනයට පත් කර ගැනීමද ගත හැකියි.

සමස්තයක් වශයෙන් ගත් කල නිරන්තරයෙන්ම දඬුවම් වලට ලක් වෙන්නන් සහ නිල නොලත් දඬුවම් ලබා දෙන්නන් සිටින බවද සැවොම දන්නා දෙයකි.

දරුවන්ට ලබා දෙන ශාරීරික දඬුවම් ගැන තිබෙන අදහස කුමක්ද?

“දරුවන්ට ශාරීරික දඬුවම් ලබා නොදිය යුතුයි” යනු මගේ අදහසයි.

දරුවෝ වැරදි කරන්නේ නැත.

ඔවුන් යමක් කරන්නේම පිටතින් තම මනසට ලැබෙන හේතු නිසාවෙනි.

පිටතින් ලැබෙන හේතුව හෝ හේතු ගැන නිවැරැදිබාවය ගැන දරුවන්ට පැහැදිලි අවබෝධයක් නැත.

වැරැදි නිවැරැදි බව පවතින්නේ පනවා ගත් සම්මුතික ධර්මතාවයන්ට අනුවයි.

සම්මුතික ධර්මතාවයන් ගැන දරුවන්ගේ මනසට ඇතුල් කරන්නේ කවුද? කෙසේද?

මව්පියන්, ගුරුවරුන්, පූජ්‍ය පූජක වරුන්, සමාජය, දරුවාගේ පරිසරය, මාධ්‍යයන්………..ආදී විවිධ පැතිකඩ ඔස්සේ අවධිමත්, නොවිධිමත්, විධිමත් කුමන ආකාරයකින් හෝ දරුවෝ සම්මුතික හෝ අසම්මුතික හෝ ධර්මතාවයන් මනසිකාර කර ගනිති.

දරුවෝ නිසි අවබෝධයකින් තොරව කරන වැරැද්දකට ශාරීරික දඬුවම් ලබා දෙන්නන්ගෙන් කී දෙනෙක් ඒ දරුවන් කල කී දෙයෙහි වරද කුමක්දැයි කරුණාවෙන් ආදරයෙන් පෙන්වා දෙන්නේද?

දඬුවම් ලබා දෙන්නන් ඔවුන්ගේ තරහව පිටකර ගැනීමේ ක්‍රියාව, දරුවන්ට ශාරීරික දඬුවම් දීමෙන් පිරිමසා ගන්නා බවක් පෙනෙයි.

දරුවෝ කුඩා නිසාත්, ඔවුන් නැවැත පෙරලා පහර නොදෙන නිසාත්, දරුවන්ට ශාරීරික දඬුවම් දීම බොහෝවිට සිදු වෙන්නකි.

එහෙත් සමහර අවස්ථාවන් වලදී සමහර දරුවෝ නැවැත පෙරලා පහර දුන් විට, මරණයට පත් වීමට  වැඩිහිටියන්ට සිදු වූ අවස්ථාවන්ද ඇත.

දරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ වටිනාකමවත් වැදගත්කමවත් නොතේරෙන නිසා, තමන්ට ශාරීරික දඬුවම් දෙන්නන්ගේ ජීවිත වල වටිනාකම හෝ වැදගත්කම හෝ ගැන කවර කතාද?

දරුවන්ට ශාරීරික දඬුවම් දෙන, වැඩිහිටියන් ගැන මගේ අදහසනම් ඒ වැඩිහිටියන්ට නියම පෞරුෂත්වයක් සහ නිවැරැදිතාවයට දරුවන් පමුණුවා ගැනීමේ හැකියාවක්ද නොමැති බවයි.

වැඩිහිටියන්ගේ දුර්වලතාවය සහ නොහැකියාව වසා ගන්නේ තර්ජන ගර්ජන අපහාස උපහාස ශාරීරික දඬුවම් මඟින් බවයි වැටහෙන්නේ.

දරුවන්ට ශාරීරික දඬුවම් ලබා දෙන වැඩිහිටියන් සඳහා මනෝ ප්‍රතිකාර ලබා දිය යුතුයි.

භාවනා ක්‍රම හෝ මනෝ චිකිත්සක  ක්‍රම හෝ හේතු සොයා ඒ සඳහා කලයුතු ප්‍රතිකාර කිරීමෙන් හෝ මනස සැකසිය යුතුයි.

බුදුපියාණන්වහන්සේ කිසි විටෙක තම ගෝලයන්ට ශාරීරික දඬුවම් දුන් බවක් අසා නැත.

බුදු වදන වෙන්නේ තමන් අකමැති දෙය අන් අයටද නොකල යුතු බවයි.

එහෙත් මේ බුදු වදන සමහර වැඩිහිටි බුද්ධපුත්‍රයින් වහන්සේලා පිළිපදින්නේ නැතිව කුඩා සාමණේර ස්වාමීන්වහන්සේලාට ශාරීරික දඬුවම් ලබා දෙති.

භික්ෂු ශාසනයට ස්වාමීන්වහන්සේලා අඩු වීමටද දඩබ්බර තරුණ භික්ෂු පරපුරක් ඇති වීමටද එය හේතුවක් වී ඇති බව පැහැදිලි වේ.

එම නිසා මහානායක ස්වාමීන්වහන්සේලාගේත් වගකිව යුතු පාලකයන්ගේත් අවධානය යොමු කොට නිසි පිළියම් යෙදිය යුතු කාලය එළඹ ඇති බවයි වැටහෙන්නේ.

බබළන බුද්ධ ශාසනය තුල ඇති භික්ෂු ශාසනය පිරිහෙන්නට ඉඩ නොදී රැක ගනිමු.

 

 

 

“සුභම සුභ උපන්දිනයක් වේවා”

January 20th, 2017

බොහෝ විට අපි උපන්දිනයක් වෙනුවෙන් සුබ පතන්නේ  “සුභම සුභ උපන්දිනයක් වේවා” යි ප්‍රකාශ කිරීමෙනි.

උපන්දිනය සුබ වූවාට උපත කිසි විටෙක සුබ නොවන බව බුදු වදනට අනුව අපි නිතරම සිහි කළ යුතු වෙමු.

උපතත් සමඟම අප සැවොම ජරාවට පත් වීමත්, ලෙඩ වීමත්, මරණයත් රැගෙන එන්නේය.

දුප්පත් පොහොසත් ජාති කුලමල භේදයකින් තොරව  ජරා, ව්‍යාධි, මරණ යන ප්‍රධානම දායාදයන් අප සැවොම රැගෙන එන බව පළමුව පෙන්වා දුන්නේ බුදුපියාණන්වහන්සේය.

උපතේදී සිනා සෙමින් ඉපදුන කෙනෙක් ගැන අසා තිබෙන කෙනෙක් සිටිනවාද?

අඬමින්ම උපදින්නේ “ඉපදීම දුකක්” බව බුදු වදනට සාක්ෂියක් ලෙසින්මයි කියා සිතේ.

“ජාතිපි දුක්ඛා” මව් කුස තුළ ප්‍රතිසංධියේ දුක මතක නැති වුවත්, සිතා ගැනීමට හැකි  බොහෝ සාක්ෂි ඇත.

අසූචි මල්ලක් සහ මුත්‍ර මල්ලක් අතර ඇති පිළිකුල් සහගත ද්‍රාවණයකින් පිරුණු මල්ලක් තුල මාස දහයකට ආසන්න කාලයක් සිටීම සැපයක් සහ සතුටක් උපදවන්නක් ලෙස සිතිය හැකිද?

දැඩි අඳුරත් උණුසුමත්  ඇතිව  සිර වී ගුලි වී සිටීම සැපයක්ද?

මව ගන්නා ආහාර නුසුදුසු වුවහොත්, සුළු හෝ අතපසු වීමකින් සිදු වෙන දේවල් මත හෝ කිසියම් නොදන්නා කරුණක් නිසා හෝ  මව්කුස තුළදීම ව්‍යාධියට පත් වී මරණය පවා සිදු වෙන්නේ කිසිවෙකුගේ පිහිටක් හෝ පිළිසරණක් හෝ නොමැතිවමයි.

මෙලොවට බිහි වීම කෙතරම්ම දුෂ්කර ක්‍රියාවක්ද කියා අමතක වුවත්, සිතාගත  හැකියි.

නුපුරුදු පරිසරයකට මහත් වූ වෙහෙසක්  දරමින්,  තැලී මිරිකෙමින් පිටතට ඒමේ ක්‍රියාවේදී සැපයක් තිබිය හැකිද?

වෙනත් අයගේ උදව්වෙන්  ජීවත් වීමට හැකි වෙන ලෙස හුස්ම ගැනීමේ ආරම්භයත්  පිරිසිදු කර දීමත් සිදු වේ.

තනියම ජීවිතය පවත්වා ගත හැකි වෙන අවස්ථාව දක්වා මව්පියන් විසින් කළ සියළුම දෑ සිහි කළ යුතු දිනයක් ලෙස උපන්දිනය සැළකිය හැකියි.

අනෙක් සියළුම දෙනාගේ උදව් උපකාර ලබා ගත හැකි වූයේ මව්පියන්ගේ කැපවීම මත ජීවිතය ජීවත් කරවූ නිසාවෙන් බව මතකයට නඟා ගත යුතු දෙයකි.

කෙනා කෙනාගේ කර්ම ශක්තිය අනුව ප්‍රතිසංධිය සිදු වුවත්, එයට අවශ්‍ය පසුබිම සහ ආහාර සැපයීම සිදු වෙන්නේ මවගෙන් සහ පියාගේ අනුග්‍රහයෙන් බව සිහිපත් කොට, මව්පියන් පිදීමේ,කෘතගුණ පූර්වක සිහිකිරීමේ, පින් අනුමෝදන් කිරීමේ  දිනයක් ලෙස ද උපන්දිනය  සැළකිය හැකියි.

උපන්දිනය සමරනවා කියන්නේම මාරයාගේ ළඟට තවත් අවුරුද්දකින් ලංවූ බවක් නේද?

ජීවිතය  අනියත බවත්, මරණය නියත බවත් සිහි කරන සැවොම එදිනට නොයෙක් කුශලයන්ගේ නිරත වන්නෝය.

උපත,  දුක් උපදවනක් සහ උපත සමරන වර්ෂයන් මරණයට ලඟා වීමක් නම්, උපන්දිනය කෙසේ සුබ වන්නේද?

බුදු වදනට අනුව සිතීමේදී, අපට මනුෂ්‍යය ජීවිතයක් ලැබීම නිසා උපන්දිනය සැබෑ ලෙසම  සුබ  කරගත හැකියි කියා මට සිතේ.

දියුණු කළ හැකි  මනසක් ලැබීම නිසා, නාමරූප – අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස විදර්ශනා කර අමරණීය තත්වයට පත් විය හැකි වුවොත්, අපට සැබෑ ලෙසම “සුභම සුභ උපන්දිනයක්” සතුටෙන් සමරන්නට පුළුවන් නේද කියා මට සිතෙනවා.

ඒ සඳහා සැම  දෙනාටම  පින් සිත් උපදීවා. අපි සැවොම අප්‍රමාදීවම උත්සහවන්ත වෙමු.

 

 

කාගෙද? කාටද? මොනවද මේ අලි කරදර….?

June 10th, 2016

සිංහල බෞද්ධයන්ගේ පෙරහැර උත්සව සඳහා අලි ඇතුන් යොදා ගැනීම පෙර සිටම පැවැති දෙයක් ලෙස මතකයට නැඟේ. මෑතකදී පැන නැඟී ඇති ගැටළුවට හේතුව කුමක්ද?

පෙර කල බොහෝ පන්සල් වල අලි පැටවුන් නොසිටියත්, පෙරහැරකදී අව්ශ්‍යතාවය අනුව අලි ඇතුන් සපයාගත් බවද කවුරුත් දන්නා දෙයකි.

බෞද්ධයන්ගේ පමණක් නොව අන්‍ය ආගමිකයන්ගේද විදේශිකයන්ගේද ගෞරවාදරයට පත් වූ දළදා පෙරහැරේ  අලි ඇතුන් රාශියක් ගමන් කලේය.

දළදා පෙරහැරේ ගමන් කරන අලි ඇතුනට වඩා වැඩි ප්‍රමාණයක් අලි ඇතුන් වෙනත් පෙරහැර වලදී දැකිය යුතු නොවේ යනු මගේ අදහසයි. පෙර පරිදිම දළදා මාළිගාව  පෙරහැරේ අභිමානය සහ ගෞරවය සෑම කාලයකදීම දැකිය යුතු යි යනු මගේ අදහසයි.

බුදුරජාණන්වහන්සේද දේශනා කර ඇත්තේ රාජ්‍ය නීතියට ස්වාමීන්වහන්සේලාද විරුද්ධව කටයුතු නොකළ යුතු බවයි.

සමහර සතුන් ලඟ තබා ගෙන ඇති කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙල පිළිබඳව නීති පද්ධතීන් ඇති බව පුරවැසි සැවොම දැනගත යුතු වේ.

නීතියට ගරු කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම උතුම් මිනිස් ගතිගුණයකි.

අතපසුවීමකින් හෝ  වෙනත් හේතුවක් නිසා හෝ නීතියක් කඩ කර ඇත්නම්, ඒ පිළිබඳව නීතියෙන්ම විසඳුම් ලැබෙනතුරු සිටීමේ හැකියාව නැමැති  ඉවසීමේ  ගුණයද ඇත්තේ උතුම් මිනිසුන්ටමයි.

වනජීවී දෙපාර්තමේන්තුව මඟින්ම පෙරහැර උත්සව සඳහා අලි ඇතුන් සපයන ක්‍රමයක් ඇත්නම් කෙතරම් අගනේද?

වනජීවී දෙපාර්තමේන්තුවට ආදායමක් ලබා ගැනීමට හැකි වෙන අතර, නීතී විරෝධී ලෙස අලි ඇතුන් ලඟ තබා ගැනීමද සිදු නොවන තත්වයට පත් කර ගැනීම  සඳහා නීති යාවත්කාලීන විය යුතුදැයි සොයා බැලීමද වටිනේය යනු මගේ අදහසයි.

පෙරහැර සඳහා පමණක් නොව අලි සෙල්ලම්, අලි සර්කස්, අලි රේස්….ආදී නොයෙක් දෑ සඳහා ද අලි ඇතුන් පුහුණු කළ හැකියි. එහෙත් එවැනි පුහුණු කිරීම් වලදී සතුනට  හිංසනයක් සිදු නොවන ලෙසද කළ යුතු වේ.

බොහෝ ප්‍රශ්න වලදී එම ප්‍රශ්නයේ යථා තත්ත්වය සැමටම පැහැදිලි වෙන ලෙස පෙන්වා දීමට ඉදිරිපත් නොවන නිසාත්, ප්‍රශ්නයට මැදි වූ අයගේම පැහැදිලි කිරීම පමණක් මතම සිතන දකින අපට සමතුලිත අදහසක් ලබා ගැනීමේ අව්ස්ථාවක් නොමැත.  නිවැරැදි අදහසක් සුළුවෙන් හෝ ලබා ගැනීමට හැකි  වීමට නම, ප්‍රශ්නය ඇති කළ පාර්ශ්වයේ පැහැදිලි කිරීමත්, ප්‍රශ්නයට මැදි වූ පාර්ශ්වයේ පැහැදිලි කිරීමත් යන දෙයාකාරම අදහස් දැන ගත යුතු වේ යනු මගේ අදහසයි.

අලි ප්‍රශ්න ඇති කරගෙන  තිබෙන්නේ  ඉතා සුළු  පන්සල් කිහිපයක්  පමණක් බැවින්, මෙය බෞද්ධ අපට සහ අපේ බෞද්ධ සංස්කෘතික පෙරහැර වලට අව්ශ්‍යය  කරන කරඬුව වඩම්ම්වන අලි ඇතුන් සුරැකීමට බාධාවක් නොවේවා.

 

 

 

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin