අනේ මෙහෙම තණ්හාවක්..!

January 6th, 2018

X:-   මගේ දුකට හේතුව තණ්හාව බව බොහෝ දෙනා කියන නිසා,  මට ඔබව ඉවත් කරන්නට උවමනායි.

තණ්හාව:-   මාව ඉවත් කරන්නට වෙහෙසුනාට වැඩක් නැහැ.

වේදනාව හේතුවෙන් තමයි මගේ ඇතිවීම.

වේදනාව නොමැතිනම් මමත් නොමැත.

X:-   වේදනාව මට ඔබව ඉවත් කරන්නට උවමනායි.

වේදනාව හේතුවෙන් තණ්හාව ඇති වෙන බව කියන නිසා.

වේදනාව:-   මාව ඉවත් කරන්නට වෙහෙසෙන්න එපා. එය කල නොහැකියි.

ඵස්සය හේතු කොටගෙනයි මගේ ඇතිවීම.

ඵස්සය නොමැතිනම් මමත් නැත.

X:-   ඵස්සය මට ඔබව ඉවත් කරන්නට උවමනායි.

ඵස්සය හේතුවෙන් වේදනාව ඇති වෙන බව කියන නිසාවෙන්.

ඵස්සය:-  මාව ඉවත් කල නොහැකියි.

ෂඩායතනයන්ගේ හේතුවෙන් තමයි මගේ ඇතිවීම.

ෂඩායතනයන්  නොමැතිනම් මමත් නොමැත.

X:-   ෂඩායතන මට ඔබලා ඉවත් කරන්නට උවමනායි.

ෂඩායතනයන්ගේ හේතුවෙන් ඵස්සය ඇති වෙන බව කියන නිසා.

ෂඩායතනයන්:-   අපව ඉවත් කල නොහැකියි.

නාම රූප හේතු කොට ගෙන අපේ ඇති වීම සිදු වෙන්නේ.

නාම රූප නොමැතිනම් අපද නැත.

X:-   නාම රූප මට ඔබ ඉවත් කරන්නට උවමනායි.

නාම රූප හේතුවෙන් ෂඩායතනයන් ඇති වෙන බව කියන බැවින්.

නාම රූප:-   මාව ඉවත් කිරීමට නොහැකියි.

විඤ්ඤාණය හේතුවෙන් මගේ ඇතිවීම සිදු වෙන්නේ.

විඤ්ඤාණය නොමැති නම මමද නොමැත.

X:-   විඤ්ඤාණය මට ඔබව ඉවත් කරන්නට උවමනායි.

විඤ්ඤාණය හේතුවෙන් නාම රූප ඇතිවෙන බව කියන නිසා.

විඤ්ඤාණය:-   මාව ඉවත් කරන්නට නොහැකියි.

සංස්කාරයන්ගේ හේතුවෙන් තමයි මගේ ඇතිවීම සිදු වෙන්නේ.

සංස්කාරයන් නැති නම් මමද නැත.

X:-   සංස්කාර මට ඔබව ඉවත් කරන්නට උවමනායි.

සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය ඇති වෙන බව කියන නිසා.

සංස්කාර:-   මාව ඉවත් කරන්නට වෙහෙසෙන්න එපා. එය කල නොහැකියි.

අවිද්‍යාව හේතුවෙන්  මගේ ඇතිවීම සිදු වෙන බැවින්.

අවිද්‍යාව නොමැතිනම් මමද නැත.

X:-  අවිද්‍යාව මට ඔබව ඉවත් කරන්නට උවමනායි.

අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වෙන බව කියන නිසා.

අවිද්‍යාව:-   ඔව්, ඔබට මාව ඉවත් කළ හැකියි.

ඔබ යෝනිසෝ  මනසිකාරයෙන් සැම විටම කටයුතු කරන්න.

එවිට ඔබට ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළුවනි.

කෙටියෙන්ම කියනවනම් සතර සතිපට්ඨානය වඩන්න.

එවිට  දුකට හේතුව වන තණ්හාව දුරු වී,  ඔබට අවශ්‍යය දෙය සිදු වේවි.

කිසි විටෙක කිසිවක් ඉවත් කල නොහැකියි. කිසි විටෙක කිසිවක් ලබාගතද නොහැකියි. කල යුතු දෙය කරන විට, ඉවත් වීම සිදු වේ. ලැබීමද සිදු වේ.

එයින් අදහස් කලේ තණ්හාව ඉවත් කරන්නට යෑම කල නොහැකි දෙයක් සහ එය ඉවත් කිරීම සඳහා කලයුතු දෙය පමණක් කිරීමයි.

තණ්හාව ඉවත් කළ නොහැකි සේම නිවනද ලබාගත නොහැකියි.

යායුතු මඟ හෙවත් කලයුතු දෙය කරන විට, තණ්හාව දුරු වේ. නිවනද ලැබේ.

ඉවත් වීමක් සහ ලැබීමක් මිස ඉවත් කිරීමක් හෝ ලබා ගැනීමක් ගැන නොසිතිය යුතුයි.

සරල පැහැදිලි කිරීමක් ලෙස මසිතට මෙසේ හැඟුණු  දෙය පහතින් දක්වමි.

බැක්ටීරීයාවක් හේතුවෙන් සෑදුණු රෝගයක් ගැන  සිතමු.

අපි රෝගය හඳුනා ගෙන එයට හේතුව බැක්ටීරීයාවක් බවද දැන ගත්තා යැයි සිතමු.

අපිට බැක්ටීරියාව ඉවත් කල හැකිද? අපි එසේ කරන්නට සුදානම් වෙනවාද?

අපි කරන්නේ එම බැක්ටීරියාවේ වර්ධනය නැති කිරීමටත් නැවැත අළුතෙන් ඇති නොවීමටත් වග බලා ගැනීම නේද?

ඖෂධ භාවිතය ඇතුළු කල යුතු දේ කරනවා මිසක් බැක්ටීරියාව ඉවත් කරන්නට නොහැකි බවද අපි දනිමු.

කලයුතු දෙය කරන විට බැක්ටීරියාව ඉවත් වීමද සුවය ලැබීමද සිදු වෙන්නක් මිස සිදු කරන දෙයක් නොවෙයි නේද?

 

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin