උතුම්ම ලාභය – ධනය – ඥාතින් – සැපය යනු කුමක්ද?

May 16th, 2016

නීරෝගීකම උතුම්ම ලාභයයි.

උතුම්ම ලාභයක් බවට පත්වන නීරෝගීකම  කුමක්ද?

කෙලෙස් දුරු කිරීමෙන් ලැබෙන නීරෝගීකමයි උතුම්ම ලාභය වෙන්නේ.

සතුට උතුම්ම ධනයයි.

උතුම්ම ධනයක් බවට පත්වන සතුට  කුමක්ද?

කෙලෙස් වලින් තොර වූ කුශල කර්ම කිරීමෙන් ලැබෙන (නිරාමිස) ලෝකෝත්තර  සතුටයි උතුම්ම ධනය වෙන්නේ.

විශ්වාසීන් උතුම්ම ඥාතීන්ය.

උතුම්ම ඥාතීන් බවට පත්වන විශ්වාසීහු  කවුරුන්ද?

සම්මා සම්බුදුරජාණන්වහන්සේලා, පච්චේක සම්බුදුරජාණන්වහන්සේලා, මහරහතන්වහන්සේලා, ආර්‍ය මහා සංඝරත්නය, සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය විශ්වාසවන්ත උතුම්ම ඥාතීන් වෙති.

උතුම්ම සැපය කුමක්ද?

නිර්වාණය උතුම්ම සැපයයි.

 

නොදන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා……….!!!

January 29th, 2016

සමහර භික්ෂූන් වහන්සේලා ගැන ගිහි අපට දකින්නට අසන්නට ලැබෙන දේ ඔස්සේ සිතෙන දේවල් මෙසේ කණගාටුවෙන් වුවද ප්‍රකාශ කරමි.

අධ්‍යාපනය, හැසිරීම, වෘත්තීය ක්‍රියා, ධර්ම දේශනා, සම්මුතික ධර්මතා යන මාතෘකා යටතේ ඒවා වර්ග කළ හැකියි.

බුද්ධ පුත්‍රයන්වහන්සේලා, බුදුරජාණන්වහන්සේ අනුගමනය කරන්නේද යන්න ගැන ප්‍රශ්නකාරී සිතිවිලි ඇති වෙන තරමට භික්ෂු ශාසනය පිරිහෙන මාර්ගයට තල්ලු වෙමින් තල්ලු කරමින් සිටින බව හැඟේ.

බුදු දහමට අනුව සෑම දෙයකටම හේතු ඇත. අයහපත් හේතු සොයා ඒ අයහපත් හේතු ඉවත් කළොත් යහපතක්ම සිදු වේ.

භික්ෂු ශාසනය පිරිහෙන විට, ඊට වඩා වැඩි වේගයෙන් ගිහි පිරිසද පිරිහෙන්නේ, සූර්යයා බැස යන විට, අපි අකමැති වුවත්, අනාරාධිතවම අප කරා අඳුර පැමිණෙන්නා සේය.

1.අධ්‍යාපනය:-

පාලි භාෂාව සහ ත්‍රිපිටකය අනිවාර්‍යෙන්ම ඉගෙන ගැනීම.

ගිහි සිසුන්ගේ අධ්‍යාපන ආයතන තුළට පැවිදි සිසුන් ඇතුළත් නොකිරීම.

පැවිදි සිසුන් සඳහාම වෙන් වූ අධ්‍යාපන ආයතන පිහිටුවා, පැවිදි බවේ ගෞරවය රැකෙන ලෙසට අධ්‍යයන කටයුතු කර ගැනීමේ  පහසුකම් සැලසීම.

2. හැසිරීම:-

විනය පිටකයේ සඳහන් ආකාරයටම ක්‍රියා කිරීම.

3. වෘත්තීය ක්‍රියා:-

භික්ෂූන් වහන්සේලාගේ ගෞරවයට හානි වෙන සහ ගිහියන්ගේ දෝෂ දර්ශනයට ලක් වන වෘත්තීන් නොකිරීම.

උදා:- රියැදුරු, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ආදී දෑ බාර නොගැනීම.

4. ධර්ම දේශනා:-

ත්‍රිපිටකය හදාරා නොමැති භික්ෂූන්වහන්සේලා ධර්මය ලෙස තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් ගිහි පින්වතුන් නොමඟට යවන බැවින්, මනාව ත්‍රිපිටකය හැදෑරූ භික්ෂූන් වහන්සේලා ධර්ම දේශකයාණන් වහන්සේලා ලෙස නම් කිරීම.

5. සම්මුතික ධර්මතා:-

ගිහියන්ගේ සම්මුතික ධර්මයන්ට හානි වෙන පරිදි කටයුතු කිරීමට ඇති කරන පෙළඹවීම් සහ බලපෑම් නැවැත්වීම.

බබළන බුද්ධ ශාසනය තුළ පිරිහෙන භික්ෂු ශාසනයක් ඇති කිරීමට, කටයුතු කරන සමහර භික්ෂූන් වහන්සේලා එයින් මුදවා ගැනීමට හැකිවේවා.

පායාගෙන එන සඳට, උඩු බුරුලන බල්ලෝ

January 26th, 2016

ලස්සනට සඳ පායා ගෙන එන  විට, බල්ලෝ උඩු බුරුලන්නේ ඇයි කියා සිතුවෙමි.

ලස්සන සඳ බිමට වට්ටගන්නද?

සඳට කිසිම ගානක්වත් නැත.

සඳ, සඳ ගමන යයි. එය කවමදාවත් බල්ලන්ගේ උඩු බිරුලමට බයේ බිමට නොවැටේ.

උඩු බුරුලපු බල්ලන්ටම ඇති වී, නිහඬ වෙති.

සඳට අයිති වෙලාවට සඳ පායා අහසේ බැබළෙයි.

උඩු බුරුලන බල්ලෝ පොළොවෙයි. සඳ අහසෙයි. කෙසේ නම් මේ දෙක එක් කළ හැකිද?

සඳට යන්න පුළුවන් අයත්, උඩු බුරුලන වල් බල්ලෝ සඳට එක්ක යන්න සූදානම් නැත. එය නිෂ්ඵල  වැඩක් බව උඩු බුරුලන බල්ලන්ට වඩා, සඳට යන්න පුළුවන් අය දන්නා බැවිනි.

ලංකාවේ දක්ෂතා ඇති සෑම දරුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දීමට තරම් හැකියාවක් ලක් රජයට නොමැති නිසා, පින් ඇති දක්ෂ දරුවෝ උසස් අධ්‍යාපනය පිටරට හෝ ගොස් ලබා ගනී. පිටරට යන දරුවෝ  තම දැණුමෙන් සේවය ලබා දීමට නැවත ලංකාවට පැමිණෙන්නේ ඉතාමත් අඩු පිරිසකි.

දිස්ත්‍රික් ක්‍රමයට ළමුන් ගැනීම නිසා, දුෂ්කර දිස්ත්‍රික් වලින් එන ළමුන්ට වඩා වැඩි ලකුණු තිබෙන පහසු ප්‍රදේශ වල ළමුන්ට අවස්ථාව නැති වී ඇත. රජයට උසස් අධ්‍යාපනය දක්ෂතා ඇති  සෑම ළමයෙකුටම  ලබා දීමට නොහැකිතාවය මිසක් ළමුන්ගේ අදක්ෂතාවක් නොමැත.

ජාත්‍යන්තර පාසල් වලින් ඉගෙනුම ලබා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට, අදහස් කරන ළමුන් වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ගය කුමක්ද? ඒ ළමුන් මව් භාෂාවට අමතරව ජාත්‍යන්තර භාෂාවද මනාකොට හසුරුවමින්, වැඩි දැණුමක්ද ඇතිව සිටින පිරිසකි. මෙම ළමුන් පිරිස දිගින් දිගටම නොසළකා හැර, ඔවුන් ජාත්‍යාන්තරයටම  සින්න වෙන්න හරිනවද? නැත්නම් අපේ රටේ නතර කර ගැනීමේ ක්‍රමයක් සකස් කරනවාද?

රජයට හැම දෙයක්ම කළ නොහැකියි. ඒ නිසා මෙම ප්‍රශ්නයට පෞද්ගලික අංශයේ උදව් ලබා ගෙන, පෞද්ගලික විශ්ව විද්‍යාල බහුල ලෙස දැමීමට අවස්ථාව ලබා දී, අපේ ළමුන් අපේ රටට සේවය කරන පිරිසක් බවට පත් කරමු.

එවිට වක්‍රාකාරව දැනට සිදු වී ඇති, තනි වූ වැඩි හිටියන් බලා ගැනීමේ ප්‍රශ්නයටද පිළිතුරක් ලැබෙනු ඇත.

රජයේ අධීක්ෂණය යටතේ, පෞද්ගලික විශ්වවිද්‍යාල තබා ගැනීමෙන් අප රටට කිසිම ආකාරයේ වරදක් සිදු නොවීමටද  කටයුතු කළ හැකි වේ.

පෞද්ගලික විශ්ව විද්‍යාල වලටද රජය උදව් කළ යුතුයි. ඒවායේ ඉගෙනුම ලබන්නේද අපේම දරුවන් බැවිනි. අපේම දරුවන් නොවුනත්, ඉගෙනුම ලබන ඕනෑම දරුවෙකුට උදව් කිරීමේ මානසික ශක්තිය ඇති වෙන විදියට පාසල් අධයාපනයෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයෙන් ළමුන්ගේ සිත් සකස් කිරීමටද කටයුතු කළ යුතුයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ළමුන්ට, ප්‍රායෝගික පුහුණුව සඳහා රජයේ රෝහල් ලබා දීම වඩා වැඩදායී සහ යහපතක්ම සිදු වන දෙයකි.

නැතිනම් ඔවුන් මෙහිදී අධ්‍යාපනය ලබා ගෙන ප්‍රායෝගික පුහුණුවට ඉඩ නොදුන්නොත්, ඔවුන්ද පිටරටට තල්ලු කිරීමකි.  ප්‍රායෝගික පුහුණුව රජයේ රෝහල් වලින් ලබා දීමේදී, ඔවුන්ගේ දක්ෂතා අනෙක් අයට ලබා ගැනීමට හැකි වෙන අතරම ඔවුන් නොදන්නා දෙය දැන ගැනීමෙන් කවදා හෝ මහජනතාවට හොඳ සේවයක් ලබා ගත හැකියි.

වෛද්‍යවරුන්ගේ හිඟයක් අප රට තුළ ඇති අවස්ථාවේ, පෞද්ගලික අංශයෙන් කළ මෙම කටයුත්තට උදව් කර,  යහපත් සහ හිඟයකින් තොරව වෛද්‍ය සේවය මහජනතාවට ලබා දීම සඳහා  කටයුතු කිරීමට සැමගේම ආශිර්වාදය ලැබේවා.

 

 

 

 

අනාගතයේ තීරකයා …….?

January 25th, 2016

අධ්‍යාපනයේ වැදගත්ම ස්ථානය පෙර පාසල් විය වේ.

අවාසනාවකට පෙර පාසල් විය ගැන කිසිවෙකුගේවත් අවධානාත්මකම සැළකිල්ලට භාජනය වී නැත.

නිවැරැදි ආකල්ප ඇති කිරීම සඳහා පෙර පාසල් වියත්, පාසල තුළට ගෙන විධිමත්ව කළහොත් අධ්‍යාපන ආයෝජනයේ ප්‍රතිඵල සාර්ථක වන බව සිතේ.

ප්‍රාථමික පාසල් අධ්‍යාපනයේදී ගණිත විෂය ගැන දක්වන ක්‍රමය වැරදි යැයි සිතේ.

ඉංග්‍රීසි විෂය සඳහා ප්‍රාථමික ගුරුවරයා නොයොදවා ඉංග්‍රීසි සඳහාම සුවිශේෂී ගුරුවරු යෙදුවත්, ගණිතය වැනි අති සුවිශේෂී වූ විෂය උගන්වන්නේ ප්‍රාථමික ගුරුවරයාමයි. ඒ මගින් ළමුන්ට නිවැරැදි ගණිත සංකල්ප නොලැබෙන නිසා, ගණිත විෂය ළමුන්ට අමාරු විෂයක් ලෙස නම් කරනු ලැබ ඇත.

බොහෝ විට නිවැරැදි ගණිත සංකල්ප මූලිකවම නොලැබීම නිසා ඉහල ශ්‍රේණි වලදී උගන්වන ගුරුවරයාටද මහත් වෙහෙසක් දරන්නට සිදු වුවත්, ලැබෙන ප්‍රතිඵලය අඩු එකකි. එයට ළමුන්ගේ ගණිත විෂය පිළිබඳව ඇති මුල් බැස ගත් නොසතුටේ ආකල්පයද බලපායි.

ප්‍රාථමික පන්ති වලට ගණිත විෂය ඉගැන්වීම සඳහා, ගණිතය සඳහාම සුවිශේෂී වූ ගුරුවරු යොදා ගත යුතුයි යනු මගේ අදහසයි.

ද්විතීයික අධ්‍යාපනය ලබන විටද ගණිතය වැනි සුවිශේෂී විෂය සඳහා ළමුන්ගේ අවධානය සතුටෙන් ලබා ගැනීම සඳහා මෙසේ යෝජනාවක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.

සංගීතය, නැටුම්, චිත්‍ර වැනි විෂයන් උගන්වන ගුරුවරුන් සඳහා ඒ වෙනුවෙන්ම වෙන් වූ පන්ති කාමර තිබෙන ආකාරයට ගණිත ගුරුවරුන් සඳහාද වෙනම ගණිත කාමර සකස් කළ යුතුයි යන්න මගේ අදහසයි. එහිදී එම ගණිත පන්ති කාමරය, ගණිතාගාරයක් ලෙස ගණිත සංකල්ප වර්ධනයට අවශ්‍ය දෑ වලින් පරිපූර්ණව සකස් කර ගැනීම සඳහා, රජය, මව්පියන්, ගුරුවරු, සුභපතන්නන් යන සැමගේම සහයෝගයද ලබා ගත යුතු වේ. ළමයාට ගණිත ගුරුවරයා ගණිතාගාරයේදී හැකි සෑම අව්ස්ථාවකදීම හමු වී ගැටළු විසදා ගත හැකි පහසුකමද නිරන්තරයෙන්ම  එවිට ලැබෙයි. ආකර්ශණීය ගණිතාගාරයට සතුටින් පිවිසෙන ළමයා වැඩි කලක් ගත වීමට ප්‍රථම සෞන්දර්ය විෂය හා සමානවම ප්‍රිය කරන සහ පහසු විෂයක් ලෙස ගණිත විෂයද පිළි ගනී.

අධ්‍යාපනය, වමාරන ක්‍රමයක් ලෙස පාසල් වාර විභාග ක්‍රමය මට හැඟේ. ළමුන් පීඩනයට පත් කරන වාර විභාග ඉවත් කර, ඒ වෙනුවට ළමුන්ගේ දැණුම සහ දක්ෂතා මැන බැලීමේ ක්‍රමයක් සකස් කළයුතුයි. අධ්‍යාපනයෙන් ලබා ගන්නා දැනුමෙන්, ළමුන්ට නිදහසේ නව නිපැයුම් සකස් කිරීමට පෙළඹවීම සහ ඒ සඳහා ප්‍රසාද ලකුණක් දීම යන්න මම යෝජනා කරන්නට කැමැත්තෙමි. නව නිපැයුම භාණ්ඩයක්ම විය යුතු නොවේ. එය ප්‍රහේලිකාවක්, කවියක්, නිසදැසක්, සිංදුවක්, පොත් පිංචක්, චිත්‍රයක්, රූප රාමුවක් ආදී කුමන හෝ දෙයක් විය හැකියි. එවිට අපේ දරුවන්ගේ සිතීමේ ශක්තිය වැඩි වී රටට වැඩදායී දේ සකස් කරන අනාගත පරපුරක් බිහිවේවි. ( වාර විභාග ක්‍රමයෙන් සිදු වෙන්නේ දැඩි පීඩනයක් මිස වෙනත් කිසිදු ප්‍රයෝජනයක් නොවේ. පන්තියේ ප්‍රථම ස්ථානය ගත්තත් අන්තිම ස්ථානය ගත්තත් ළමයා අනිවාර්‍යෙන්ම ඉහල ශ්‍රේණියට දැමිය යුතු බැවින්, වාර විභාග පැවැත්වීම කාලය සහ සම්පත් නාස්ති කිරීමකි. දෙමාපියන්ගේ මානසික සුවය සඳහා අව්ශ්‍යනම් විෂය භාර ගුරුවරුන් විසින්ම පන්තිය තුලදී වර්ෂය අවසානයේ ඇගයීමක් කර, ලකුණු ලබා දීමක්ද කල හැකියි.)

අධ්‍යයන  පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ළමුන් විවිධ පැතිකඩ වලට තේරීමේ විභාගයක් ලෙස නම් කොට, එම විභාගයෙන් පසු සෑම ළමයෙක්ම උසස් පෙල සඳහා යොමු කල යුතුයි. වඩු වැඩ, මේසන් වැඩ, කාර්මික වැඩ, ජලනල එලීම, ගෘහ විදුලි පරිපථ සකස් කිරීම, මැහුම්, ගෙතුම්, රෙදි විවීම, ගෘහ විද්‍යාව, විදුලි උපකණ භාවිතය ආදී නොයෙක් පැතිකඩ වලටද විෂයයන් සකස් කර, ඒ සඳහා ගුරුවරුන්ද පුහුණු කර, සෑම ළමයෙක්ම උසස් පෙලටද යොමු කරන්න. උසස් පෙලින් පසුවද විශ්ව විද්‍යාලයකට යාමට කැමැති සිසුන් සඳහා, උසස් පෙලට ඉගෙනගත් දෙයට ගැලපෙන සේ නව උපාධි  පාඨමාලා සකස් කර බාහිරව හෝ ඉගෙන ගැනීමට ඉඩ සලසා දිය යුතුයි යනු මගේ අදහසයි. බාහිර උපාධි සඳහා ද මුදල් අය නොකල යුතුයි. වෘත්තීය අධ්‍යාපනය සඳහාද උපාධි පිරිනැමීම තුළින්, ඔවුන්ගේ මානසික අසහනය දුරු වී, සෑම රැකියාවක්ම වැදගත් යන සංකල්පය ඇතුළු වූ විට, නිරන්තරයෙන්ම ඔවුන් විසින්ම ස්වයංරැකියා වලට පෙළඹී ආර්ථික ශක්තිය ඇති කර ගනි. එවිට තාරුණ්‍යයට හෙටක් කිසිවෙක් ලබා දිය යුතු නැත. තාරුණ්‍යය විසින්ම තමන්ගේ හෙට දවස සකස් කර ගනී.  එයයි සිදු විය යුතු වන්නේ යැයි මගේ අදහසයි.

උපතක් සමරන විපතක්

December 25th, 2015

ඇත්ත ඇති සැටියෙන්ම දැක්කේ අප මහ බුදුපියාණන්වහන්සේමයි.

ඉපදීම දුකක් බව දේශනා කළත් අපට ඉපදීම  මහත් වූ සතුටකි.

මනුෂ්‍යයෙක් විදියට ඉපදීම මහත්ම පිනක් නිසා උපන්දිනය සැමරිය යුතුමයි.

එහෙත් උපන්දිනයක් සැමරීමේදී බොහෝ ලෙස පින් රැස් වෙන විදියටම කළ යුතුයි යනු මගේ හැඟීමයි.

බුදුරජාණන්වහන්සේගේ උපන්දිනය සමරන වෙසක් පෝදා කිසිම සත්ව ඝාතනයක් සිදු නොවන්නට සියළුම නියම බෞද්ධයෝ  කටයුතු කරති.

බුදුරජාණන්වහන්සේගේ ධර්මය අනුගමනය කළ යුතු බැවිනි.

එහෙත් මහත් කණගාටුවට කරුණක් වෙන්නේ අනෙක් ශාස්තෲන්වහන්සේලාගේ උපන්දිනය සමරන දින වලදී සත්ව ඝාතනය වෙනත් දිනවලටත් වඩා බහුලවම කරන  බැවිනි.

” සැමටම ප්‍රේම කරන්න”  ” කිව් ශාස්තෲන්වහන්සේ ඔහුගේ උපන්දිනය සමරන දවසට මෙපමණ සතුන් ඝාතනය කරන්න කියා ඇත්දැයි සිතා ගැනීමටත් අපහසුයි.

පසු කාලේදී ඇති වූ වෙනත් පූජකවරුන්ගේ අදහස්ද මේවා කියා සිතෙනවා.

කෙනෙකුගේ උපතක් සමරන්න  තවත් කොටසකගේ විපතක් යොදා ගැනීම සාධාරණද?

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තමන් උපමාවට ගෙන තමන් අකමැති කිසිම දෙයක් අනුන්ටද නොකර සිටීමට හැකි මානසිකත්වයක් ආගම් භේදයකින් තොරව සෑම මනුෂ්‍යයෙක් තුලම ඇති වේවා කියා දෙසැම්බර් 25 වෙනි  නත්තල් දා මගේ පැතුමයි.

 

 

ඖෂධ පූජාව සඳහා වන ඖෂධ වට්ටෝරුව

September 18th, 2015

බෞද්ධයා නාලිකාවේ පැවැත්වෙන වස්සාන කාලයේ ඖෂධ පූජාව සඳහා ගන්නා දුර්ලභ දේශීය ඖෂධ වර්ග අවශ්‍ය වූ විට  බලා ගැනීම සඳහා මෙසේ ලියා තබමි.

1.   ඒකාවේරිය.

2.   ඉරිවේරිය.

3.   කප්පරවල්ලිය.

4.   නීරමුල්ලිය.

5.   නාමල් රේණු.

6.   නෙළුම් රේණු.

7.   දෙළුන් ලෙලි.

8.   ගොංකැකිරි අල.

9.   කොල්ලන් කොළ.

10.  රත්කිහිරිය.

11.  වල්වේලාමුල්.

12.  වියළි කහ.

13.  වද කහ.

14.  රණවරා මල්.

15.  බෙලිමල්.

16.  කුඩුමිරිස්සමුල්.

17.  සාදික්කා.

18.  මාසක්කා ඇට.

19.  දේවදුරු.

20.  මහදුරු.

21.  ලොක්සුඹුළු.

22.  වැල් දෙහි මුල්.

23.  මූරුවා මුල්.

24.  දියමිත්ත.

25.  දෙහි මුල්.

26.  දොඩංමුල්.

27.  කටුකරෝහණ.

28.  උදු ඇට.

29.  කොල්ලු ඇට.

30.  වදුරු මෑ ඇට.

31.  අරළු.

32.  බුළු.

33.  නෙල්ලි.

34.  අස්වැන්න.

35.  පොල්පලා.

36.  කටුවැල්බටු.

37.  එලබටු මුල්.

38.  නෙරෙන්චි.

39.  නස්නාරන් මුල්.

40.  බේත් එඬරු මුල්.

41.  බෙලි මුල්.

42.  මිදි මුල්.

43.  තොටිල මුල්.

44.  පලොල් මුල්.

45.  ඇත්දෙමට මුල්.

46.  දෑබරන අල.

47.  ඉරමුසු මුල්.

48.  රත් හඳුන්.

49.  සුදු හඳුන්.

50.  අගිල් අරටු.

51.  දේවදාර.

52.  විෂ්ණුක්‍රාන්තිය.

53.  බැබිල මුල්.

54.  කොහොඹ පොතු.

55.  හාතාවාරිය අල.

56.  මානෙල් අල.

57.  කලාදුරු අල.

58.  මාදංපොතු.

59.  කුඹුක් පොතු.

60.  පාවට්ටා මුල්.

61.  නික මුල්.

62.  වැල්මදට.

63.  තිප්පිලි.

64.  සූදුරු.

65.  කලුදුරු.

66.  අතිවිඩයන්.

67.

68.  දුම්මැල්ල.

69.  රසකිඳ.

70.  සාරන අල.

71.  අමුක්කරා අල.

72.  අලබේත්.

73.  වැල් තිබ්බටු.

74.  කොරාසාති.

75.  කලිස්පතුරු.

76.  වැල් කහඹිලියා.

77.  අලහැල මුල්.

78.  සිවිය මුල්.

79.  මුරුංගා මුල්.

80.  වල්කොත්තමල්ලි.

81.  කොතල හිඹුටු.

82.  උළුහාල්.

83.  සුදුළූණු.

84.  ලුණුවරණ පොතු.

85.  ඉගිණි ඇට.

86.  වලඟ සහල්.

87.  ගම්මිරිස්.

88.  වියළි ඉඟුරු.

89.  කොත්තමල්ලි.

90.  පත්පාඩගම්.

91.  අරත්ත අල.

92.  කරපිංචා නැටි.

93.  වැල්මී.

94.  වෙනිවැල්ගැට.

95.  කටුකරඬු මුල්.

96.  ගල්මද.

97.  එනසාල්.

98.  පඩවැල්.

99.  කිරාන.

100. මස්බැද්ද.

101. කෝවක්කා අල.

102. අත්තික්කා පොතු.

103. බේදුරු අල.

104. අලු කෙසෙල් අල.

105. ඉඟුරු පියලි.

106. කුරුඳු පොතු.

107. දොඩම් පනාමුල්.

108. සැවැන්දරා මුල්.

109. සේපාලිකා කොළ.

110. අශෝක පොතු.

111. මලිත මල්.

112. බෝ පොතු.

113. හීන් නිදිකුම්බා.

114. සුවඳ කොට්ටන්.

115.

116. ජටා මාංශ.

117. ලුණුවිල.

118. කුඹුරු ඇට.

119. රත්මල් කැකුළු.

(වියළි ඖෂධ වර්ගයන්ගෙන් ගන්න.)

කාගෙද මේ කුණු……මොනවද මේ කුණු ……නොදිරන මේ කුණු……? ? ??

May 19th, 2015

නිෂ්පාදිත ආයතන මඟින්, බෙදා හරිනු ලබන දේවල් බහාලන ප්ලාස්ටික් වැනි නොදිරන භාජන පරිසරයට එකතු වේ.

යෝගට් කෝප්ප, අයිස්ක්‍රීම් කෝප්ප, ප්ලාස්ටික් පෙට්ටි, ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් කවර…….ආදී විවිධ ආකාර නොදිරන ද්‍රව්‍ය පරිසරයට එකතු කරයි.

බස් නැවතුම් පොල, මහා මාර්ග වල, කාණු තුල, කඩපිල්වල, සතිපොලවල………ආදී නොයෙක් ස්ථාන වලදී මෙවැනි අපද්‍රව්‍ය දැකිය හැකියි.

වැසි වතුර එකතු වූ මෙවැනි භාජන මදුරුවන්ට සාදා දුන් නිවහන් බැවින් ඔවුන් රිසි සේ සතුටින් ඔවුන්ගේ ජීවන රටාව කර ගනියි.

පොදු ස්ථානවල ඇති මෙවැනි අපද්‍රව්‍ය කවුරු විසින් දැමූ ඒවාද?  වැරදිකරුවෝ කවුද? දඬුවම් කළයුත්තේ කාටද? දඬුවම් කළ යුතුද?

එක්තරා කාලයකදී මහාමාර්ගයේ ඇති  මෙවැනි  අපද්‍රව්‍ය සඳහා, මහා මාර්ගය ඉදිරිපස නිවැසියන්ට නඩු දැමීමට කටයුතු කරන බවක් අසන්නට ලැබුණි. උදේ දොරවල් වසා රැකියා සඳහා යන නිවැසියන්, තම නිවස ඉදිරිපිට මහා මාර්ගයේ දමා ඇති මෙවැනි දෑ වෙනුවෙන් කෙසේ වගකිව යුතුද යන්නවත් නොදනී. නිවසෙහිම සිටියත් මහා මාර්ගය අසලට වී කවුද මෙවැනි දේ කරන්නේ කියා බලා සිටිය හැකි කෙනෙක්ද නැත. ඒ සඳහා වෙනම රැකියා අවස්ථාවක් දී කෙනෙකු පත් කරගත හැකිද? පත් කරගත යුතුද? කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලයේ එහෙම තමයි.

මෙවැනි නොදිරන අපද්‍රව්‍ය අයිති වෙන්නේ ඒවා නිෂ්පාදනය කරන ආයතන වලටමයි.

නිෂ්පාදනය කරන ආයතන පාරිභෝගිකයා හඳුනා ගන්නේ කෙසේද? පාරිභෝගිකයාට නිෂ්පාදනය  කරන ආයතනයට ගෙන යාමට හැකිද? ගෙන ගොස් බාර දිය හැකිද?

ඇත්ත වශයෙන්ම මේ කිසිවක් පාරිභෝගිකයාට කළ නොහැකියි.

එසේනම් කුමක්ද කළ යුත්තේ?

සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් තිබිය යුතුයි. සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් තිබෙනව.

පිළිතුර තවත් ප්‍රශ්නයක ආරම්භයක්  ද නොවිය යුතුයි.

එසේනම් නිවැරැදිම පිළිතුර දිය හැකි වෙන්නේ, රට කරවන රාජ්‍ය පාලකයන්ටමයි.

විකල්ප යෝජනා ලෙස මට හිතෙන දේවල්……..

විකුණන ද්‍රවය වල හිස් භාජන නැවැත කඩ හිමියන්ටම බාර දීම. කඩහිමියන් විසින් ඒවා නැවත ඔවුන්ට අලෙවි කළ අලෙවි නියෝජිතයන්ටම ලබා දීම සහ ඔවුන් මඟින් සමාගමටද, සමාගම මඟින් නිෂ්පාදන ආයතනයටද ලබා දීමෙන් පසු ප්‍රතිචක්‍රීකරණය කිරීම වැනි කුමක් හෝ ඵලදායී දෙයක් කිරීමට යොමු කිරීම.

මෙය සාර්ථකව කර ගැනීමට මානසික අල්ලසක් දිය යුතු වෙන බවද හැඟේ. මූලිකව එසේ දීමෙන් හෝ පුද්ගලයින්ගේ මානසිකත්වය නිවැරැදිව සකස්  කරගත යුතුයි. ( අනේපිඬු සිටුතුමාගේ පුතාට බණ පදයක් අසාගෙන පැමිණි විට දුන් මුදල් අල්ලස වගේ)

පාරිභෝගිකයා දෙන හිස් භාජනයට කඩහිමියා විසින් ලබා දෙන මුදලට වඩා වැඩි මුදලක්, සමාගම විසින් කඩහිමියාට ලබා දිය යුතුයි. කඩහිමියාගේ මුදල් සිරවී තිබෙන කාලයට සාධාරණයක් ඉටු නොවුනහොත් එය අසාර්ථකත්වයට පත් විය හැකියි.

සමාගම් වල නොසැලකිලිමත් බාවය සඳහා සියුම් දඬුවම් ක්‍රමයක්ද අන්තර්ගත විය යුතුයි.

පොදු ස්ථානවල ඇති, තම සමාගමේ නම සඳහන් හිස් භාජන සඳහා සමාගම වගකිව යුතුයි යන්න ඔවුන්ට කාවැද්දිය යුතුයි. පොදු ස්ථානවල එවැනි හිස් භාජන හෝ නරක් වූ දේ පිරුණු හෝ සමාගමේ නම සඳහන් භාජන ඇති බව දැන් වූ විට ඒවා වැඩ කරන දින පහ හෝ මදුරුවන්ගෙන් වන හානිය ඇති වන දින ගන්නට සමගාමී කාල  පරාසයක් ඇතුළත යන කුමන හෝ නම් කල කාලයක්  ඉක්ම යාමට පළමුව ඉවත් කර නොගන්නා සමාගම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක  කිරීම සහ දඬ මුදල් අය කරගැනීමේ ක්‍රමයක්  ඇති කිරීම.

දිගු කාලීනව සහ ඉතාම වැදගත් අන්දමට කළයුතු වන්නේ පාසල් තුළින් ළමයින්ගේ  මානසිකත්වයට “පරිසරය රැකුනොත්  පමණයි මනුෂ්‍යන්ගේ පැවැත්ම යහපත්ව පවතින්නේ” යන්න ඇතුළත් වෙන විදියට පරිසර අධ්‍යයන පාඩම් මාලාවක් සකස් කිරීම සහ ප්‍රායෝගිකව එයට ඇතුලත් වෙන සහ සාර්ථකව  ක්‍රියාත්මක කරන ළමුන්ට විශේෂිත සහතික පත් සහ ත්‍යාග සහ ලකුණු ක්‍රම ආදී නොයෙක් උපක්‍රම මඟින් සෑම දරුවෙක්ම  එයට අවතීර්ණ කරගැනීම.

බුදුරජාණන්වහන්සේගේ  හේතු ඵල වාදය අනුගමනය කර ලෞකික ලෝකයේ ඇති ප්‍රශ්න වලටද  නිවැරැදි විසඳුම් ලබා ගැනීමට හැකි වේ යනු මගේ හැඟීමයි.

ඕනෑම දෙයකට හේතුවක්  හෝ හේතු කිහිපයක් තියෙනව.

හේතු  ඉවත් කලොත් නරක ඵලද  ඉබේම ඉවත් වෙනවමයි.

අපි හැමදාම කලෙත්, කරන්නෙත්  මූලික හේතු  නොසොයා ඵලයන්ට දඬුවම් දීමයි.

කළයුත්තේ මූලික හේතු ඉවත් කිරීමයි.

ඵලයට පමණක්   දඬුවම් දීමෙන් සිදු වෙන්නේ හැමදාම වරද එසේම පැවැතීමයි. වරද පවතින බැවින් හැමදාම නරක ඵල සහ දඬුවම්ද අඩු නොවේ. එකතැනම හැමදාම පල් වෙවී තියෙන එකයි වෙන්නේ.

හේතුවට දඬුවම් නොදී, එය එසේම තිබියදීම ඵලයට දඬුවම් දීම නිසා  හිරගෙවල්ද ඉඩ මදි වී, අලුතෙන් හිරගෙවල් ඇති කිරීමටද සිදුවෙයි.

සිරගෙවල් නඩත්තු කරන්න වියදම් කරන මුදල්……..?

පාසල් ගොඩනැගිලි අහස සූරන මන්දිර වගේ හදා ” අපි පාසල් දියුණු කලා” කියලා කිව්වට එසේ නොවන බව දකින්නට ලැබෙන නිසා,  වඩාත්ම  දියුණු කළ යුත්තේ  දරුවන්ගේ මානසිකත්වයයි යන්න  මට හැඟේ.

” යහපත් මනසක් ඇති කලොත් යහපත් රටක් ඇති කළ හැකියි ”

 

 

සපිරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය

April 1st, 2015

සපිරියාප්තික  =  ත්‍රිපිටකය

නවලෝකෝත්තර  =  මාර්ග 4 + ඵල 4 + නිවන

මාර්ග 4 = සෝවාන්, සකුදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගයි.

ඵල 4 = සෝවාන් , සකුදාගාමී, අනාගාමී, අර්හත් යන ඵල යි.

අවුකන බුදු පිළිමවහන්සේ

April 1st, 2015

අවුකන බුදු සිවුරෙ රැලී

කලා වැවේ දියඹෙ සැලේ

යෝධ වැවේ ගලා ඇදී

මෙසිරිසාර කෙතේ අඳී//

උදා ඉරට රිදී වනින්

අමා දහම් කිරණ වසී //

මෙත් කරුණා සීත නලින්

නැමී කරල් හිමිට වඳී

අවුකන බුදු සිවුරෙ රැලී

කලා වැවේ දියඹෙ සැලේ

යෝධ වැවේ ගලා ඇදී

මෙසිරිසාර කෙතේ අඳී

පෝය රෑට මිහිරි සරින්

බුදුගුණ ගායනා ඇසේ //

හිමි කරුණා දෑස නඟින්

නිවන් අමා මිහිර පෙරේ

අවුකන බුදු සිවුරෙ රැලී

කලා වැවේ දියඹෙ සැලේ

යෝධ වැවේ ගලා ඇදී

මෙසිරිසාර කෙතේ අඳී///

 

(රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් උදෑසන විකාශනය වූ ඉතාමත්ම අර්ථාන්විත සහ මිහිරි ගීතය අසෙන විට ඕනෑම කෙනෙක් මනසින් අවුකන බුදුරුව ලඟම තමයි )

පටිච්ච සමුප්පාදය

March 18th, 2015

1.   අවිද්‍යාව.

2.   සංස්ඛාර.

3.   විඤ්ඤාණ.

4.   නාම – රූප.

5.   සලායතන.

6.   ඵස්ස.

7.   වේදනා.

8.   තණ්හා.

9.   උපාදාන.

10. භව.

11. ජාති.

12. ජරා – මරණ

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin