නොදන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා……….!!!

January 29th, 2016

සමහර භික්ෂූන් වහන්සේලා ගැන ගිහි අපට දකින්නට අසන්නට ලැබෙන දේ ඔස්සේ සිතෙන දේවල් මෙසේ කණගාටුවෙන් වුවද ප්‍රකාශ කරමි.

අධ්‍යාපනය, හැසිරීම, වෘත්තීය ක්‍රියා, ධර්ම දේශනා, සම්මුතික ධර්මතා යන මාතෘකා යටතේ ඒවා වර්ග කළ හැකියි.

බුද්ධ පුත්‍රයන්වහන්සේලා, බුදුරජාණන්වහන්සේ අනුගමනය කරන්නේද යන්න ගැන ප්‍රශ්නකාරී සිතිවිලි ඇති වෙන තරමට භික්ෂු ශාසනය පිරිහෙන මාර්ගයට තල්ලු වෙමින් තල්ලු කරමින් සිටින බව හැඟේ.

බුදු දහමට අනුව සෑම දෙයකටම හේතු ඇත. අයහපත් හේතු සොයා ඒ අයහපත් හේතු ඉවත් කළොත් යහපතක්ම සිදු වේ.

භික්ෂු ශාසනය පිරිහෙන විට, ඊට වඩා වැඩි වේගයෙන් ගිහි පිරිසද පිරිහෙන්නේ, සූර්යයා බැස යන විට, අපි අකමැති වුවත්, අනාරාධිතවම අප කරා අඳුර පැමිණෙන්නා සේය.

1.අධ්‍යාපනය:-

පාලි භාෂාව සහ ත්‍රිපිටකය අනිවාර්‍යෙන්ම ඉගෙන ගැනීම.

ගිහි සිසුන්ගේ අධ්‍යාපන ආයතන තුළට පැවිදි සිසුන් ඇතුළත් නොකිරීම.

පැවිදි සිසුන් සඳහාම වෙන් වූ අධ්‍යාපන ආයතන පිහිටුවා, පැවිදි බවේ ගෞරවය රැකෙන ලෙසට අධ්‍යයන කටයුතු කර ගැනීමේ  පහසුකම් සැලසීම.

2. හැසිරීම:-

විනය පිටකයේ සඳහන් ආකාරයටම ක්‍රියා කිරීම.

3. වෘත්තීය ක්‍රියා:-

භික්ෂූන් වහන්සේලාගේ ගෞරවයට හානි වෙන සහ ගිහියන්ගේ දෝෂ දර්ශනයට ලක් වන වෘත්තීන් නොකිරීම.

උදා:- රියැදුරු, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ආදී දෑ බාර නොගැනීම.

4. ධර්ම දේශනා:-

ත්‍රිපිටකය හදාරා නොමැති භික්ෂූන්වහන්සේලා ධර්මය ලෙස තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් ගිහි පින්වතුන් නොමඟට යවන බැවින්, මනාව ත්‍රිපිටකය හැදෑරූ භික්ෂූන් වහන්සේලා ධර්ම දේශකයාණන් වහන්සේලා ලෙස නම් කිරීම.

5. සම්මුතික ධර්මතා:-

ගිහියන්ගේ සම්මුතික ධර්මයන්ට හානි වෙන පරිදි කටයුතු කිරීමට ඇති කරන පෙළඹවීම් සහ බලපෑම් නැවැත්වීම.

බබළන බුද්ධ ශාසනය තුළ පිරිහෙන භික්ෂු ශාසනයක් ඇති කිරීමට, කටයුතු කරන සමහර භික්ෂූන් වහන්සේලා එයින් මුදවා ගැනීමට හැකිවේවා.

පායාගෙන එන සඳට, උඩු බුරුලන බල්ලෝ

January 26th, 2016

ලස්සනට සඳ පායා ගෙන එන  විට, බල්ලෝ උඩු බුරුලන්නේ ඇයි කියා සිතුවෙමි.

ලස්සන සඳ බිමට වට්ටගන්නද?

සඳට කිසිම ගානක්වත් නැත.

සඳ, සඳ ගමන යයි. එය කවමදාවත් බල්ලන්ගේ උඩු බිරුලමට බයේ බිමට නොවැටේ.

උඩු බුරුලපු බල්ලන්ටම ඇති වී, නිහඬ වෙති.

සඳට අයිති වෙලාවට සඳ පායා අහසේ බැබළෙයි.

උඩු බුරුලන බල්ලෝ පොළොවෙයි. සඳ අහසෙයි. කෙසේ නම් මේ දෙක එක් කළ හැකිද?

සඳට යන්න පුළුවන් අයත්, උඩු බුරුලන වල් බල්ලෝ සඳට එක්ක යන්න සූදානම් නැත. එය නිෂ්ඵල  වැඩක් බව උඩු බුරුලන බල්ලන්ට වඩා, සඳට යන්න පුළුවන් අය දන්නා බැවිනි.

ලංකාවේ දක්ෂතා ඇති සෑම දරුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දීමට තරම් හැකියාවක් ලක් රජයට නොමැති නිසා, පින් ඇති දක්ෂ දරුවෝ උසස් අධ්‍යාපනය පිටරට හෝ ගොස් ලබා ගනී. පිටරට යන දරුවෝ  තම දැණුමෙන් සේවය ලබා දීමට නැවත ලංකාවට පැමිණෙන්නේ ඉතාමත් අඩු පිරිසකි.

දිස්ත්‍රික් ක්‍රමයට ළමුන් ගැනීම නිසා, දුෂ්කර දිස්ත්‍රික් වලින් එන ළමුන්ට වඩා වැඩි ලකුණු තිබෙන පහසු ප්‍රදේශ වල ළමුන්ට අවස්ථාව නැති වී ඇත. රජයට උසස් අධ්‍යාපනය දක්ෂතා ඇති  සෑම ළමයෙකුටම  ලබා දීමට නොහැකිතාවය මිසක් ළමුන්ගේ අදක්ෂතාවක් නොමැත.

ජාත්‍යන්තර පාසල් වලින් ඉගෙනුම ලබා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට, අදහස් කරන ළමුන් වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ගය කුමක්ද? ඒ ළමුන් මව් භාෂාවට අමතරව ජාත්‍යන්තර භාෂාවද මනාකොට හසුරුවමින්, වැඩි දැණුමක්ද ඇතිව සිටින පිරිසකි. මෙම ළමුන් පිරිස දිගින් දිගටම නොසළකා හැර, ඔවුන් ජාත්‍යාන්තරයටම  සින්න වෙන්න හරිනවද? නැත්නම් අපේ රටේ නතර කර ගැනීමේ ක්‍රමයක් සකස් කරනවාද?

රජයට හැම දෙයක්ම කළ නොහැකියි. ඒ නිසා මෙම ප්‍රශ්නයට පෞද්ගලික අංශයේ උදව් ලබා ගෙන, පෞද්ගලික විශ්ව විද්‍යාල බහුල ලෙස දැමීමට අවස්ථාව ලබා දී, අපේ ළමුන් අපේ රටට සේවය කරන පිරිසක් බවට පත් කරමු.

එවිට වක්‍රාකාරව දැනට සිදු වී ඇති, තනි වූ වැඩි හිටියන් බලා ගැනීමේ ප්‍රශ්නයටද පිළිතුරක් ලැබෙනු ඇත.

රජයේ අධීක්ෂණය යටතේ, පෞද්ගලික විශ්වවිද්‍යාල තබා ගැනීමෙන් අප රටට කිසිම ආකාරයේ වරදක් සිදු නොවීමටද  කටයුතු කළ හැකි වේ.

පෞද්ගලික විශ්ව විද්‍යාල වලටද රජය උදව් කළ යුතුයි. ඒවායේ ඉගෙනුම ලබන්නේද අපේම දරුවන් බැවිනි. අපේම දරුවන් නොවුනත්, ඉගෙනුම ලබන ඕනෑම දරුවෙකුට උදව් කිරීමේ මානසික ශක්තිය ඇති වෙන විදියට පාසල් අධයාපනයෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයෙන් ළමුන්ගේ සිත් සකස් කිරීමටද කටයුතු කළ යුතුයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ළමුන්ට, ප්‍රායෝගික පුහුණුව සඳහා රජයේ රෝහල් ලබා දීම වඩා වැඩදායී සහ යහපතක්ම සිදු වන දෙයකි.

නැතිනම් ඔවුන් මෙහිදී අධ්‍යාපනය ලබා ගෙන ප්‍රායෝගික පුහුණුවට ඉඩ නොදුන්නොත්, ඔවුන්ද පිටරටට තල්ලු කිරීමකි.  ප්‍රායෝගික පුහුණුව රජයේ රෝහල් වලින් ලබා දීමේදී, ඔවුන්ගේ දක්ෂතා අනෙක් අයට ලබා ගැනීමට හැකි වෙන අතරම ඔවුන් නොදන්නා දෙය දැන ගැනීමෙන් කවදා හෝ මහජනතාවට හොඳ සේවයක් ලබා ගත හැකියි.

වෛද්‍යවරුන්ගේ හිඟයක් අප රට තුළ ඇති අවස්ථාවේ, පෞද්ගලික අංශයෙන් කළ මෙම කටයුත්තට උදව් කර,  යහපත් සහ හිඟයකින් තොරව වෛද්‍ය සේවය මහජනතාවට ලබා දීම සඳහා  කටයුතු කිරීමට සැමගේම ආශිර්වාදය ලැබේවා.

 

 

 

 

අනාගතයේ තීරකයා …….?

January 25th, 2016

අධ්‍යාපනයේ වැදගත්ම ස්ථානය පෙර පාසල් විය වේ.

අවාසනාවකට පෙර පාසල් විය ගැන කිසිවෙකුගේවත් අවධානාත්මකම සැළකිල්ලට භාජනය වී නැත.

නිවැරැදි ආකල්ප ඇති කිරීම සඳහා පෙර පාසල් වියත්, පාසල තුළට ගෙන විධිමත්ව කළහොත් අධ්‍යාපන ආයෝජනයේ ප්‍රතිඵල සාර්ථක වන බව සිතේ.

ප්‍රාථමික පාසල් අධ්‍යාපනයේදී ගණිත විෂය ගැන දක්වන ක්‍රමය වැරදි යැයි සිතේ.

ඉංග්‍රීසි විෂය සඳහා ප්‍රාථමික ගුරුවරයා නොයොදවා ඉංග්‍රීසි සඳහාම සුවිශේෂී ගුරුවරු යෙදුවත්, ගණිතය වැනි අති සුවිශේෂී වූ විෂය උගන්වන්නේ ප්‍රාථමික ගුරුවරයාමයි. ඒ මගින් ළමුන්ට නිවැරැදි ගණිත සංකල්ප නොලැබෙන නිසා, ගණිත විෂය ළමුන්ට අමාරු විෂයක් ලෙස නම් කරනු ලැබ ඇත.

බොහෝ විට නිවැරැදි ගණිත සංකල්ප මූලිකවම නොලැබීම නිසා ඉහල ශ්‍රේණි වලදී උගන්වන ගුරුවරයාටද මහත් වෙහෙසක් දරන්නට සිදු වුවත්, ලැබෙන ප්‍රතිඵලය අඩු එකකි. එයට ළමුන්ගේ ගණිත විෂය පිළිබඳව ඇති මුල් බැස ගත් නොසතුටේ ආකල්පයද බලපායි.

ප්‍රාථමික පන්ති වලට ගණිත විෂය ඉගැන්වීම සඳහා, ගණිතය සඳහාම සුවිශේෂී වූ ගුරුවරු යොදා ගත යුතුයි යනු මගේ අදහසයි.

ද්විතීයික අධ්‍යාපනය ලබන විටද ගණිතය වැනි සුවිශේෂී විෂය සඳහා ළමුන්ගේ අවධානය සතුටෙන් ලබා ගැනීම සඳහා මෙසේ යෝජනාවක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.

සංගීතය, නැටුම්, චිත්‍ර වැනි විෂයන් උගන්වන ගුරුවරුන් සඳහා ඒ වෙනුවෙන්ම වෙන් වූ පන්ති කාමර තිබෙන ආකාරයට ගණිත ගුරුවරුන් සඳහාද වෙනම ගණිත කාමර සකස් කළ යුතුයි යන්න මගේ අදහසයි. එහිදී එම ගණිත පන්ති කාමරය, ගණිතාගාරයක් ලෙස ගණිත සංකල්ප වර්ධනයට අවශ්‍ය දෑ වලින් පරිපූර්ණව සකස් කර ගැනීම සඳහා, රජය, මව්පියන්, ගුරුවරු, සුභපතන්නන් යන සැමගේම සහයෝගයද ලබා ගත යුතු වේ. ළමයාට ගණිත ගුරුවරයා ගණිතාගාරයේදී හැකි සෑම අව්ස්ථාවකදීම හමු වී ගැටළු විසදා ගත හැකි පහසුකමද නිරන්තරයෙන්ම  එවිට ලැබෙයි. ආකර්ශණීය ගණිතාගාරයට සතුටින් පිවිසෙන ළමයා වැඩි කලක් ගත වීමට ප්‍රථම සෞන්දර්ය විෂය හා සමානවම ප්‍රිය කරන සහ පහසු විෂයක් ලෙස ගණිත විෂයද පිළි ගනී.

අධ්‍යාපනය, වමාරන ක්‍රමයක් ලෙස පාසල් වාර විභාග ක්‍රමය මට හැඟේ. ළමුන් පීඩනයට පත් කරන වාර විභාග ඉවත් කර, ඒ වෙනුවට ළමුන්ගේ දැණුම සහ දක්ෂතා මැන බැලීමේ ක්‍රමයක් සකස් කළයුතුයි. අධ්‍යාපනයෙන් ලබා ගන්නා දැනුමෙන්, ළමුන්ට නිදහසේ නව නිපැයුම් සකස් කිරීමට පෙළඹවීම සහ ඒ සඳහා ප්‍රසාද ලකුණක් දීම යන්න මම යෝජනා කරන්නට කැමැත්තෙමි. නව නිපැයුම භාණ්ඩයක්ම විය යුතු නොවේ. එය ප්‍රහේලිකාවක්, කවියක්, නිසදැසක්, සිංදුවක්, පොත් පිංචක්, චිත්‍රයක්, රූප රාමුවක් ආදී කුමන හෝ දෙයක් විය හැකියි. එවිට අපේ දරුවන්ගේ සිතීමේ ශක්තිය වැඩි වී රටට වැඩදායී දේ සකස් කරන අනාගත පරපුරක් බිහිවේවි. ( වාර විභාග ක්‍රමයෙන් සිදු වෙන්නේ දැඩි පීඩනයක් මිස වෙනත් කිසිදු ප්‍රයෝජනයක් නොවේ. පන්තියේ ප්‍රථම ස්ථානය ගත්තත් අන්තිම ස්ථානය ගත්තත් ළමයා අනිවාර්‍යෙන්ම ඉහල ශ්‍රේණියට දැමිය යුතු බැවින්, වාර විභාග පැවැත්වීම කාලය සහ සම්පත් නාස්ති කිරීමකි. දෙමාපියන්ගේ මානසික සුවය සඳහා අව්ශ්‍යනම් විෂය භාර ගුරුවරුන් විසින්ම පන්තිය තුලදී වර්ෂය අවසානයේ ඇගයීමක් කර, ලකුණු ලබා දීමක්ද කල හැකියි.)

අධ්‍යයන  පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ළමුන් විවිධ පැතිකඩ වලට තේරීමේ විභාගයක් ලෙස නම් කොට, එම විභාගයෙන් පසු සෑම ළමයෙක්ම උසස් පෙල සඳහා යොමු කල යුතුයි. වඩු වැඩ, මේසන් වැඩ, කාර්මික වැඩ, ජලනල එලීම, ගෘහ විදුලි පරිපථ සකස් කිරීම, මැහුම්, ගෙතුම්, රෙදි විවීම, ගෘහ විද්‍යාව, විදුලි උපකණ භාවිතය ආදී නොයෙක් පැතිකඩ වලටද විෂයයන් සකස් කර, ඒ සඳහා ගුරුවරුන්ද පුහුණු කර, සෑම ළමයෙක්ම උසස් පෙලටද යොමු කරන්න. උසස් පෙලින් පසුවද විශ්ව විද්‍යාලයකට යාමට කැමැති සිසුන් සඳහා, උසස් පෙලට ඉගෙනගත් දෙයට ගැලපෙන සේ නව උපාධි  පාඨමාලා සකස් කර බාහිරව හෝ ඉගෙන ගැනීමට ඉඩ සලසා දිය යුතුයි යනු මගේ අදහසයි. බාහිර උපාධි සඳහා ද මුදල් අය නොකල යුතුයි. වෘත්තීය අධ්‍යාපනය සඳහාද උපාධි පිරිනැමීම තුළින්, ඔවුන්ගේ මානසික අසහනය දුරු වී, සෑම රැකියාවක්ම වැදගත් යන සංකල්පය ඇතුළු වූ විට, නිරන්තරයෙන්ම ඔවුන් විසින්ම ස්වයංරැකියා වලට පෙළඹී ආර්ථික ශක්තිය ඇති කර ගනි. එවිට තාරුණ්‍යයට හෙටක් කිසිවෙක් ලබා දිය යුතු නැත. තාරුණ්‍යය විසින්ම තමන්ගේ හෙට දවස සකස් කර ගනී.  එයයි සිදු විය යුතු වන්නේ යැයි මගේ අදහසයි.

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin