කාගෙද මේ කුණු……මොනවද මේ කුණු ……නොදිරන මේ කුණු……? ? ??

May 19th, 2015

නිෂ්පාදිත ආයතන මඟින්, බෙදා හරිනු ලබන දේවල් බහාලන ප්ලාස්ටික් වැනි නොදිරන භාජන පරිසරයට එකතු වේ.

යෝගට් කෝප්ප, අයිස්ක්‍රීම් කෝප්ප, ප්ලාස්ටික් පෙට්ටි, ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් කවර…….ආදී විවිධ ආකාර නොදිරන ද්‍රව්‍ය පරිසරයට එකතු කරයි.

බස් නැවතුම් පොල, මහා මාර්ග වල, කාණු තුල, කඩපිල්වල, සතිපොලවල………ආදී නොයෙක් ස්ථාන වලදී මෙවැනි අපද්‍රව්‍ය දැකිය හැකියි.

වැසි වතුර එකතු වූ මෙවැනි භාජන මදුරුවන්ට සාදා දුන් නිවහන් බැවින් ඔවුන් රිසි සේ සතුටින් ඔවුන්ගේ ජීවන රටාව කර ගනියි.

පොදු ස්ථානවල ඇති මෙවැනි අපද්‍රව්‍ය කවුරු විසින් දැමූ ඒවාද?  වැරදිකරුවෝ කවුද? දඬුවම් කළයුත්තේ කාටද? දඬුවම් කළ යුතුද?

එක්තරා කාලයකදී මහාමාර්ගයේ ඇති  මෙවැනි  අපද්‍රව්‍ය සඳහා, මහා මාර්ගය ඉදිරිපස නිවැසියන්ට නඩු දැමීමට කටයුතු කරන බවක් අසන්නට ලැබුණි. උදේ දොරවල් වසා රැකියා සඳහා යන නිවැසියන්, තම නිවස ඉදිරිපිට මහා මාර්ගයේ දමා ඇති මෙවැනි දෑ වෙනුවෙන් කෙසේ වගකිව යුතුද යන්නවත් නොදනී. නිවසෙහිම සිටියත් මහා මාර්ගය අසලට වී කවුද මෙවැනි දේ කරන්නේ කියා බලා සිටිය හැකි කෙනෙක්ද නැත. ඒ සඳහා වෙනම රැකියා අවස්ථාවක් දී කෙනෙකු පත් කරගත හැකිද? පත් කරගත යුතුද? කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලයේ එහෙම තමයි.

මෙවැනි නොදිරන අපද්‍රව්‍ය අයිති වෙන්නේ ඒවා නිෂ්පාදනය කරන ආයතන වලටමයි.

නිෂ්පාදනය කරන ආයතන පාරිභෝගිකයා හඳුනා ගන්නේ කෙසේද? පාරිභෝගිකයාට නිෂ්පාදනය  කරන ආයතනයට ගෙන යාමට හැකිද? ගෙන ගොස් බාර දිය හැකිද?

ඇත්ත වශයෙන්ම මේ කිසිවක් පාරිභෝගිකයාට කළ නොහැකියි.

එසේනම් කුමක්ද කළ යුත්තේ?

සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් තිබිය යුතුයි. සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් තිබෙනව.

පිළිතුර තවත් ප්‍රශ්නයක ආරම්භයක්  ද නොවිය යුතුයි.

එසේනම් නිවැරැදිම පිළිතුර දිය හැකි වෙන්නේ, රට කරවන රාජ්‍ය පාලකයන්ටමයි.

විකල්ප යෝජනා ලෙස මට හිතෙන දේවල්……..

විකුණන ද්‍රවය වල හිස් භාජන නැවැත කඩ හිමියන්ටම බාර දීම. කඩහිමියන් විසින් ඒවා නැවත ඔවුන්ට අලෙවි කළ අලෙවි නියෝජිතයන්ටම ලබා දීම සහ ඔවුන් මඟින් සමාගමටද, සමාගම මඟින් නිෂ්පාදන ආයතනයටද ලබා දීමෙන් පසු ප්‍රතිචක්‍රීකරණය කිරීම වැනි කුමක් හෝ ඵලදායී දෙයක් කිරීමට යොමු කිරීම.

මෙය සාර්ථකව කර ගැනීමට මානසික අල්ලසක් දිය යුතු වෙන බවද හැඟේ. මූලිකව එසේ දීමෙන් හෝ පුද්ගලයින්ගේ මානසිකත්වය නිවැරැදිව සකස්  කරගත යුතුයි. ( අනේපිඬු සිටුතුමාගේ පුතාට බණ පදයක් අසාගෙන පැමිණි විට දුන් මුදල් අල්ලස වගේ)

පාරිභෝගිකයා දෙන හිස් භාජනයට කඩහිමියා විසින් ලබා දෙන මුදලට වඩා වැඩි මුදලක්, සමාගම විසින් කඩහිමියාට ලබා දිය යුතුයි. කඩහිමියාගේ මුදල් සිරවී තිබෙන කාලයට සාධාරණයක් ඉටු නොවුනහොත් එය අසාර්ථකත්වයට පත් විය හැකියි.

සමාගම් වල නොසැලකිලිමත් බාවය සඳහා සියුම් දඬුවම් ක්‍රමයක්ද අන්තර්ගත විය යුතුයි.

පොදු ස්ථානවල ඇති, තම සමාගමේ නම සඳහන් හිස් භාජන සඳහා සමාගම වගකිව යුතුයි යන්න ඔවුන්ට කාවැද්දිය යුතුයි. පොදු ස්ථානවල එවැනි හිස් භාජන හෝ නරක් වූ දේ පිරුණු හෝ සමාගමේ නම සඳහන් භාජන ඇති බව දැන් වූ විට ඒවා වැඩ කරන දින පහ හෝ මදුරුවන්ගෙන් වන හානිය ඇති වන දින ගන්නට සමගාමී කාල  පරාසයක් ඇතුළත යන කුමන හෝ නම් කල කාලයක්  ඉක්ම යාමට පළමුව ඉවත් කර නොගන්නා සමාගම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක  කිරීම සහ දඬ මුදල් අය කරගැනීමේ ක්‍රමයක්  ඇති කිරීම.

දිගු කාලීනව සහ ඉතාම වැදගත් අන්දමට කළයුතු වන්නේ පාසල් තුළින් ළමයින්ගේ  මානසිකත්වයට “පරිසරය රැකුනොත්  පමණයි මනුෂ්‍යන්ගේ පැවැත්ම යහපත්ව පවතින්නේ” යන්න ඇතුළත් වෙන විදියට පරිසර අධ්‍යයන පාඩම් මාලාවක් සකස් කිරීම සහ ප්‍රායෝගිකව එයට ඇතුලත් වෙන සහ සාර්ථකව  ක්‍රියාත්මක කරන ළමුන්ට විශේෂිත සහතික පත් සහ ත්‍යාග සහ ලකුණු ක්‍රම ආදී නොයෙක් උපක්‍රම මඟින් සෑම දරුවෙක්ම  එයට අවතීර්ණ කරගැනීම.

බුදුරජාණන්වහන්සේගේ  හේතු ඵල වාදය අනුගමනය කර ලෞකික ලෝකයේ ඇති ප්‍රශ්න වලටද  නිවැරැදි විසඳුම් ලබා ගැනීමට හැකි වේ යනු මගේ හැඟීමයි.

ඕනෑම දෙයකට හේතුවක්  හෝ හේතු කිහිපයක් තියෙනව.

හේතු  ඉවත් කලොත් නරක ඵලද  ඉබේම ඉවත් වෙනවමයි.

අපි හැමදාම කලෙත්, කරන්නෙත්  මූලික හේතු  නොසොයා ඵලයන්ට දඬුවම් දීමයි.

කළයුත්තේ මූලික හේතු ඉවත් කිරීමයි.

ඵලයට පමණක්   දඬුවම් දීමෙන් සිදු වෙන්නේ හැමදාම වරද එසේම පැවැතීමයි. වරද පවතින බැවින් හැමදාම නරක ඵල සහ දඬුවම්ද අඩු නොවේ. එකතැනම හැමදාම පල් වෙවී තියෙන එකයි වෙන්නේ.

හේතුවට දඬුවම් නොදී, එය එසේම තිබියදීම ඵලයට දඬුවම් දීම නිසා  හිරගෙවල්ද ඉඩ මදි වී, අලුතෙන් හිරගෙවල් ඇති කිරීමටද සිදුවෙයි.

සිරගෙවල් නඩත්තු කරන්න වියදම් කරන මුදල්……..?

පාසල් ගොඩනැගිලි අහස සූරන මන්දිර වගේ හදා ” අපි පාසල් දියුණු කලා” කියලා කිව්වට එසේ නොවන බව දකින්නට ලැබෙන නිසා,  වඩාත්ම  දියුණු කළ යුත්තේ  දරුවන්ගේ මානසිකත්වයයි යන්න  මට හැඟේ.

” යහපත් මනසක් ඇති කලොත් යහපත් රටක් ඇති කළ හැකියි ”

 

 

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin