(අකුණු) විදුලි එළිය තුලින් දුටු ලෝකය ......?

කළුවර  රැයෙක,  අකුණු  ගසමින්  තදින්  වැස්ස  වහින  විට,  ඒ  අකුණු   එළිය  තුලින්  ලෝකය  දුටු  රහත්  තෙරණියක්   ඉතාමත්ම  සතුටට  පත්  වූ  බව  සඳහන්  වී  ඇත.

අවිද්‍යාව  නැමැති  ඝන  අඳුරෙහි  සිටිමින්,  කෙලෙස්  වැස්සට   හැම  මොහොතේදීම  අසු  වී  සිටින  අපටත්,  ශ්‍රී සද්ධර්මයේ   පිහිටෙන්,  අවබෝධය  (විදර්ශනාව)  නැමැති  අකුණු  එළියෙන්  ෂඩ්  ඉන්ද්‍රියන්  නැමැති  ලෝකයේ   (උද්පාද,  ථිති,  භංග )  ඉපදීමත්  නැතිවීමත්  දැකිය  හැකි  වුනොත්  ඒ  තෙරණියට  ලැබුණු  සතුට  අප  සැමටත්  ලබාගත  හැකියි.

අකුණක්  දැකිය  හැකි  කාලය  කෙතරම්  කෙටිද?

ඒ වාගේම  සිතා  ගත  නොහැකි  තරමේ  ඉතාම  කෙටි  මොහොතක්  තුලදී,  එනම්  චිත්තක්ෂණයක්  තුලදී  අවබෝධ  වෙන  මෙම  ලෝකය  දකින්නට  උත්සහවන්ත  වෙමු.

එක්  ක්ෂණයකදී  ලෝකය  දුටු   විට,  වැස්සට  පොඩි  කුඩයක්  ඉහලා  ගත්තා  සේය. ( සෝවාන්)

කෙලෙස්  වැස්සෙන්  ඔළුව  ආරක්ෂා  වී  ඇතත්,  මහා  කෙලෙස්  වැස්සක්  නිසා  තවමත්  ශරීරය  හිරිපොදෙන්  තෙමෙනවා  වාගෙයි   දැනෙන්නේ.

දිගින්  දිගටම  විදර්ශනාව  තුල  සිටින  විට,  ලොකු  කුඩයක්  ඉහලා  ගත්තා  සේ,  කෙලෙස්  වැස්සෙන්  තෙමෙන  ප්‍රමාණය   තවත්   අඩුවේ.  (සකුදාගාමී)

ඒ  අයුරින්ම  දිගටම  විදර්ශනාව  තුල  සිටීනම්,   වැහි  කබායක්  දාගත්තා  සේ,  කෙලෙස්  වැස්සට  ලොකු  ආවරණයක්   ලැබුණා  වැනිය.  (අනාගාමී)

යම්  මොහොතකදී  ආරක්ෂිතම  තැනට  පැමිණිය  හැකියි.  ඉන්පසු  කිසි  විටෙකත්  කෙලෙස්  වැස්සට  තෙමෙන්නේම  නැත.  (රහත්)

පෘතග්ජන   පුද්ගලයන්  නිරතුරුවම  කෙලෙස්  වැස්සට  හසු  වී  ඇති බවක්   නොදැනෙන්නේ  අවිද්‍යා  අඳුරෙන්  වැසී  ඇති   බැවිනි.

කෙලෙස්  වැසි  ඇඳ  හැලෙනා  කාලයක්  කියා  පෘතග්ජන  පුද්ගලයන්ට  වෙන්  කල  නොහැකි  වෙන්නේ  හැම  මොහොතම  ගත  කරන්නේ  කෙලෙස්  වැස්ස  තුලමයි.

හොඳම  කළ්‍යාණ  මිත්‍රයා  වූ  මගේ  බුදුපියාණන්වහන්සේගේ  ශ්‍රී  සද්ධර්මය  අනුව  පිළිපැදීමෙන්,  කෙලෙස්  වැස්සට  හසු  නොවන  ආරක්ෂිතම  ස්ථානයට  පැමිණිය  හැකියි.

පෘතග්ජන  පැවිදි  පිරිස,  අපට  ශ්‍රී  සද්ධර්මය  මෛත්‍රී  පූර්වක  පහදා  දුන්නත්,  ඒ  පිරිසත්  එක්තරා  රාමුවකට  අයත්  පිරිසක්  නිසා  හොඳම  කළ්‍යාණ  මිත්‍රයන්  නොවෙයි.

හොඳම  කළ්‍යාණ  මිත්‍රයන්  වෙන්නේ,  සම්මා  සම්බුදුවරුන්වහන්සේලා,  රහතන්වහන්සේලා,  සහ  ශ්‍රී  සද්ධර්මයයි.

ථේරී  ගාථාවෙන්  කියැවුනු  දෙය  මට  පෙනුන  හැටි  මෙසේය.