අවීචී මහා නරකය

August 15th, 2011

බෞද්ධයා නාලිකාවේ අභිධර්ම නිම්තෙර වැඩසටහනින් දැන ගතිමි. අටමහ නරකය අතරින් අටවෙනි නරකය ලෙස අවීචී මහ නරකය නම් කෙරේ.

ප්‍රතිමා විනාශ කරන්නෝද දාගැබ් විනාශ කරන්නෝද බෝධීන් වහන්සේලා විනාශ කරන්නෝද බුදුරජාණන් වහන්සේලාගේ  ශරීරයෙහි ලේ සොලවන්නෝද රහතුන් වහන්සේලා මරණයට පත් කරන්නෝද සංඝයා වහන්සේලා භේද කරන්නෝද මව් මරණ්නෝද පියා මරණ්නෝද යනාදී පංචානන්තරික පව් කළ පුද්ගලයෝද මෙම අවීචී මහා නරකයෙහි උපදිති.

ගින්නෙන් වේඳනාවෙන් දුකෙන් පීඩා විඳිමින් කිසිම අස්වැසිල්ලක් නැතිව සත්වයෝ අති විශාල ප්‍රමාණයක් අවීචී මහා නරකයෙහි සිටිති. ගිනි ජාලයන් අතරක් නැතිව තිබෙන තැනකි අවීචී මහානරකය.

මහා තාපනය නරකයේ සිට යොදුන් පහළොස්දහසක් යටින් අවීචී මහා නරකය පිහිටා ඇත. අවීචී මහා නරකයෙහි ආයු කාලය නිරය වර්ෂ අන්තඃකල්පයකි.

වයස අවුරුදු දහයේ සිට වයස  අවුරුදු අසංඛ්‍යෙය දක්වා  වැඩි වී නැවත වයස අවුරුදු දහය දක්වා අඩු වූ විට ගත වෙන කාලය අන්තඃකල්පයක් ලෙස හැඳින්වේ.( අසංඛ්‍යෙය – සංඛ්‍යාවකින් දැක්විය නොහැකි)

මහා තාපනය (ප්‍රතාපය)

August 15th, 2011

බෞද්ධයා නාලිකාවේ අභිධර්ම නිම්තෙර වැඩසටහනින් දැන ගතිමි. අටමහ නරකය අතරින් හත්වෙනි නරකය ලෙස මහා තාපනය නරකය නම්වේ.

තුණුරුවන් ගැන විශ්වාසය නැති පුද්ගලයෝද මිසදිටු පුද්ගලයෝද තුණුරුවන්ට අගෞරව කරන්නෝද දන් පින් නොකරන්නෝද  එහි ඵල විපාක නැතැයි කියන්නෝද මෙම මහා තාපනය නරකයෙහි උපදිති.

ගින්නෙන් පිරී ඇති මහාතාපනය නරකයෙහි උපදින්නෝ නිරය වර්ෂ අන්තඃකල්පයකින් අඩක ආයු කාලයක් දුකට පත් වෙමින් සිටිති.

තාපනය නරකයේ සිට යොදුන් පහළොස්දහසක් යටින් මහා තාපනය නරකය  පිහිටා ඇත.

තාපනය නරකය

August 15th, 2011

බෞද්ධයා නාලිකාවේ අභිධර්ම නිම්තෙර වැඩසටහනින් දැන ගතිමි. අටමහ නරකය අතරින් හයවෙනි නරකය තාපනය නම් වේ.

පරුෂ වචනයෙන් අනුන්ව වෙහෙසන්නෝද කේලාම් කියන්නෝද යුතුකම් ඉටු නොකරන පුද්ගලයෝද සේවා ස්ථානයේ වැඩ නොකර බොරු කරමින් සිටින්නෝද සේවකයන්ට නොසළකන්නෝද “කැපිල්ල කපාගෙන යෑම” කරන්නෝද මෙම තාපනය නරකයෙහි උපදිති.

ගිනි ගෙන දැවෙන යකඩ උල් වලින් පීඩා විඳිමින් යකඩ පොළොව මත සෙලවෙන්න පෙරෙලෙන්න බැරිව නිශ්චලව සිටිමින්  තැවෙමින් පීඩා විඳිමින් දුකට පත් වෙන තැන තාපනය නරකය වේ.

මහා රෞරවය නරකයේ සිට යොදුන් පහළොස්දහසක් යටින් තාපනය නරකය පිහිටා ඇත. තාපනය නරකයේ ආයු කාලය නිරය වර්ෂ දහසයදහසකි.

මහා රෞරවය නරකය

August 15th, 2011

බෞද්ධයා නාලිකාවේ අභිධර්ම නිම්තෙර වැඩසටහනින් දැන ගතිමි. අටමහ නරකය අතරින් පස්වෙනි නරකය වෙන්නේ මහා රෞරවය නරකයයි.

තුණුරුවන් සතු  දේවල් විනාශ කරන්නෝද බුද්ධ ශාසනයට අයිති වස්තූන් පැහැර ගැනීම් විනාශ කිරීම් කරන්නෝද මහා  සංඝ රත්නය සතු දේවල් අයථා ලෙස පරිහරණය කරන්නෝද විවිද නිලතල දරණ දායක සභාව සඝ සතු දෑ අයථා ලෙස පරිහරණය කිරීමෙන්ද මෙම මහා රෞරවය නරකයෙහි උපදිති.

ගුගුර ගුගුර පිළිස්සෙන දරුණු ගිනිදැල් වලින් පිරුණු මහා රෞරවය නරකයේදී නිර සතුන් පැහෙමින් දුකට පත් වෙමින් සිටිති.

රෞරවය නරකයේ සිට යොදුන් පහළොස්දහසක් යටින් මහා රෞරවය පිහිටා ඇත. මහා රෞරවයේ ආයු කාලය නිරය වර්ෂ අටදහසකි.

රෞරවය නරකය

August 11th, 2011

බෞද්ධයා නාලිකාවේ අභිධර්ම නිම්තෙර වැඩසටහන තුළින් දැන ගතිමි. අටමහ නරකය අතුරෙන් හතරවෙනි නරකය ලෙස රෞරවය නම් කෙරේ. බොරු සාක්ෂී කියන්නෝද අල්ලස් රැගෙන වැරදි කරුවන් නිවැරැදි කරුවන්  කරන්නෝද  නිවැරැදි කරුවන් වැරැදි කරුවන් කරන්නෝද හොර වෙළදාම් කරන පුද්ගලයෝද වංචනිකයෝද මුලා කරන්නෝද බොරු කරන පුද්ගලයෝද මෙම රෞරව නරකයෙහි උපදිති.

ඇවිලීගත් ගින්නෙන් පිරී ඇති රෞරව නරකයේ උපදින සත්වයන්ගේ  නවදොරින් ගිනිදැල් ඇතුළු වී සත්වයන් දැවි දැවී පිච්චෙමින් මරණයට පත් වෙති. එහෙත් නැවත එහිම ඉපෙදෙමින්  දැවෙමින් දුකට පත් වෙති.

සංඝාත නරකයේ සිට යොදුන් පහළොස්දහසක් යටින් රෞරව නරකය පිහිටා ඇත. රෞරව නරකයේ ආයු කාලය නිරය වර්ෂ හාරදහසකි.

සංඝාතය නරකය

August 9th, 2011

බෞද්ධයා නාලිකාවේ අභිධර්ම නිම්තෙර වැඩසටහන තුළින් දැන ගතිමි. අටමහ නරකය අතරින් තුන් වෙනි නරකය ලෙස සංඝාත නරකය නම් කෙරෙයි. අතින් පයින් පොලු මුගුරු අවි ආයුධ ආදියෙන් සතුන්ට හිංසා කරන්නෝද මනුෂ්‍යයන්ට හිංසා කරන පුද්ගලයෝද මසුන් ඌරන් කුකුලන් එළුවන් මැරීමෙන් ජීවිකාව කරන්නෝද නිතරම අකුශල චේතනාවෙන්ම කටයුතු කරන පුද්ගලයෝද මෙම සංඝාත නරකයෙහි උපදිති.

ඇවිලී ගත් ගින්නෙන් පිරී ඇති සංඝාත නරකයේ යමපල්ලන් විසින් ගිනිගත් විශාල ලෝහමය පර්වත පෙරලමින් සුණු විසුණු කර දමනු ලැබේ. මැරෙමින් නැවත ඉපෙදෙමින් දුකට පත් වෙති.

කාලසූත්‍ර නරකයේ සිට යොදුන් පහළොස්දහසක් යටින් සංඝාත නරකය පිහිටා ඇත. සංඝාත නරකයේ ආයු කාලය නිරය වර්ෂ දෙදහසකි.

කාලසූත්‍ර නරකය

August 8th, 2011

බෞද්ධයා නාලිකාවේ අභිධර්ම නිම්තෙර වැඩ සටහනින් දැන ගතිමි. අටමහ නරක අතුරෙන් දෙවෙනි නරකය ලෙස කාලසූත්‍ර නරකය නම් කෙරේ.මව්පියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු නොකරන පුද්ගලයෝද මව්පියන්ට වංචා කරන්නෝද මව්පියන්ට උපස්ථාන නොකරන්නෝද දරුණු මිත්‍යා දෘෂ්ඨිය ඇත්තෝද මෙම කාලසූත්‍ර නරකයෙහි උපදින්නෝ වෙති.

ඇතුළෙහි ගිනිදැල් වලින් පිරී ඇති කාලසූත්‍ර නරකයෙහි යමපල්ලන් විසින් කුළුගෙඩි වලින් තලමින් කෑලි කෑලි වලට කඩමින් නොයෙක් වඳ හිංසා කරති. එවිට මරණයට පත් වුවත් නැවත එහිම උපදී.

සඤ්ජීව නරකයේ සිට යොදුන් පහළොස්දහසක් යටින් කාලසූත්‍ර නරකය පිහිටා ඇත. මෙහි නිරය වර්ෂ දහසක් ආයුෂ වේ.

සඤ්ජීව නරකය

August 7th, 2011

බෞද්ධයා නාලිකාවේ අභිධර්ම නිම්තෙර වැඩ සටහන තුළින් දැන ගතිමි. අට මහ නරක අතරින් පළමු වෙනි නරකය සඤ්ජීව නරකය ලෙස නම් කර ඇත. කර්මයට අනුව තමයි පුනර්භවය තීරණය වෙන්නේ. ප්‍රාණඝාත අකුශල කර ගත් පුද්ගලයෝද සත්ත්ව හිංසා කළ අයද බල පුළුවන්කාර කම් පෙන්වමින් මිනිසුන්ට අඩම්තේට්ට්ම් කළ අයද යනාදී නොයෙක් අකුශල ක්‍රියාවන්හි යෙදුනු පුද්ගලයෝ උපදින්නේ මෙම සඤ්ජීව නරකයෙහිය.

ඇවිලී ගත් ගිනි ජාලයකින් සමන්විත සඤ්ජීව නරකයේ යමපල්ලන් විසින් නොයෙක් රත් වූ අවි ආයුධ වලින් කපමින් රහිමින් කුඩු කරමින් සම් පතුරු ගලවමින් වඳ දෙනු ලැබේ. මැරෙන වාර ගණන අනන්තයි. ඒත් එහිම නැවත නැවත උපදිනවා. උපදින වාර ගණනත් අනන්තයි.

පොළොවේ සිට යොදුන් පහළොස්දහසක් යටින් සඤ්ජීව නරකය පිහිටා ඇත. එහි ආයුෂ ප්‍රමානය නිරය වර්ෂ අවුරුදු පන්සියයකි.

අට මහ නරකය

August 6th, 2011

බෞද්ධයා නාලිකාවේ අභිධර්ම නිම්තෙර නැමති වැඩ සටහන මගින් දැන ගතිමි. සැපයෙන් බැහැර වූ දුක්ඛිතම ස්ථානයක් වූ නිරයන් 136 අතුරෙන් මහා නිරයන් අටක් ඇත. 1. සඤ්ජීව 2. කාල සූත්‍ර 3. සංඝාතය 4. රෞරවය 5. මහා රෞරවය 6. තාපනය 7. මහා තාපනය(ප්‍රතාපනය) 8. අවීචිය යනුවෙනි. මේ නරකයන් පොළොව ඇතුළෙහි එකිනෙකට යටින් පිහිටා ඇත. සම චතුරස්‍ර (හරි හතරැස්) ලෝහමය බිමත් බිත්තිත් උඩ ලෝහමය තහඩුවකිනුත් සමන්විතයි. නරකයේ ඇති ඉඩ ප්‍රමානය එක් එක් පැත්තට යොදුන් 100 බැගිනි.(දිග යොදුන් 100 පළල යොදුන් 100 උස යොදුන් 100) ලෝහමය තහඩුවේ ඝනකම යොදුන් 9කි.(බිමේ ලෝහමය තහඩුව බිත්ති වල ලෝහමය තහඩු  උඩ පියනේ ලෝහමය තහඩුව)

එක් එක් මහා නරකයට පිටතින් හතර පැත්තටම තවත් කුඩා නිරයන් 4 බැගින් ඇත. ඒවාට ඔසුපත් නරකයන් යයි කියනු ලැබේ. එවිට එක මහා නරකයකට ඔසුපත් නරක 16ක් ඇත. මහා නරක 8ක් ඇති නිසා ඔසුපත් නරක (16X8=128) 128 ක් ඇත. ( මහා නරක 8+ඔසුපත් නරක 128= නරකයන් 136)

පොළොවේ සිට යොදුන් 15000(පහළොස් දහසක්) යටින්  පළවෙනි නරකය පිහිටා ඇත. අනෙක් නරකයන්ද එකින් එකට යොදුන් 15000 බැගින් යටින් පිහිටා ඇත.
නිරයේ ආයුෂ වන්නේ, නිරයේ එක දවසක් =අපේ  අවුරුදු නව ලක්ෂයක්. නිරයේ දවස් 1=අපේ  අවුරුදු 900000) (නිරයේ මාස 1 = අපේ  අවුරුදු 30X900000) (නිරයේ  අවුරුදු 1 =අපේ  අවුරුදු 365X900000)
යොදුන ……?…?…මගේ මතකයේ හැටියට යොදුනකට  ගව් 4 කි. ගව්වකට සැතපුම් 4 කි. එවිට යොදුනකට සැතපුම් 16 කි.( යොදුන් 1 = සැතැපුම් 16 )

 

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin