(අකුණු) විදුලි එළිය තුලින් දුටු ලෝකය ……?

May 30th, 2018

කළුවර  රැයෙක,  අකුණු  ගසමින්  තදින්  වැස්ස  වහින  විට,  ඒ  අකුණු   එළිය  තුලින්  ලෝකය  දුටු  රහත්  තෙරණියක්   ඉතාමත්ම  සතුටට  පත්  වූ  බව  සඳහන්  වී  ඇත.

අවිද්‍යාව  නැමැති  ඝන  අඳුරෙහි  සිටිමින්,  කෙලෙස්  වැස්සට   හැම  මොහොතේදීම  අසු  වී  සිටින  අපටත්,  ශ්‍රී සද්ධර්මයේ   පිහිටෙන්,  අවබෝධය  (විදර්ශනාව)  නැමැති  අකුණු  එළියෙන්  ෂඩ්  ඉන්ද්‍රියන්  නැමැති  ලෝකයේ   (උද්පාද,  ථිති,  භංග )  ඉපදීමත්  නැතිවීමත්  දැකිය  හැකි  වුනොත්  ඒ  තෙරණියට  ලැබුණු  සතුට  අප  සැමටත්  ලබාගත  හැකියි.

අකුණක්  දැකිය  හැකි  කාලය  කෙතරම්  කෙටිද?

ඒ වාගේම  සිතා  ගත  නොහැකි  තරමේ  ඉතාම  කෙටි  මොහොතක්  තුලදී,  එනම්  චිත්තක්ෂණයක්  තුලදී  අවබෝධ  වෙන  මෙම  ලෝකය  දකින්නට  උත්සහවන්ත  වෙමු.

එක්  ක්ෂණයකදී  ලෝකය  දුටු   විට,  වැස්සට  පොඩි  කුඩයක්  ඉහලා  ගත්තා  සේය. ( සෝවාන්)

කෙලෙස්  වැස්සෙන්  ඔළුව  ආරක්ෂා  වී  ඇතත්,  මහා  කෙලෙස්  වැස්සක්  නිසා  තවමත්  ශරීරය  හිරිපොදෙන්  තෙමෙනවා  වාගෙයි   දැනෙන්නේ.

දිගින්  දිගටම  විදර්ශනාව  තුල  සිටින  විට,  ලොකු  කුඩයක්  ඉහලා  ගත්තා  සේ,  කෙලෙස්  වැස්සෙන්  තෙමෙන  ප්‍රමාණය   තවත්   අඩුවේ.  (සකුදාගාමී)

ඒ  අයුරින්ම  දිගටම  විදර්ශනාව  තුල  සිටීනම්,   වැහි  කබායක්  දාගත්තා  සේ,  කෙලෙස්  වැස්සට  ලොකු  ආවරණයක්   ලැබුණා  වැනිය.  (අනාගාමී)

යම්  මොහොතකදී  ආරක්ෂිතම  තැනට  පැමිණිය  හැකියි.  ඉන්පසු  කිසි  විටෙකත්  කෙලෙස්  වැස්සට  තෙමෙන්නේම  නැත.  (රහත්)

පෘතග්ජන   පුද්ගලයන්  නිරතුරුවම  කෙලෙස්  වැස්සට  හසු  වී  ඇති බවක්   නොදැනෙන්නේ  අවිද්‍යා  අඳුරෙන්  වැසී  ඇති   බැවිනි.

කෙලෙස්  වැසි  ඇඳ  හැලෙනා  කාලයක්  කියා  පෘතග්ජන  පුද්ගලයන්ට  වෙන්  කල  නොහැකි  වෙන්නේ  හැම  මොහොතම  ගත  කරන්නේ  කෙලෙස්  වැස්ස  තුලමයි.

හොඳම  කළ්‍යාණ  මිත්‍රයා  වූ  මගේ  බුදුපියාණන්වහන්සේගේ  ශ්‍රී  සද්ධර්මය  අනුව  පිළිපැදීමෙන්,  කෙලෙස්  වැස්සට  හසු  නොවන  ආරක්ෂිතම  ස්ථානයට  පැමිණිය  හැකියි.

පෘතග්ජන  පැවිදි  පිරිස,  අපට  ශ්‍රී  සද්ධර්මය  මෛත්‍රී  පූර්වක  පහදා  දුන්නත්,  ඒ  පිරිසත්  එක්තරා  රාමුවකට  අයත්  පිරිසක්  නිසා  හොඳම  කළ්‍යාණ  මිත්‍රයන්  නොවෙයි.

හොඳම  කළ්‍යාණ  මිත්‍රයන්  වෙන්නේ,  සම්මා  සම්බුදුවරුන්වහන්සේලා,  රහතන්වහන්සේලා,  සහ  ශ්‍රී  සද්ධර්මයයි.

ථේරී  ගාථාවෙන්  කියැවුනු  දෙය  මට  පෙනුන  හැටි  මෙසේය.

ථේරවාද දර්ශනය…

May 26th, 2018

මගේ  බුදුපියාණන්වහන්සේ  පෙන්වා  වදාරන  ලද්දේ  එක්  දර්ශනයක්  පමණි.

ථේරවාද,  මහායාන,  වජ්‍රයාන……ආදී  විවිධාකාරයේ  දර්ශනයන්  පෙන්වා  දී  නැත.

බුදුවදන  සත්‍යවූත්  සැමකල්හිම  පැවැතියාවූත්  එකම  දර්ශනයකි.

විවිධ  වූ දර්ශන  පෙන්වා  දීමෙන්  වැටහෙන්නේ  පැවිදි  පිරිසේ  බෙදීම්  මිස  අන්  කිසිවක්  නොවෙයි.

තව  කාලයක්  යනවිට  සිරිධම්ම,  ඤාණානන්ද,  ……ආදී  විවිධාකාර  දර්ශනයන්ද  ඇති වේවි  කියා  සිතන්නට  පුළුවනි.

දැනට  බොහෝ  සේ  කතාබහට  ලක් වෙන  ථේරවාදය  සහ  මහායානය  ගැන  සිතීමේදී  බුදුවදනට  සමීපම  වෙන්නේ  ථේරවාදයයි.

ථේරවාද  දර්ශනයට  අනුවම   කටයුතු  කිරීමට   සමහර   පැවිදි  පිරිසට  අපහසුයි.

එමනිසා  අභිධර්මය  බුද්ධ  භාෂිතයක්  නොවෙයි  කියාද  විනය  කරුණු  ගැන  එතරම්  සැළකිය  යුතු  නැහැ කියා  කියන්නට  ද  තරම්  කුහක  වී  ඇත.

ථේරවාද  දර්ශනය  පහසු  වෙන්නේ  පෙර  සසර  පුරුදු  කල  සහ  පෙර කල  පින්  ඇති  පැවිදි  පිරිසටම  පමණකි.

මහායානයට  කැමැති  සමහර  පැවිදි  පිරිස   ගිහි  ජීවිතයට  බොහෝ  දුරස්තාවයක්  නොමැත.

එබැවින්  ඒ  පැවිදි  පිරිස  තමන්ගේ  අරමුණු  ඉටු  කර  ගැනීමට  පහසුවීම  සඳහා  ගිහි  පිරිසද  යොමු කරගනී.

අසූහාරදහසක්  වූ  ධර්මස්කන්ධය  ථේරවාද  දර්ශනයේදී  දැකිය  හැකියි.

නිවන්  සාක්ෂාත්  කරගැනීමට  මේ  සියල්ලම  අවශ්‍යය  නොවුවත්, මගේ  බුදු පියාණන්වහන්සේගේ  දර්ශනය  ඒ ආකාරයෙන්ම  පවත්වා  ගැනීමට  උවමනා  බැවින්,  සූත්‍ර,  විනය,  අභිධර්ම  යන  පිටක  තුනම  කිසිම  කප්පාදුවකින්  තොරව  ආරක්ෂා  වී  ඇත.

සියල්ලන්ටම  එකම  දෙයක්  ගැලපෙන්නේ  නැත.  කන  බොන  ආහාරයක්  උදාහරණයක්  ලෙස  ගෙන  බැලුවත්,  එකම  ආහාරය  වුවත්  විවිධාකාරයෙන්  ඒ කියන්නේ  කිරට, මිරිසට,  තෙලට,  මැල්ලුමට….ආදී  වශයෙන්  එක්  එක්  ආකාර  රසයන්ගෙන්  එක්  එක්  පුද්ගලයන්ට  උවමනා  බව  කවුරුත්  දනී.

එබැවින්  මහායාන  දර්ශනය  පෙන්වා  දීම  සඳහා  ත්‍රිපිටකයේ  කප්පාදුව  හෙලා  දැකීමට  තරම්  වටී.

අභිධර්මය  අවබෝධ  කල  හැකිනම්  එය  අතිවිශේෂයක්  ලෙස  මට  සිතේ.

ථේරවාද  දර්ශනය  පෙන්වා  දෙන  පැවිදි  පිරිස  ගිහි  පිරිසට  එක්  එක්  ඉගැන්වීමේ  ක්‍රම උපායන්  අනුගමනය  කරන  විට,  මහායාන  දර්ශනය  අනුගමනය  කරන  පිරිස  ඒවා  වැරදි  ආකාරයෙන්  ගෙන  විවේචනය  කරන්නේ නම්  ඒ  එම පිරිසේම  මානසික  දෝෂයක්ම  බවයි  මට  හැඟෙන්නේ.

ලදරුවෙකුට  යමක්  මුලින්ම  හඳුන්වා  දෙන  විට,  උදාහරණයක්  ලෙස  මලක්  ගත්තොත්,  කෙසේද  මූලිකවම හඳුන්වා දෙන්නේ.  මලක්,  මලක්…..යනාදී  වශයෙන්  වචනයෙන්  පටන්  ගෙන,  ඉන්පසු  මලේ  පාට, හැඩය,  පෙති ගනන,…..ආදී  වශයෙන්  ගෙන  මලේ  දික්  කඩක  විච්ඡේදනය  තුලින්  ස්ත්‍රී  පුරුෂ  ලක්ෂණ,  කුඩා  දේ විශාල  කර  බලන  අන්වීක්ෂ  වැනි  උපකරණ  මගින්  සෛල  ගැන,  ඒ සෛල  වල  අන්තර්ගත  දේ  පිළිබඳව ……ආදී  ඉතා  විශාල  පරාසයක්  තුලට  ගෙන යනු  ලබනවා  කාලයත්  සමඟම.

සිරුරෙහි  කොටස්  වශයෙන්  ගෙන  බැලීම  බොහෝ  පිරිසකට  පෙන්වා  දීම  ගැටළුවක්  කර  නොගත යුතුයි.  දන්නා  දෙයින්  නොදන්නා  දෙයට  යාමේ  ක්‍රමයක්  ලෙසයි  මමනම්  එය  දකින්නේ.

සිතෙහි  අකුසල  මූලයන්  වඩනවාට  වඩා  අනිත්‍යයි, දුක්ඛයි,  අනාත්මයි  යයි  සිතන  එකත්  කුසලයක්  ලෙස  බැලීමට,  පුරුදු  වෙන්න  කියා  මහායාන  දර්ශනිකයන්ට  ද  මම ආරාධනා  කරනවා.  එයින්  අයහපතක්  නොවන  නිසා.

සිතෙහි  වේගය  පාලනයට  චිත්ත  භාවනාවක්  වූ  සමථ  භාවනාව  හතලිස්  ආකාරයකින්  පෙන්වා  දී  ඇත්තේ  එක්   එක්  පුද්ගලයාට  ගැලපෙන  එකක්  තුලින්  අවශ්‍යය  අරමුණට  යාමට  පහසුවක්  වීමටයි.

මගේ  බුදුපියාණන්වහන්සේ  යමක්  දේශනා  කලේ  නම්  එය  වැඩියි  කියා  ඉවත්  කිරීමට  හෝ  අඩුයි  කියා  එකතු  කිරීමට  හෝ  සමත්  කිසිවෙක්  මේ  තුන්  ලොවෙහිම  නැත.  යමෙක්  එසේ  කරන්නේනම්  හෝ  කියන්නේනම්   හෝ   ඒ  උමතු  වූවෙක්ම  මිස  අන් කවරෙක්ද?

එක්  අරමුණක  සිත  බොහෝ  වෙලාවක්  තබා  ගැනීමට  සමථ  භාවනාවෙන්  හැකි  වූ  විට,  ප්‍රඥා  භාවනාව  වූ    විදර්ශනාවෙන්  නිවන  සාක්ෂාත්  කර ගත  හැකිවේ.

සමථ  භාවනාව  ලෞකික  වූ  දෙයකි.  ඉතාම  සුවදායී  බවක්   හැඟේ.  එබැවින්  එහිදී  අත්දකින්නට  අත් විඳින්නට  සිදු  වෙන  බොහෝ  දෑ  වලින්  මුලාවට  පත්  නොවීමට  ගුරුවරෙයෙකුගේ  උපදෙස්  උදව්  ලබා  ගැනීම  නිසා  විදර්ශනාවෙන්  ඇත්ත  අවබෝධ  වනු  ඇත.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම  විදර්ශනාවේදී  අවබෝධ  වන්නකි.

කිසිවෙකුට  තමන්ගේ   ඇසින්,  තමන්ගේම  ඇස  බැලිය  නොහැකි  නිසා  තල දර්පණයක්  (කණ්නාඩියක්)  ඉදිරියට  ගොස්  බලයි.  නමුත්  මගේ  බුදුපියාණන්වහන්සේ  පෙන්වා  දුන්  ඇස  එසේ  තල දර්පණයකින්වත්   බැලිය  නොහැකියි.

විදර්ශනාවේදි`  අවබෝධ  වෙන   ඇස  එසැනින්ම  ඇති  වී  එසැනින්ම  නැතිවීමත්,  එම  මොහොතේම  ත්‍රිලක්ෂණයත්,  මම,  මගේ,  සත්ව  පුද්ගල  ආත්ම  කිසිවක්ම  නැති  බවත්  එක්  මොහොතකදීම  අවබෝධයට  පත්  වෙන්නකි.

නාම  රූපයන්ගේ  බිඳීම  වඩාත්ම  ප්‍රකටම  අවබෝධ  වෙන  අවස්ථාවද  එම මොහොතමයි.

එවිට  සමථ  භාවනාවේදී  ලැබුණු  සතුටට  වඩා  බොහෝ  සේ  ඉල්පී  යන  සතුටක්ද  ලැබිය  හැකි  වේ.

අනෙක්  සියළුම  ඉන්ද්‍රියයන්  ගැනද  මේ  ආකාරයටම  නිතැතින්ම  අවබෝධයට පත්  වීම  සිදු වේ.

පඨවී,   අපෝ,  තේජෝ,  වායෝ,  යනුවෙන්  සතර මහා  භූතයන්  යනු  අතින්  අල්ලා  පෙන්වා  දිය  හැකි  දෙයක්ද  නොවේ.  එය ගති  ලක්ෂණයක්  පමණි.

බොහෝ  සේ  එකතු  වීමක්  නිසා  සකස්  වූ  දෙයක්  ලෙස  මායාවට  හසුව පැවැතීම  මත  එහෙම  දෙයක්  ඇති  ලෙසයි  සාමාන්‍යයෙන්  සිතෙන්නේ.

උදාහරණයක්  ලෙස  වතුර  බිංදුවක්  අපට  දැකිය  හැකියි  කියා  සිතුවාට  එහි  වතුර  සෑදී  ඇති  හයිඩ්‍රජන්  සහ  ඔක්සිජන්  අණු  කෙතෙක්ද?  පරමාණු  දක්වා  බැලුවත්  ඊටත්  එහා  ගිය  සිද්ධියක්  මගේ  බුදුපියාණන්වහන්සේ  පෙන්වා  දී  ඇත.

සතර  සතිපට්ඨානය  නිවනට  එකම  මඟ  යැයි  පෙන්වා  දී  ඇති  බැවින්  එය  අනුගමනය  කරන්නට  ආරාධනා  කරමි.

ථේරවාද  දර්ශනයේ  එක්  අරමුණක්  ඉවත්  කිරීමට  තවත්  අරමුණක්  දැමීමේ  ක්‍රමයක්  නැත.

පැමිණි  අරමුණෙහි  ඇත්ත  ඇති  සැටියෙන්  දැකීමයි  කල යුත්තේ.

චක්ඛු  ප්‍රසාදයට  රූපයේ  හමු  වීමත්  සමඟ  ඇති  වෙන  අරමුණෙහි  ඇත්ත  බලන  විට  එක්  මොහොතකදීම  නැතිව  යන්නක්  කෙරෙහි  මනසිකාරයන්  හේතුවෙන්  ඇලීම්  හෝ  ගැටීම්  හෝ  උපදින  බව  අවබෝධ  කරගත  හැකි  වෙයි.

උපන්  ආස්‍රව  ගෙවෙන  විදියටත්,  නූපන්  ආස්‍රව  නූපදින  විදියටත්  එනම්  යෝනිසෝමනසිකාරයෙන්  සිදු  වෙන්නේ  අරමුණෙහි  එනම්  නාම  රූපයන්ගේ  ඇත්ත  ඇති  සැටියෙන්  දැකීමයි.  එවිට  නැවැත  භවයක්  තනන  කර්මද  ඇති  නොවේ.

මහා  සයුර  කරා  යන  ගංගාවකට   බැසීමට  බොහෝ  තොටුපලවල්  ඇත.  ඔබ  සැම  සිටින  තැන  අනුව  තිබෙන  තොටුපලින්  ගමන  පටන්  ගන්න.

ථේරවාද  දර්ශනයේ  සියළුම  තොටුපලවල්  විවෘතයි.

මහායාන  දර්ශනයේ   එක්   පිරිසක්  පිවිසි  තොටුපල  පමණක්  ඉතිරි කොට  පෙන්වා,    අන්  සියළුම  තොටුපලවල්  විනාශ  කර  වසා  දමා  ඇත.

ථේරවාද  දර්ශනය  ලඝුකොට  සළකමින්  වැරදි  අර්ථ  කථන  දෙන්නන්ට  මම  ආරාධනා  කරනවා  පිළිවෙලකට  ථේරවාද  දර්ශනය  පළමුව  හඳුනා  ගන්න  කියා.

2013  ජනවාරි  මස  31  දාතමින්  යුතුව   ඇති  සම්මාදිට්ඨි  සූත්‍රයේ  සංෂිප්ත  සටහන  බලා  මෙම  නිවන්  මඟට  පිවිසිය  හැකි  තොටුපලවල්  පිළිබඳවත්  හඳුනා  ගන්න  කියා  මම  මෛත්‍රීයෙන්  ආරාධනා  කරනවා  විශේෂයෙන්ම  මහායාන  දර්ශනය  කරපින්නා ගෙන  ථේරවාද  දර්ශනයට  ගරහන  පිරිසට.

ඕනෑම  කෙනෙකුට  තමන්  කැමැති  දර්ශනයක්  අනුගමනය  කළ  හැකි  වුවත්,  අනෙක්  දර්ශනයන්ට  ගැරහීමේ  අයිතියක්  හෝ  සාදාචාරාත්මක  බවක්  හෝ  නොමැති  බව  ද  මතක්  කරන්නට  කැමැතියි.

මව් භාෂාව  හෙවත්  ලදරුවාට  අම්මා  මුලින්ම  හඳුන්වා  දෙන  භාෂාව  මනසිකාරයේ  තැන්පත්  වූ  විට,  අනෙක්  භාෂාවකින්   ඇති  දෙයක්  තේරුම්  ගැනීමට  අපහසුයි.  එබැවින්  පාලි  භාෂාවෙන්  ඇති  බුදුවදන  සිංහලෙන්  දේශනා  කරන  පැවිදි  පිරිසට  කොතරම්  අපහසුවක්  ඇත්ද,  පාලි  වචනයෙන්  කියන්නට  හදන  අර්ථයම  සිංහල  වචනයෙන්  පැහැදිලි  කර  දීමට.

පාලි  පරිවර්තනයේදී  වචන වල  අර්ථයට  ඇති  වී   ඇති  හිඩැස්  වැසීමට  අටුවාව   සකස්  වෙන්නට  ඇත  කියාත්  සිතෙනවා.

මගේ  බුදුපියාණන්වහන්සේගේ  කාලයේදි`  බොහෝ  පිරිසකට  අවබෝධය  ලබා  ගත  හැකි  වූයේ,  ගිහි  පිරිසගේ  භාෂාවෙන්ම  දේශනා  කල  බැවිනි.

අවබෝධ  කර ගත  යුතු  දෙයක්  පිළිබඳව  වචන  වලින්   පැහැදිලි  කර   දුන්නත්,   අවබෝධය  කෙසේ  පෙන්වා  දිය  හැකිද?  ” පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි” තම   තමන්   විසින්ම   අවබෝධ   කරගත   යුත්තකි.

පෙර  පින්  ඇත්තන්නට  සහ  බුදුපියාණන්වහන්සේ  ගැන  මහත්  වූ  ශ්‍රද්ධාවෙන්  යුතුව  ධර්මය  අසා  ඒ  අනුව  පිළිපදින  පිරිසටද  අවබෝධය  ඉතා  ඉක්මනින්ම  ලැබෙන  බව  විශ්වාසයි.

හරි  මඟට  සැමටම  පිවිසීමට,   මගේ  බුදුපියාණන්වහන්සේ  පෙන්වා  දුන්  ඇස   දකින්නට   අවබෝධයේ  ඇස  විවර  වේවා.

 

 

 

 

 

 

 

ඔබත් භාග්‍යයවන්තයෙක්…?…ද…?

May 20th, 2018

ආහාර  පාන,  ඇඳුම්,  ඖෂධ,  වාසස්ථාන  යන  සිව්පසය  ගිහි  පැවිදි  සැමටම  ජීවිතයේ  පැවැත්මට  අවශ්‍යය  වේ.

සිව්පසය  ලැබෙන්නේ  පෙර  කල  පිනෙක  විපාකයක්  ලෙසිනි.

එබැවින්  ඒ  පිළිබඳව  විවිධ  මට්ටම්  දැකිය  හැකියි.

ගිහි  පිරිස  සිව්පසය  සකස්  කර  ගැනීමට  සහ  ආරක්ෂා  කර  ගැනීමට  වෙහෙසක්  දැරිය  යුතු  වේ.

එහෙත්  පැවිදි  පිරිසට  සිව්පසය  පූජනීයත්වයෙන්  සහ  ගෞරවයෙන්  ලැබේ.

මගේ  යයි  පැනවීමකින්  තොරව  සිව්පසය    අවශ්‍යය  අවස්ථාවේදී  පැවිදි  පිරිසට පරිහරණයට  ලැබෙන  නිසා,  එය කොතරම්  භාග්‍යයක්ද?

මගේ  යයි  පැනවීමක්  නොමැති  නිසා  පැවිදි  පිරිසට  සිව්පසය  සකස්  කරගැනීමට  සහ  රැකගැනීමට  උවමනා  යයි  සිතා  වෙහෙසක්  දැරිය  යුතු  ද  නොවේ.

එබැවින්  ගිහි  පිරිසට  වඩා  පැවිදි  පිරිස,  පෙර  පිනෙහි  සැප  විපාක  වැඩියෙන්  ලබන්නෝය.

කෙසේ  වෙතත්  සිව්පසය  ලැබෙන  සියල්ලෝම  භාග්‍යයවන්තයෝය.

ෂඩ්  ඉන්ද්‍රියන්  මනා  ක්‍රියාකාරීත්වයෙන්  යුක්ත  වූවෝ ද  භාග්‍යයවන්තයෝය.

මන්ද  බුද්ධික,  අංගවිකල  බාවයෙන්  තොර  වූවෝ ද  භාග්‍යයවන්තයෝය.

මනා  ශරීරයක්  ඇතිව  එනම්  ගති සම්පතින්  යුක්ත  වූවෝ ද  භාග්‍යයවන්තයෝය.

මේ  ආකාරයෙන්  සිතෙන  විට  බොහෝ  පිරිසක්  භාග්‍යයවන්තයෝය.

“කිසිවක්ම  නැතිනම්  භාග්‍යයවන්තයන්”  ලූ.

මොනවද  මේ  කිසිවක්ම  නැතිනම්  යනුවෙන්  අදහස්  වෙන්නේ…?

භාග්‍යයවන්තයෝ  ලෙසින්  ඉහතින්  දක්වන  ලද  දේවල්ද..?

තමා  සතු  සියල්ල  ඉවත්  කිරීමද..?

නැත.  ඒ කිසිවක්ම  නොවෙයි.

කෙලෙස්  කිසිවක්ම  නැත්නම්  ඒ  සැම  නියම  භාග්‍යයවන්තයෝය.

ලෞකිකත්වයේ  දී  ඉහතින්  දැක්  වූ  සියල්ලෝම  භාග්‍යයවන්තයෝ  වුවත්,  ලෝකෝත්තරත්වයේදී  කෙලෙස්  කිසිවක්ම  නැත්තෝ  නියම  භාග්‍යයවන්තයෝ  වෙති.

එවිට  ලෞකිකත්වයේදී  තමා  සතුව  තිබූ   සියල්ල  සිතින්  ඉවත්  වී  යනු  ඇත.

එහෙත්  ලෞකිකත්වයේදී  තිබූ  දේවල්  මනාව  පරිහරණය  කිරීමටද  හැකියි.

කාම,  රූප,  අරූප  යන  මේ  තුන්ලොවටම  සිටින   ප්‍රධානම  භාග්‍යයවන්තයෝ  සම්මා සම්බුදුවරයෝය.

මෙම  බුද්ධ  කල්පය  තුල  සිටි  භාග්‍යයවන්තම  පුද්ගලයා   මගේ  බුදුපියාණන්  වහන්සේ ය.

මගේ  බුදුපියාණන්වහන්සේට  තවමත්  සිව්පසයෙන්  පූජෝපාහාර  පැවැත්  වේ.

සසර  පෙර  පුරුදු  සමඟම  සියළුම  කෙලෙස්  නැසූ  මගේ  බුදුපියාණන්වහන්සේගේ  භාග්‍යයවන්ත  බව  කියා  ලියා  නිම  කල  නොහැකියි.

ලෞකිකත්වයේ  භාග්‍යයවන්තයෝ  වූ  අපි,  දැන්  ලෝකෝත්තරත්වයේ  භාග්‍යයවන්තයන්  වීමට  උත්සහ  කරමු.

 

 

 

දැනුම …? අවබෝධය ….? ප්‍රත්‍යක්ෂය …?

May 18th, 2018

දැනුම  ලැබෙන්නේ  ඇසීමෙන්  කියවීමෙන්  දැකීමෙන්  දැනීමෙන්  යනාදී  වශයෙන්  විවිධ  ආකාරයන්ගෙන්  සහ  විවිධ  පැතිකඩ  ඔස්සේය.

කිසිම  දැනුමක්  නැති  කිසිවෙකුත්  මෙලොව  ජීවත්ව  සිටිය  නොහැකියි.

දැනුමේ  ප්‍රමාණය  අනුව  උගත්කම  තීරණය  වෙයි.

දැනුම,  අවශ්‍ය තැනට  අවශ්‍ය  වෙලාවට  අවශ්‍ය  විදියට  සකස්  කර  ගන්නා  බුද්ධිමතා  ලෙස  ගත  හැකියි.

දැනුමට  යම්කිසි  ප්‍රමාණාත්මකතාවයක්  සහ  යම්කිසි  රාමුවකට  සිර  වී  ඇති  ආකාරයක්ද  පෙන්නුම්  කෙරේ.

දැනුමට  මතකයේ  රැඳී  තිබිය  හැකි  කාලයක්ද  ඇත.

භාවිතා  නොකර  සිටීම,  නැවැත  නැවැත  සිහිපත්  නොකිරීම,  රෝගයන්, …..ආදී  තව  බොහෝ  හේතු  නිසා  දැනුම  මතකයෙන්  ගිලිහෙනු  ඇත.

 

දැනුම  තිබෙන්නාට  අවබෝධය  කරා  ලඟා  විය  හැකියි.

කිසිම  දැනුමක්  නොමැතිව  අවබෝධයක්  ලබාගැනීමට  නොහැකියි.

දැනුම  හේතුවෙන්  යම්  දෙයක  යතාර්ථය  වැටහෙන්නේ  අවබෝධයක්  ඇති විටයි.

දැනුමට  මතකයේ  රැඳී  තිබිය  හැකි  කාලයක්  තිබුනත්  අවබෝධයට  එසේ  කාලයක්  නොමැත.

යම්  දෙයක්  අවබෝධ  කලේනම්  එය  සදා  මතකයේ  රැඳේ.

අවබෝධය  රඳවා  තබා  ගැනීමට  කියා  කිසිම  වෙහෙසක්  ගැනීමට  අවශ්‍ය  නැත.

කෙනෙක්  විසින්  ලබාගත්  අවබෝධය,  ඒ  ආකාරය  ඔස්සේ  තව  කෙනෙකුට  පැවැසිය  හැකියි.

එහෙත්  අසන  කෙනාට  එය  අවබෝධ  නොවිය  හැකියි.

එසේ  වෙන්නේ  අසන  කෙනා,   අවබෝධ  කිරීමට  නොහැකි  කෙනෙක්  නිසාවෙන්  නොව,  අනෙක්  කෙනාගේ  අවබෝධයේ  මඟ,  අසන්නාට  නොගැලපෙන  නිසාවෙනි.

යම්  දෙයක්  අවබෝධ  කරගත්තාට,  ඒ  අවබෝධ  කල  ආකාරය  සැමදෙනාටම  පොදු  නොවන  නිසාවෙනි.

එබැවින්   දැනුම  සහ  අවබෝධය  පමණක්  තිබෙන්නාට,  එක්  එක්  කෙනාට  ගැලපෙන  අයුරින්  තමාලද  අවබෝධය   ලබා  දීමට  අපහසු  වෙයි.

 

ප්‍රත්‍යක්ෂය  යනු  ද  අවබෝධයකි.

එහෙත්  එය  ඉතා  උතුම්  අවබෝධයකි.

ප්‍රත්‍යක්ෂය  යනු  තමා  තුලින්ම  ලබන  අවබෝධයකි.

ප්‍රත්‍යක්ෂය  කිසිවෙකුගෙන්  ලබාගත  නොහැකි,  කිසිවෙකුටවත්   ලබාදිය  නොහැකි,  තම  තමන්  විසින්ම  තම  තමන්   තුලින්ම  ලබන  අවබෝධයකි.

දැනුම  සහ  අවබෝධය  තිබෙන්නාට  ප්‍රත්‍යක්ෂ  අවබෝධයටද  ලඟා  විය  හැකියි.

ප්‍රත්‍යක්ෂ  අවබෝධය  ලැබුවෙකුට  තමාගේ  අවබෝධයෙන්  තව  බොහෝ  දෙනෙකුට,  ඒ  ඒ  කෙනාට  ගැලපෙන  ලෙස  අවබෝධය  ලබා  ගැනීමේ  මඟ  පෙන්වා  දිය  හැකියි.

ප්‍රත්‍යක්ෂ  අවබෝධය  කිසි  විටෙක   ඉවත්  නොවේ.

ප්‍රත්‍යක්ෂය  ජීවිතය  හා  බැඳී  පවතින්නක්  බැවින්,  ප්‍රත්‍යක්ෂ  අවබෝධයට  පත්  වූ  පුද්ගලයා  ඒ  තුලම  නිරතුරුවම  ජීවත්  වේ.

ජීවිතයේ  සාමාන්‍ය  ආකාරයේ  පැවැත්ම  ඇතිව  කටයුතු  කිරීමට,  ප්‍රත්‍යක්ෂයෙන්   ලැබෙන්නේද  පහසුවකි.

ප්‍රත්‍යක්ෂ  අවබෝධය  ලැබූ  පුද්ගලයාට,  අනෙක්  පුද්ගලයාට  ගැලපෙන  ආකාරයෙන්  අවබෝධයට  මඟ  පෙන්වා  දීමට  පමණක්  නොව,  ඒ  ඒ  පුද්ගලයන්ගේ  අවබෝධයේ  තැන  සිට  ඉදිරියට  යායුතු  කොටස  ද  පෙන්වා  දිය  හැකියි.

එපමණක්  නොව  ඕනෑම  තැනකින්  පටන්  ගෙන  යායුතු  තැනටම  මඟ  පෙන්වා  දීමටද  හැකියි.

(ලංකාවේ  සෑම  ප්‍රදේශයකම  සිට  අගනගරය  වූ  කොළඹට  ඒමට  මඟක්  සහ  බස්‍ රථයක්  ඇත්තා  සේ)

ප්‍රත්‍යක්ෂය  කිසිවෙකුට  විනාශ   කිරීමට  හෝ  උදුරා  ගැනීමට  හෝ  නොහැකියි.

ප්‍රත්‍යක්ෂයට  පත්  පුද්ගලයාට  එය  ඉවත්  කිරීමට  හෝ  එයින්  ඉවත්  වීමටද  හෝ  නොහැකියි.

ප්‍රත්‍යක්ෂයද  ජීවිතයද  දෙකක්  නොව  එකක්  වන  බැවිනි.

දැනුම  අවබෝධයටත්,  අවබෝධය   ප්‍රත්‍යක්ෂයටත්,   උපකාරී  වෙන  නිසා,  දැනුමට  ගරහා  නොකල  යුතුයි.

(ප්‍රාථමික   පාසලේදී  ඉගෙන  ගත්  අකුරු,  ඉවතට  විසී  කර  උසස්  ඉගෙනුමකට  යා  නොහැකි  සේය.)

සසරෙන්  එතර  වීමට  සිතන  සැම  දෙන  නිවැරැදි  ධර්මය  පිළිබඳව  දැනුම  ලබන්න.

ඒ  දැනුම  සැවොම  අවබෝධයට  පත්  කරති.

දැනුම  සහ  අවබෝධයට  පත්  වූ  විට,  නිවන  සාක්ෂාත්  වෙන  ප්‍රත්‍යක්ෂ  අවබෝධය  නොසිතූ  වෙලාවකදී  හමු වෙනු  ඇත.

සැවොම  නිවන්  සැපයෙන්  සුවපත්  වේවා.

 

 

ලෝක මව්වරුන්ගේ දිනය …?

May 15th, 2018

මැයි  මස  13  වෙනිදා  ලෝක  මව්වරුන්ගේ  දිනය  සමරනු  ලැබුවා.

අම්මා  යනු  සෑම  දිනෙකම  සැමරිය  යුතු  කෙනෙකි.

අම්මාවරුනේ  අම්මාවරුනේ  සම්මාසම්බුදු  අම්මාවරුනේ

දරුවන්ගේ  දුක්  කඳුළු දකින  දා

සුරලොව  සිට  අත  පා

ඒ  කඳුලැලි  පිසිනා

අම්මාවරුනේ…

මෙලොව  අපට  දකින්නට  ලැබුනේ   අම්මාවරුන්  සිටි  බැවිනි.

කවදාවත්  වෙනස්  නොවන  ආදරයක්  ලැබෙන්නේ  අම්මාගෙන්ම  පමණි.

දිනේ  පටන්  මා        උපන්න

මව් විඳි  දුක්  බැහැ      කියන්න

දොහොත්  මුදුන්  තබා  මෙන්න

වඳිමි  මව්නි  පින්           ලබන්න

බෞද්ධ  අප  රටෙහිත්   වැඩිහිටි  නිවාස  තුල  අසහනයෙන්  දුක්ඛිත  ජීවිත  ගෙවන  මව්වරුන්  සිටිති.

තමන්  සතු  සියළුම  දේපල  දරුවන්ට  දී  මහමඟ  දුක්ඛිත  ජීවිත  ගෙවන  මව්වරුන්ද  සිටිති.

අඬන  කලට  මා   නලවා

ආදරයෙන්  නිදි     කෙරුවා

කැත  කුණු  මගෙ  අතගෑවා

මව්තුමි  ඔබ  බුදු          වේවා

තම  දරුවන්  වෙනුවෙන්  ඕනෑම  කැප  කිරීමක්  කල  හැකි  මෙලොව  සිටින  එකම  පුද්ගලයා  අම්මා ය.

මුළු  ලෝකයම  ප්‍රතික්ෂේප  කලද,  තම  දරුවාගේ  කුමන  හෝ  වරදක්  තිබුනත්,  තම  දරුවා  ප්‍රතික්ෂේප  නොකරන  එකම  පුද්ගලයා  අම්මා ය.

නපුරු  වෙන්න  එපා  කියල  නපුරු  නොවී  කීවා

දරුණු  වෙන්න  එපා  කියල  දරුණු  නොවී  කීවා

මා……ආදර  මගෙ  අම්මා

මා……ආදර  මගෙ  අම්මා

ඇගෙ  ආදර  ලේ  කිරි  මම  රස  කර  කර  බිව්වා

මගෙ  ලෝකය  මගෙ  විශ්වය  ගෙදර  බුදුන්  අම්මා

මා…..ආදර  මගෙ  අම්මා

මා….ආදර  මගෙ  අම්මා

කඳුළු  බිංදු  හංගා  මට  සුර  සැප  දුන්නා

රස  මසවුළු  මට  දීලා  ඇය  නොකාම  උන්නා

දරු  සෙනෙහස හින්දා  අපමණ  දුක්  වින්ඳා

දුක්   කරදර  ඇය  විඳගෙන  මට  සුවයම  දුන්නා

මා….ආදර  මගෙ  අම්මා

යන  එන  තැන  විමසා  මා  පසුපස  උන්නා

හිත  රිදුනම  හිස  අතගා  දුක්  ගින්දර  නිව්වා

නිවැරැදි  මඟ  පෙන්වා  ගුරුහරුකම්  දුන්නා

ඔබට  තියෙන  ණය  ගෙවන්න  සසරම  මදි  අම්මා

මා….ආදර  මගෙ  අම්මා

නපුරු  වෙන්න  එපා  කියල  නපුරු  නොවී  කීවා

දරුණු  වෙන්න  එපා  කියල  දරුණු  නොවී  කීවා

මා…..ආදර  මගෙ  අම්මා

ඇගෙ  ආදර  ලේ  කිරි  මම  රස  කර  කර  බිව්වා

මගෙ  ලෝකය  මගෙ  විශ්වය  ගෙදර  බුදුන්  අම්මා

මා…..ආදර  මගෙ  අම්මා

මා….. ආදර  මගෙ  අම්මා

අම්මාවරුන්  නැතිදාට  මෙලොවෙහි  පැවැත්මත්  නැති  වේවි.

වැඩිහිටි  නිවාස  තුල,  මහ මඟ  මව්වරුන්  දමා  නොයන්න.

දරුවන්ගේ  දුක්  කඳුළු  දකින  විට, සුරලොව  සිටියත්   ඒ  කඳුළු  පිසිනා,  ඒ  මව්වරුන්ගේ  දෑසට  මෙලොවෙහිදී  කඳුලක්  නොනැඟෙන්නට  අපි  කටයුතු  කරමු.

තම  දරුවන්  කෙරෙහි  මෙත්තා,  කරුණා,  මුදිතා,  උපේක්ෂා  යන  සතර  බුහ්මවිහරණයෙන්  කටයුතු  කරන,  ගෙදර  බුදුන්  නමින්  හැඳින්වෙන්නේ  අම්මා ය.

මෙලොව  සිටින  එකම  දෙව්  පෙඹර  මව  තමයි.

දොහොත්  මුදුන්  තබා  මෙන්න

වඳිමි  අම්මෙ  පින්  ලබන්න.

 

සාම්ප්‍රදායන් ….? සංස්කෘතිය …..?

May 13th, 2018

සාම්ප්‍රදායන්  සංස්කෘතියට  අනුකූලව  සකස්  වෙන්නක්  ලෙස  හැඳින්විය  හැකියි.

ශ්‍රී  ලංකාවේ  ප්‍රධාන  වශයෙන්ම  ඇත්තේ  සිංහල  බෞද්ධ  සංස්කෘතියකි.

දැනට  එසේ  වීමට  ප්‍රධානම  හේතුව  ලෙස  සිංහල  බෞද්ධ  ජනතාව  බොහෝ  පිරිසක්  ජීවත්  වෙන  රටක්  වීම  නිසා  යැයි   සිතිය  හැකියි.

සංස්කෘතියක්  ගොඩනැඟීමට   ජාතිය  සහ  ආගම  ප්‍රධාන  වශයෙන්ම  බලපායි.

සිංහල  ජාතිය  පමණක්  නොව  ඕනෑම  ජාතියක  ජනතාව  ඔවුන්ගේ  ආගමට  ගැලපෙන  අයුරින්  සැකසුනු  සංස්කෘතියක්  අනුව  කටයුතු  කරති.

සංස්කෘතියද  සම්ප්‍රදායන්ද  ජනතාව  විසින්ම  සකස්  කර  ගත්  දෙයකි.

සාම්ප්‍රදායන්  සහ  සංස්කෘතිය  එකිනෙකට  බැඳී  පැවැතෙන්නක්  ලෙස  ද  ගත  හැකියි.

ජනතාව  විසින්ම  සකස්  කරගත්  සාම්ප්‍රදායන්  සහ  සංස්කෘතිය  වෙනස්  කර  ගැනීමට  ද  ජනතාවට  හැකිය.

එහෙත්  වෙනස්  කිරීම  නිසා  ජනතාවට  ජිවිතය  පවත්වාගෙන  යාමට  බාධාවක්  නොවිය  යුතු  වේ.

ලෝකයේ  ඇති  සංස්කෘතීන්  අතුරෙන්  අප  රටෙහි  ඇති  සිංහල  බෞද්ධ  සංස්කෘතිය  ඉතාම  වැදගත්  සහ  වටිනාකමින්  වැඩි  එකක්  ලෙස  හැඟේ.

එසේ  වීමට  ප්‍රධානම  හේතුව  බුදුදහමේ  ලෞකික  ජීවිතය  නිවැරැදිව  පවත්වා  ගැනීමට  ලබා  දී  ඇති  උපදෙස්  අනුව  සැකසුනු  සංස්කෘතියක්  වීමයි.

බුදුදහමට  අනුව  සැකසුනු  දෙයක්  බැවින්,  එය  වෙනස්  කරන්නට  යම්  පිරිසක්   සිතන්නේ  නම්,  ජීවිතය  නිවැරැදිව  පවත්වා  ගැනීමට   නොහැකි  වෙන  තත්ත්වයක්  ඇති  නොවීමටද  වගබලා  ගතයුතු  වේ.

දැනුදු  සංස්කෘතිය  තුල  ඇති  සමහර  සාම්ප්‍රදායන්  වෙනස්  වී  ඇත.

එමනිසා  ජනතාවට  සෞඛ්‍යය  ගැටළු  ඇතුළු  තව  බොහෝ  ප්‍රශ්න  වලට  කෙටි  කාලීනවත්  දීර්ඝකාලීනවත්  බලපෑම්  සිදු  වී  සහ  සිදු  වෙමින්  පවතී.

උදාහරණයක්  ලෙස  එක්  දෙයක්  පමණක්  මතක්  කරන්නට කැමැතියි.

අපගේ  සාම්ප්‍රදායික  ගොවිතැන්  ක්‍රමයෙන්  ඉවත්  වී  වෙනත්  ක්‍රමයන්  අනුව  යෑම  නිසා  දැනට  ජීවිත  වලට  සිදු  වී  ඇති  ප්‍රශ්න  සිතන්න.  මිනිස්  ජීවිත  පමණක්  නොව  ගොවිතැනට  උපකාර  වෙන  සතුන්,  පොළොව,  පරිසරය…….ආදී  බොහෝ  දෑ  සඳහා  සිදු  වී  ඇති  ගැටළු  වලට  විසඳුම්  කෙසේද?

අපගේ  සංස්කෘතිය  හා  බැඳී  ඇති  වටිනා  සාම්ප්‍රදායන්ගෙන්  ඉවත්  වූවන්ට  විසඳිය  නොහැකි  තරම්  බොහෝ  ගැටළු  වලට  ගොදුරු  වීමට  සිදු  වී  ඇත.

ප්‍රසිද්ධියේ  කිව  නොහැකි  දේවල්  ද  කිවහැකි  දේවල්  ද  බොහෝය.

සමාජයේ  පවතින  උඩු  යටිකුරු  ස්වාභාවයේ  නොසන්සුන්තාවයට  ද  සංස්කෘතිය  හා  බැඳී  පවතින  සාම්ප්‍රදායන්ට  ගරු  නොකිරීම  සහ  ඉවත්  කිරීම  හේතු  වී  ඇති  බව  පැහැදිලියි.

අපේ  සංස්කෘතිය  හා  බැඳී  පවතින  සාම්ප්‍රදායන්  විනාශ  කරන්නට  සිතන  පිරිසට,  තමන්  කැමැති  සංස්කෘතියක්  ඇති  රටකට  යන්නේනම්,  සිංහල  බෞද්ධ  සංස්කෘතියට  සහ  සිංහල  බෞද්ධ  ජනතාවට  සහ   ශ්‍රී  ලංකාවට  කරන  ලොකු  උදව්වක්  ලෙස  සැළකිය  හැකියි.

ඕනෑම  රටකට  ස්වාභාවධර්මයෙන්  ලබා  දී  ඇති  දේශගුණයට  ගැලපෙන  ආහාරපාන  මෙන්ම  ජීවීන්ගේ  හැඩ  ගැසීම….. ආදී  බොහෝ  දෑ  වලට  විරුද්ධව  යාමත්  සාම්ප්‍රදායන්  කැඩීමක්  ලෙස  ගත  හැකියි.

සිංහල  බෞද්ධ  සංස්කෘතිය  සහ  සංස්කෘතිය  හා  බැඳී  පවතින  සාම්ප්‍රදායන්  රැක  ගනිමු.

මිනිස්  සහ  සත්ත්ව  සහ  අනෙක්  ජීවීන්  ලෙස  සැලකෙන  ශාකයන්  රැක  ගනිමු.

සිතන්න.  නිදහසේ  සිතන්න.

 

 

සාම්ප්‍රදායක චින්තනය —-> පටිසෝතගාමී චින්තනය

May 12th, 2018

පෘතග්ජන  පුද්ගලයන්ගේ  නිරතුරුවම  පවතින්නේ  සාම්ප්‍රදායක චින්තනයකි.

එබැවින්  ලැබෙන  සෑම  අරමුණක්  කෙරෙහිම   ඇති  වෙන්නේ   වැරැදි  අවබෝධයකි.

ලැබෙන  අරමුණෙහි  ඇති  සත්‍යය  දකින්නට  සාම්ප්‍රදායක  චින්තනයෙන්  නොහැකියි.

ෂඩ්  ඉන්ද්‍රියන්ට  හමුවන  රූපයන්  හේතුවෙන්  ඇති  වෙන නාම  ධර්මයන්  හඳුනා  ගැනීමට  සාම්ප්‍රදායක  චින්තයෙන්  නොහැකියි.

වැලැක්විය  නොහැකිව  ඇති  වෙන  නාම – රූප  ධර්මතාවයේ  ස්ථිර  පැවැත්මක්  නොමැති  බව  හඳුනා  ගැනීමට  සාම්ප්‍රදායක  චින්තනයෙන්  නොහැකියි.

ක්ෂණයක්  ක්ෂණයක්  පාසා  බිඳෙන  නාම – රූප  දැකිය  හැකි  වෙන්නේ  පටිසෝතගාමී  චින්තනයෙන්  පමණි.

පටිසෝතගාමී  චින්තනය  සෑම  විටම  සාම්ප්‍රදායක  චින්තනයට  ප්‍රතිවිරුද්ධ  වූවකි.

සියළුම  පෘතග්ජන  පුද්ගලයන්ගේ   සසර  පුරාවටම  පැවැතෙන   සාම්ප්‍රදායක  චින්තනයෙන්  ඉවත්ව,  ලැබෙන  අරමුණු  වල  ඇත්ත  ඇති  සැටියෙන්ම  දකින්නට  උත්සහ  දරන්නේනම්,  ඒ  සැම  දෙනෙක්ම  පටිසෝතගාමී  මාර්ගයට   පිවිසීමට  වෙර  දරන්නෝ ද  වෙති.

එවිට  ඔවුන්  සැම  දෙනාම  යෝනිසෝමනසිකාරයෙන්  ද  පටිසෝතගාමී  චින්තනයෙන්  ද  යුක්ත  වූවෝ  වීමට  සුදුසුකම්  ලබන්නෝ  වෙති.

බුදුවදනට  අනුව  බුදුමඟ  යෑමට  නම්  සැවොම  සාම්ප්‍රදායක  චින්තනයෙන්  ඉවත්ව  පටිසෝතගාමී  චින්තනයට  පිවිසිය  යුතු  වේ.

අප්‍රමාදීවම  එය  ඉටු  කර  ගැනීමට  උත්සහවන්ත  වෙමු.

 

 

 

දරාගැනීමේ හැකියාව….. මමත්වය …… අසතුට ….. ! ! ! …… ? ? ? ….

May 8th, 2018

මමත්වය  සහ දරාගැනීමේ  හැකියාව ප්‍රතිලෝමව  සමානුපාතික  වේ.

මමත්වය  සහ  අසතුට  අනුලෝමව  සමානුපාතික  වේ.

මගේ,  මම,  මගේ ආත්මය  යන හැඟීම  රහත් වෙන තුරුම  පවතින්නෙකි.

මමත්වය  යනුවෙන්ද අස්මි මානය  ලෙසින්ද  මෙය දැක්විය හැකියි.

අඩු වැඩි ලෙස බොහෝ විට සෑම පෘතග්ජනයින් වෙතින් නොයෙක් ආකාරයෙන් මෙම අස්මි මානය පිළිඹිමු වේ.

මමත්වය  අඩු වෙන විට දරාගැනීමේ හැකියාව වැඩි වේ.

මමත්වය  වැඩි වෙන විට  දරාගැනීමේ  හැකියාව  අඩු වේ.

බාහිර ඇති සිද්දීන් හේතු කොට ගෙන,  තමාගේ මමත්වය රැක ගැනීමේ පෙළඹවීමක් ලෙස සිතින්ම සැකසෙන දෙයක් ලෙස දරාගැනීමේ හැකියාවේ තරම දකින්නට උත්සහවන්ත වෙමු.

ප්‍රබල දේශපාලකයින් වැනි සමාජයේ පිළිගත් යැයි සැළකෙන බොහෝ ජනයාට කෙතරම් අවලාද අපහාස කරත් ඒ ගැන  නොසැලී සිටින්නේ,  දරාගැනීමේ හැකියාවක්  ඇති  වෙන්නේ,  ඔවුන්ගේ මමත්වය අඩු වෙලාද?

නැත. ඔවුන්ගේ මමත්වය අඩු වීමක් සිදු වී නැත.  සිතෙහි ඒ දේවල් වලට පුරුදු වීමක් පමණක් සිදු වී ඇත.

එමනිසා පටලවා ගන්නේ නැතිව අවබෝධ කරගත යුතු දෙයකි මමත්වය.

මමත්වය වැඩි වෙන විට අසතුටද වැඩි වේ.

මමත්වය අඩු වෙන විට අසතුටද අඩු වේ.

බාහිර ඇති සිද්දීන් හේතු කොට ගෙන, තමාගේ මමත්වයේ ප්‍රමාණය අනුව  අසතුටේ  ප්‍රමාණය  තීරණය වේ.

මහා කාරුණික මගේ බුදු සමිඳු මමත්වය ගෙවෙන මඟ පෙන්වා දී ඇත.

ලැබෙන අරමුණු වල ස්වභාවය යෝනිසෝ මනසිකාරයෙන්  දකින්නට උත්සහවන්ත වෙමු.

ක්ෂණයක් පසා බිඳෙන නාම රූප ධර්මතාවයක් මිස, සදාතනිකව පවතින අරමුණක් කිසි විටෙක හමු නොවන බව දකින්නට පුළුවනි.

එසේ නම බාහිරෙන් එන අරමුණු  හේතු කොට ගෙන, අසතුටු වෙන්නේ  කුමකටද?

සිත සසල කරගන්නේ කුමකටද?

 

වෙසක් හඳ යි……බුදු හද යි…..

May 1st, 2018

මෙතෙක් කාලයක් වෙසක් සැමරුවේ වෙසක් මාසයේදී වුවත්, මෙවර අපට වෙසක් සමරන්නට සිදු වූයේ බක් මාසේය.

2018 අප්‍රේල් මස 29 වෙනි ඉරුදින වෙසක් පෝය දින ලෙස නම් කර තිබුණි.

වෙසක් ඇති නැති සැමටම වෙසක් හඳ එළිය දුනි.

වෙසක් හඳ මුළු ලොවටම එකසේය.

මා ගෙදර සිටින විට, වෙසක් හඳ ද එහිමයි. පන්සලට යන විට මඟ දිගටමත් පන්සලටත් වෙසක් හඳ එහිමයි.

මට මෙන්ම සෙසු පිරිසටද වෙසක් හඳ එසේම විය.

එකම වෙසක් හඳ මුළු ලෝකයාටම පෙනෙන්නේ තම තමන් සමඟම යන එන සිටින විලසිනි.

වෙසක් හඳ අප සැමටම වඩා ඉහලින්,  අහසේ බබළමින් සිටින නිසා, අපට එසේ පෙනෙයි.

වෙසක් හඳ අප සමඟ ම අප දිහාම බලමින් ගමන් කරනවා කියා සිතුනත්, වෙසක් හඳට නියමිත ගමන පමණමයි  ඇත්තේ.

බුදු හිමි බණ දේශනා කරන විට, සැමටම පෙනෙන්නේ තම තමා දෙසම බලා ගෙන තම තමාටම දහම් දෙසන විලාශයකි. අසා දැන ගත් දෙයක් වුවත්, එහි සත්‍යයක් ඇති බව පිළිගත හැකිය.

බුදු හද අප සැමගේම හද වලට වඩා ඉහලින් බබළමින් තිබෙන නිසා, වෙසක් හඳේ සිද්දිය සමඟ ගෙන බැලූ විට පැහැදිලි වෙයි.

ලෝකය තුල සිටින අප හද වලට වඩා, ලෝකයෙන් එතර වූ බුදු හද  ඉහලින් බබළමින් තිබේ.

ලෝකයෙන් එතර වූ බුදු හද ට ලං වෙන්නට ලෝකය තුල සිටින අප හද වලට හැකිද?

අප හද පොළොවෙහිය. බුදු හද අහසෙහිය. කෙසේ නම් ලං වෙන්නද?

බුදු හිමි මහා කාරුණිකයි. බුදු හද ට ලං වෙන මඟ පෙන්වා දී ඇත.

අප කළ යුත්තේ ඒ පෙන්වා දී ඇති මඟ ඔස්සේ අප්‍රමාදීව යාමයි.

බක් මාසෙට වෙසක් පෝය දැම්මා කියා පිරිසක් දොස් නඟමින් සිටියත්, වෙසක් හඳ ඒ කිසිවකට ප්‍රතිචාර නොදක්වා, වෙසක් මස පුන් සඳ මෙන් ම බබළමින් අහසේ දිස් විය.

තෙමඟුල සමරන වෙසක් පෝය දිනයේදී, මගේ බුදු සමිඳුගේ ගුණ දම් වැඩි වැඩියෙන් සිහියට නැඟෙන විට, එක් මොහතකදී, වෙසක් හඳ යි බුදු හද යි එක් කොට ගැලපෙන මෙම සිද්දිය සිහියට නැඟුණි.

බුදු හිමි පෙන්වා දුන් මඟ ඔස්සේ ගමන් කරන විට, අප හද ත් ඉහලට යන විට, ලෝකයේ ඇති බොහෝ දේ පිළිබඳව සත්‍යය අවබෝධ වී පෙනෙන්නට පටන් ගනී.

ඉහල අහසේ ඇති හඳ ට මුළු ලෝකයම  දැකිය හැකි සේ, බඹයක් තරම් වූ මේ මුළු ලෝකයම දැකිය හැකි සේ, අප හද ඉහලට ගැනීම සඳහා  මෙම බක් මස වෙසක් දිනයේ අධිෂ්ටාන කර ගනිමු.

බුදුන් වහන්සේ නොවඩින සේක්වා!

March 13th, 2018

අග්ගමහා පණ්ඩිත පූජ්‍ය බළංගොඩ ආනන්දමෛත්‍රී නාහිමිපාණෝ විසින් ලියැවුනෙකින් උපුටා ගන්නා ලදී.

එක් ශාන්ත පුරුෂයෙක් මඟ බැස යෙයි. හේ ප්‍රවුජ්ජිතයෙකි. ඔහුට පාවහන් නැත. ඔහුගේ පිටෙහි අංශයෙක එල්ලාගත් පාත්‍රයෙක් වෙයි. සංසුන්වැ වියදඬු පමණ බැල්ම හෙලා වඩනා ඔහු පසුකැර මෝටර කාරයෙක් යෙයි. මෝටර කාරයේ සෙරෙප්පු කූට්ටමක් ලා, පට සිවුරක් ඇඳ පැත්තකින් හම් බෑගයක්ද තබාගෙනැ බඩ ඉදිරියට නෙරවා දෙපා පළලට දිග හැරී හාන්සි වී ඉන්නා හාමුදුරු කෙනෙකුත්  හොඳට ඇඳ පැළැඳ ගත් ඔහුගේ දායකයාත් ය. නායක තැන යටකී පාර අද්දරින් සන්සුන්ව යන පැවිදි නම ඈත සිටම දකී. හිස ඇල කොට ඇස හීන් කොටැ ඔහු දෙස හෙලා දැකුම් සහිත බැල්ලමක් හෙලයි. දායකයා අමතා “බලන්න මහත්මයා මේ පොට්ටනි එල්ලාගෙන ඇවිදින හොරුන් නිසා අප ශාසනයට වී තිබෙන අවනම්බුවක මහත. කුහක කමට ගිය ගිය තැන පාත්‍රය එල්ලාගෙන ඇවිදින තාලයෙ හැටියට ගෞරවය රැකගෙන ක්‍රියා කරන්නට නොදන්නා මේ උන්නාන්සේලා නිසා තමයි ශාසනය මෙච්චර පහත වැටී තියෙන්නේ” යැයි කියයි. “එහෙයි” කියා දායකයාද ප්‍රතිවචන දී නායක හාමුදුරුවන්ගේ බස මුදුනෙන් පිළිගනී.

යට කී හුදැකලාවැ යන පැවිදි නම දායක ගෙදරකට ගොස් සාංඝික දානයකට ගොස් එන භික්ෂූන් සමූහයකට හමුවෙයි. ඒ පිරිසෙහි මුලින් එන්නේද නායක මහණෙකි. සෙරෙප්පු දෙකක් දමාගෙන කළු කුඩයක් ඉසලා බඩ ඉදිරියට නෙරවා ඈති පා තබමින් බරපතළකම පාමින් හෙතෙමෙ යෙයි. ඔහුගේ අනුචර ශ්‍රමණ පිරිසද අල්ලාප සල්ලාප බෙනෙමින් ඒ මේ අත බලමින් යෙති. නායක තැන යටකී හුදකලාව යන පැවිද්දහු දැක හෙලා දැකුම් සහිත බැල්ලමක් ලා ඉවත බලා ගනී. අනුචර පැවිද්දෝ නින්දා සහිත බැල්ලමක් හෙලා “කුහකයෙකැයි, පොට්ටනිකාරයෙකැ යි සොර යැයි” ආදී බස් කොඳුරති. ඔවුන් කිසිවෙක් ඒ හුදකලා පැවිදි නමට මඟ නොහරි යි. ඔවුනට වැඩිමල් පෙනුමක් ඇති හේ මඟින් අයින්ව යයි.

ආගම දියුණුවට වැඩකරන මහා බෞද්ධයෙකුට හේ හමු වේ. කලිසම් හැඳගත් ඒ බෞද්ධයා යථෝක්ත චාම් පෙනීමක් ඇති පැවිදි නමට මඟ නොහරී ඒ පැවිදි නමම අයින්වැ ඔහුට මඟ හැර යයි. ජාතික ඇඳුම නමින් සම්මත ඇඳුමින් සැරසුන රට හදන්නට දඟලන්නෙක් ඉදිරි මඟින් ඒ පැවිදි නමට හමු වෙයි. හේද මඟ නොහැරම යයි. පැවිදි නම අයින්වැ ඔහුට මඟ හරියි. බෞද්ධ උසස් විද්‍යාලයෙක ආචාර්‍යවරුන් කීප දෙනෙක් සහිත උසස් පන්තියක ශිෂ්‍ය පිරිසක්ද ඉදිරි මඟින් එති. ඔවුන් කිසිවෙක් ඒ පැවිදි නමට මඟ නොහරී. පැවිදි නම ම ඔවුන් සැමට මඟ හැර අයින්වැ යෙයි.

හොඳටම හවස් වෙයි. ඒ පැවිදි නම එක් පටු පාරකට බැස යෙයි. රෝමාණු කතෝලික පාදිලි කෙනෙක් ඉදිරි මඟින් හමු වෙයි. ඒ පාදිලි තැන යට කී පැවිදි නම දැක ඕනෑ කමින් බලා සැළකිලි සහිතව අයින් වී මඟ හරී. බසක් දෙකක් කතා කොටැ සතුට දක්වයි.

අඳුරු වෙයි. යථෝක්ත පැවිදි නම එක් පන්සලකට පැමිණෙයි. රෑ නවාතැනටයැ. එහි අධිපති ස්ථවිර තැන දායකයන් කීප දෙනෙකුත් සමඟ කථාවෙහි යෙදී සිටින වේලාවකි. ආරාමයට පැමිණ යට කී හුදකලා පැවිදි නමට ඔන්න ඔහෙන් ඉඳගන්නැයි ඈත අස්සනක් පෙන්වයි. ස්ථානාධිපති තැනට ආගන්තුකයෙකු ආ බව සඳහන් නැති. තමාගේ ආරාමය තිබෙන ගමේ අන් භික්ෂුවක් පිණිස කීප දෙනෙකුන් ආරාමයක් සෑදීම ගැන “එය නවතාලන්නට කවර උපායක් යොදමුදෝ” යි දායකයන් හා හේ ලොකු සාකච්ඡාවෙකැ යෙදී ඉඳී.

රෑ ඉස්තෝප්පුවේ ඇඳෙකැ. ඒ පැවිදි නම නිදා හිඳ උදේ එහි ප්‍රධාන මහණහට දන්වා පිටත් වෙයි. හේ ඉන් නික්ම යන්නේ අන් ආරාමයකට පැමිණෙයි. ඒ සියම් නිකායේ පන්සලකි. එහි භික්ෂූහුද පැවිදි නමගෙන් “ඔබ සියම් නිකායේදැ” යි අසති. නැතැයි හේ උත්තර දෙයි. ඔවුන්ගේ සැළකිල්ල අඩුවෙයි. එදා සාංඝික දානයකි. සාංඝික කරන තුරු ඒ පැවිදි නම ඉවත් කෙරෙති.

එයින් නික්ම යන ඒ පැවිදි නම පසු දින අමරපුර නිකායේ ආරාමයකට එළඹේ. එය මහා විනයධර නායක කෙනෙකුන් ඉන්නා තැනෙකි. හේ යට කී පැවිදි නමගෙන් “අමරපුර නිකායේදැ”යි අසයි. නැතැයි හේ කියයි. එතැනදීද මඳක් ඒ පැවිදි නම ඈත් කෙරෙති. ඉන් පසුව රාමඤ්ඤ නිකායේ පන්සලකට හේ යයි. එහිදී රාමඤ්ඤ නිකායේදැයි අසන ලදින් නැතැයි ඔහුගෙන් පිළිතුරු වෙයි. ඉන්පසු සැළකිල්ල මඳ වෙයි.

මෙසේ ඇවිදිනා ඒ පැවිදි නමට සමහර ආරාම වලදී  සොරකැයි නවාතැන් පවා නොදෙති. සමහර තැනෙකදී  කුහකයෙකැයි නිග්‍රහ කෙරෙති. සමහර තැනකදී  අළුත් පැෂන් ගත් තරුණ භික්ෂූන්ගේ උසුළු විසුළු වෙයි. සියම් නිකායේ භික්ෂූහූ ඔහු ඇස් බැම ගා දමා ඇත්තෙක්දැයි බලති. එහිත් ගම් වදනටත්, ඒකාංශය වසා පොරෝන සමහරු, ඒ පැවිදි නමටත් එසේමදැයි සෝදිසි කෙරෙති. අමරපුර නිකායේ භික්ෂූහූ ඒ පැවිදි නම තමන් සේ හදිනා පොරෝනා කෙනෙක්ද? ආදීන් සොයති. රාමඤ්ඤ නිකායේ භික්ෂූහූ හේ ගොටු අත්තක් දරන්නෙක්දැයි තදින් විමසති. ගිහි මහා බෞද්ධයොත් තදනුචරයොත් ඒ පැවිදි නම ගැන කිසිදු සැළකිල්ලක් නොකරති.

මඟ යන ඒ පැවිදි තුමාගේ ශාන්ත වේශය දැක පැහැදුණි. ඒ තාක් දුර විමසුම් සහිතවැ පසුපසින් ආ දුප්පත් උපාසකයෙක් ඉතා ගෞරවයෙන් එතුමා සිය ගෙට වැඩමවා සංග්‍රහ කෙරෙයි. වළඳා අවසනැ එතුමා භුක්තානුමෝදනාව කෙරෙයි. එය ඇසූ උපාසක තෙම විමසුම් සහිත වේ. හේ විමසයි. ඇඳින ගනී. හේ මෙසේ දුක්මුසු වදන් කියන්නට වෙයි.

“අනේ ! මේ මාගේ සම්මා සම්බුදු හාමුදුරුවෝ නොවෙත්ද? උන්වහන්සේ අඳුනා ගන්නට බැරිවිය. අපේ නායක ස්වාමීන්වහන්සේලා ඉතා වැඩි දෙනාටත් තදනුගාමී පැවිද්දන්ටත් බුදුහාමුදුරුවන්වත් අඳුනා ගන්නට බැරි විය. අනේ වූ දෙයක හැටි. නෑ පුදුමයක් නොවෙයි. ඒ කිසි කෙනෙක් හැබෑ බෞද්ධයෝ නොවෙති. ඒ නිසයි මෙහෙම වුනේ”.

අද බුදුරජාණන්වහන්සේ වැඩියොත් වෙන්නේ මේ ටිකයි. එහෙත් බුදුරදහු නම් නොවඩිති. එයමැ සැනසිල්ලට කරුණය.

 

 

 

 

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin