ධජග්ග පරිත්තං භාවය

December 6th, 2009

මා විසින් මේ ධජග්ග සූත්‍රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අණේපිඬු මහ සිටාණන් විසින් කර වූ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහණෙනි, යි භික්ෂූනට අඬගා වදාළ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි කියා පිළිවදන් දුන්හ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මතු කියන කරුණ වදාළ සේක.

මහණෙනි, පෙර වූ දෙයක් කියමි. ඒ කිම්යත්? දෙවියන් ගේ හා අසුරයන් ගේ යුද්ධයෙන් උභය සේනා එක් තැන් වීමෙන් ඇති විය නොහොත් (දෙවිඅසුර) දෙසෙනග යුද කිරීම සඳහා රැස් විය. මහණෙනි, ඉක්බිත්තෙන් සක් දෙව් රජ තෙම තව්තිසා වැසි දෙවියන් කැඳවීය. එසේ කැඳවා නිදුකාණෙනි, යුද්ධයට ගිය දෙවියන්ට බියෙක් හෝ තැති ගැනීමෙක් හෝ යම් රෝමෝද්ගමනයෙක් හෝ ඉදින් උපන්නේ වී නම්, එසමයෙහි මාගේම යෙළසියයක් යොදුන් පමණ දිග ඇති යටෙහි නගන ලද දෙසිය පනස් යොදුන් පමණ උස ඇති ධවජයා ගේ අග්‍රය (කොඩිය අග) බලව්, මාගේ කොඩි අග බලන්නා වූ තොපට යම් බියෙක් හෝ යම් තැතිගැන්මෙක් හෝ යම් රෝමෝද්ගමනයෙක් හෝ වේද, හේ පහ වේ. නැති වේ යනුයි.

මාගේ ධ්වජාග්‍රය ඉදින් නොබලව් නම් ඉක්බිත්තෙන් ප්‍රජාපතී නම් දෙව් රජහුගේ කොඩිය අග බලව්, ප්‍රජාපති නම් දෙව් රජහු ගේ කොඩිය අග බලන්නා වූ තොපට යම් කිසි බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ රෝමෝද්ගමනයෙක් හෝ වේද, එය නැති වේ. ප්‍රජාපතී නම් දෙව් රජහු ගේ කොඩිය අග ඉදින් නොබලව් නම්, ඉක්බිත්තෙන් වරුණ නම් දෙව් රජහු ගේ කොඩිය අග බලව්, වරුණ නම් දෙව් රජහු ගේ කොඩිය අග බලන්නා වූ තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ රෝමෝද්ගමනයෙක් හෝ වේද, එය පහ වේ.

වරුණ නම් දෙව් රජහු ගේ කොඩි අග ඉදින් නොබලව් නම් ඉක්බිත්තෙන් ඊසාන නම් දෙව් රජහුගේ කොඩිය අග බලව්. ඊසාන නම් දෙව් රජහුගේ කොඩිය අග බලන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ රෝමෝද්ගමනයෙක් හෝ වේද, එය පහ වේ.

මහණෙනි, සක් දෙව් රජහුගේ හෝ ඒ කොඩිය අග බලන්නාවුන්ට ප්‍රජාපතී නම් දෙව් රජහුගේ හෝ ඒ කොඩිය අග බලන්නවුන්ට වරුණ නම් දෙව් රජහුගේ හෝ කොඩිය අග බලන්නවුන්ට, ඊසාන නම් දෙව් රජහුගේ හෝ ඒ කොඩිය අග බලන්න වුන්ට, යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ යම් රෝමෝද්ගමනයෙක් හෝ වේද, එය පහවන්නේ හෝ වෙයි, පහ නොවන්නේ හෝ වෙයි, එයට කාරණ කිමයත්? මහණෙනි, සක් දෙව් රජ තෙම නො පහ වූ රාග ඇත්තේය. නො පහ වූ ද්වේෂතරහක්‍රෝධ ඇත්තේය. නො පහ වූ මෝහමුළාවීම ඇත්තේය. බිය වන සුළුය. වෙසෙසින්ම බිය වන සුලුය. පලා යන සුලුය.

මහණෙනි, මම ද වනාහි මෙසේ කියමි. මහණෙනි, වලට ගියා වූ හෝ, රුක් මුලට ගියා වූ හෝ, ජනසුන් තැනකට ගියා වූ හෝ, තොපට බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ රෝමෝද් ගමනයෙක් හෝ ඉදින් උපන්නේ වී නම් එකල්හි මාම සඳහන් කරව්. කෙසේ ද යත්? ඒ භාග්‍යවත් තෙම කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයිනුදු, කෙලෙස් නැමති සතුරන් නැසූ හෙයිනුදු, සිව්පසය ආදියට සුදුසු හෙයිනුදු, රහසත් පව් නො කරණ හෙයිනුදු, අරහං නම් වන සේක. අනුන්ගේ උවදෙස් නොමැතිව සියලු ධර්මයන් මනාව දත් හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක. දිව ඇසය, පෙර වුසූ කඳපිළිවෙල දන්නා නුවණය, කාමාදී ආශ්‍රවයන් නසන නුවණය, යන ත්‍රිවිද්‍යා යෙන් හා විදර්ශනා ඥානය, මනෝමය ඍද්ධිය, ඍද්ධිවිධ ඥානය, දිව්‍යශ්‍රෝත්‍ර ඥානය, පරචිත්ත විජානන ඥානය, පූර්වේනිවාසනුස්මෘති ඥානය, දිව්‍යඤචක්ෂුරභි ඥානය, ආශ්‍රවක්ෂයකර ඥානය, යි දක්වන ලද අෂ්ට විද්‍යායෙන් යෙදුණු හෙයිනුදු, ශීල සංවරය, ඉන්ද්‍රියයන් කෙරෙහි ගුප්තද්වාර බවය, පමණ දැන වැළඳීමය, නිදිවර්ජිත කිරීමෙහි යෙදුනු බවය, සැදෑහැය, පාපයෙහි ලජ්ජා හා භයය, බහුශ්‍රැත බවය, වීර්‍යය, ස්මෘතිය, පැනය, චතුර්විධ රූපාවචර ධ්‍යානය, යන පසළොස්චරණ ධර්මයෙන් යුක්ත හෙයින් ද විජ්ජාචරණසම්පන්න නම් වන සේක. මනා ගමන් ඇති හෙයිනුදු, මනා තැන යි කියන ලද නිවණට ගිය හෙයිනුදු, මනා කොට ගිය හෙයිනුදු, මනා කොට කියන හෙයිනුදු, සුගත නම් වන සේක. සත්ව ලෝකය, අවකාශ ලෝකය, සංස්කාර ලෝකය, යන ත්‍රිවිධ ලෝකයන් හැම පරිද්දෙන්ම දත් හෙයින් ලෝකවිදූ නම් වන සේක. ශීල සමාදධ්‍යාදී ගුණයෙන් තමාට අධිකයක්හු නැති හෙයින් අනුත්තර නම් වන සේක. දමනය කටයුතු පුරුෂයන් සරණ සීලාදීයෙහි පිහිටුවා හික්මවන හෙයින් පුරිස දම්ම සාරථී නම් වන සේක. දෙව් මිනිසුන්ට මෙලොවට හිතයෙනුදු පරලොවට හිත යෙනුදු සුදුසු සුදුසු පරිදි අනුශාසනා කරණ හෙයිනුදු සත්ථා නම් වන සේක. චතුස්සත්‍ය ධර්මයන් තමන් වහන්සේ දත් හෙයිනුදු සෙසු සත්නට දැක් වූ හෙයිනුදු, ඒ භාග්‍යවත් තෙමේ බුද්ධ නම් වන සේක. දාන සීලා දී පාරමිතායෙන් සිද්ධ වූ භාග්‍ය ඇති හෙයිනුදු, රාග ද්වේෂ ආදී හැම කෙලෙසුන් නැසූ හෙයිනුදු, භගවා නම් වන සේක.

මෙසේ මහණෙනි, මා සඳහන් කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ රෝමෝද්ගමනයෙක් හෝ වේද, ඒ දුරු වේ.

ඉදින් මා සඳහන් නො කරව් නම් ඉන් පසු ධර්මය සඳහන් කරව්. කෙසේද යත්? බුදුන් විසින් ධර්මය තෙමේ මනා කොට දේසනා කරන ලද්දේය. තමන් විසින්ම ප්‍රත්‍යවේක්ෂාඤාණයෙන් දැක්ක යුතුය, තමාගේ ඉපදීමට අනතුරුව ඵල දෙන මුත්, අනෙක් කලෙකැ ඵල නොදෙනුයේය, ස්වභාවයෙන් ඇති හෙයිනුදු, විශේෂයෙන් පිරිසිදු හෙයිනුදු, වර බල යන වචනයට සුදුසුය, තමා සිත්හි ඉපදීමට අරමුණු කිරීම් හෙයින් එළඹීමට සුදුසුය, නුවණැතියන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තේය. මහණෙනි, මෙලෙසින් ධර්මය සිහි කරන්නාවූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ රෝමෝද් ගමනයෙක් වේද, එය පහ වේ.

ඉදින් ධර්මය සඳහන් නො කරව් නම් ඉක්බිත්තෙන් උතුම් වූ ආර්ය සංඝයා සිහි කරව්. කෙසේද? බුදුන් ගේ ශ්‍රාවක සංඝ තෙමේ මනාව පිළිපන්නේය. බුදුන් ගේ ශ්‍රාවක සංඝ තෙමේ ඉදිව් (ඍජුව) මැදුම් පිළිවෙතින් පිළිපන්නේය. බුදුන් ගේ ශ්‍රාවක සංඝ තෙමේ නිවන් සඳහා පිළිපන්නේය. බුදුන් ගේ ශ්‍රාවක සංඝ තෙමේ නිවනට අනු කූල වූ (එකඟ වූ) පිළිවෙත පිළිපන්නේය. ඔහු කවරහයත්? සෝවාන් මඟ පිහිටියෝ ද, සෝවාන් ඵලයෙහි පිහිටියෝ ද, සකෘදාගාමී මඟ පිහිටියෝ ද. සකෘදාගාමී ඵලයෙහි පිහිටියෝ ද, අනාගාමී මඟ පිහිටියෝ ද, අනාගාමී ඵලයෙහි පිහිටියෝ ද, අර්හත් මඟ පිහිටියෝ ද, අර්හත් ඵලයෙහි පිහිටියෝ දැයි යන මේ සතර පිරිමින් සඟළෙක් ඇද්ද, බුදුන් ගේ මේ ශ්‍රාවක සංඝ තෙමේ දුරිනුදු ගෙන හැර දියයුතු පසයට සුදුසුය, අමුතු පඬුරු පිළිගන්ට සුදුසුය, හෙවත් කම්පල අද හා සකස් කොට සරහා දෙන අමුතු මහදන් පිළිගැනීමට සුදුසුය, පරලොව අදහා දියයුතු දන් පිළිගැනීමට සුදුසුය. සියලු ලෝකවාසීන් විසින් දොහොත් මුදුන් දී කරණ නමස්කාරයට සුදුසුය. සියලු ලෝ වැස්සාගේ උතුම් වූ පින් හට ගන්නා කෙත යයි, මෙලෙසින් ආයර්‍ය සංඝයා සඳහන් කරන්නා වූ තොපට යම් බියෙක් හෝ, තැති ගැන්මෙක් හෝ රෝමෝද්ගමනයෙක් හෝ වේද, එය පහ වේ. එයට කාරණ කිමයත්? මහණෙනි, අරහත් සම්මා සම්බුදු රජ තෙම නැසූ රාග ඇත්තේය, නැසූ ද්වේෂතරහක්‍රෝධ, ඇත්තේය, නැසූ මෝහ ඇත්තේය, බිය නැත්තේය, තැති ගැණුම් නැත්තේය, චිත්තෝත්‍රස නැත්තේය, බියෙන් පලා නොයන්නේය, යන කාරණ යි.

භාග්‍යවතුන් වහන්සේ මේ ධජග්ග පරිත්තය වදාළ සේක. ඉන්ද්‍රස්ථානයට ගියා වූ ශෘස්තෘ තෙමේ මෙසේ වදාරා නැවත අනිකුදු මේ ගාථා ද වදාළ සේක. මහණෙනි, වල්හි හෝ, රුක් මුල්හි හෝ, යම් කිසි ජනහිස් තැනෙක හෝ, සව්නේ ගෙවා දත් බුදුහු සිහි කරව, එසේ සිහිකරන කල්හි තොපට බියෙක් නොවන්නේය. ලොවට පළමු වැනි වූ සත්නට උතුම් වූ සව්නේ දත් බුදුහු ඉදින් සිහි නො කරව් නම්, ඉක්බිත්තෙන් සියලු දුක් ඉක්මීමට කරුණු වූ මනාව දෙසන ලද නව ලොව්තුරු දහම් සිහි කරව්. ඉක්බිත්තෙන් සියලු දුක් ඉක්මීමට කාරණා වූ මනාව දෙසන ලද නව ලොව්තුරු දහම් සිහි නො කරව් නම්, ඉක්බිත්තෙන් උතුම් පින්කෙත් වූ ආයර්‍ය සංඝයා සිහි කරව්. මහණෙනි, බුදුන් ද ධර්මය ද සංඝයා ද එසේ සිහි කරන්න වුන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ රෝමෝද්ගමනයෙක් හෝ නොවේ.

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin