සම්මා දිට්ඨි සූත්‍රය - සච්ච වාරය
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ දුකත් දනීද, දුක හට ගැනීමේ හේතුවත් දනීද, දුක නැසීමත් දනීද, දුක නැසීමේ පිළිවෙතත් දනීද, මෙතෙකිනුදු සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
දුක කවරේද?
දුක හට ගැනීමේ හේතුව කවරේද?
දුක් නැසීම කවරේද?
දුක් නැසීමේ පිළිවෙත කවරේද?
දුක කවරේද?
-
ඉපදීම,
-
දිරීම,
-
ව්‍යාධිය,
-
මරණය,
-
ශෝකය,
-
වැලපීම,
-
කයෙහි දුක,
-
හිතෙහි දුක,
-
දැඩි චිත්ත දුක්ඛයෙන් වූ ප්‍රතිඝය,
-
කැමති දේ නොලැබීම,
-
සැකෙවින් උපාදානස්කන්ධ පහම දුකය.
දුක් හට ගැනීමේ හේතුව,
-
පුනර්භවය කරන සුළු නන්දිරාග වූ ඒ ඒ භවයෙහි හෝ අරමුණෙහි හෝ තණ්හාවක් වේද, කාමාස්වාද තෘෂ්ණා,
-
භව ( ශාශ්වත දෘෂ්ටි සහගත) තෘෂ්ණා,
-
විභව ( උච්ඡේද දෘෂ්ටි සහගත ) තෘෂ්ණා,
යන මේ තුන් ආකාර තෘෂ්ණාවයි.
දුක් නැසීම කවරේද?
ආර්ය මාර්ගයෙන් ඒ තෘෂ්ණාවන්ගේ ප්‍රහාණයක්, හැරලීමක්, දුරලීමක්, මිදීමක්, නොඇල්මක්, වේද මෙය දුක්ඛ නිරෝධය යයි කියනු ලැබේ.
දුක්ඛ නිරෝධගාමිනීපටිපදා ව,
-
සම්‍යක් දෘෂ්ටි,
-
සම්‍යක් සංකල්ප,
-
සම්‍යක් වචන,
-
සම්‍යක් කර්මාන්ත,
-
සම්‍යක් ආජීව,
-
සම්‍යක් ව්‍යායාම,
-
සම්‍යක් ස්මෘති,
-
සම්‍යක් සමාධි.
යන මේ අරි අටඟි මඟම දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය.
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ දුක දනීද, දුක් හට ගැනීමේ හේතුව දනීද, දුක් නැසීම දනීද, දුක් නැසීමට පමුණුවන පිළිවෙත දනීද, හෙතෙම සර්ව්ප්‍රකාරයෙන් ම රාගානුශය පහ කොට, ප්‍රතිඝානුශය දුරැර, “අස්මි” දෘෂ්ටිය හා සදෘශ වූ මානානුශය මුලිනුපුටා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි.
මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.