සම්මා දිට්ඨි සූත්‍රය

January 31st, 2013

සම්මා දිට්ඨි සූත්‍රය ගැන  මගේ අධික කැමැත්ත සහ ඒ පිළිබඳව සෙවීමේ කැමැත්ත ඇති වූයේ බෞද්ධයා රූපවාහිනී  නාලිකාවෙන් ප්‍රචාරය වූ  ධර්ම දේශනා වලට සවන් දුන් බැවිනි.

සම්මා දිට්ඨි සූත්‍රය මෙසේ ලියා තැබීමට හිතුවේ, පසු කලෙකදී මගේ මතකය නැවැත අලුත් කර ගැනීමටත්, පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන්වහන්සේලාටද, බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ස්වාමින්වහන්සේ ඇතුළු සියල්ලන්ටමද උපහාර වශයෙනි.

 

සම්මා දිට්ඨි සූත්‍රය

January 31st, 2013

සම්මා දිට්ඨි සූත්‍රය  දේශනා කළ ස්ථානය:  සැවැත්නුවර අනාථපිණ්ඩික සිටුහුගේ  ජේතවනාරාමයේදී,

සම්මා දිට්ඨි සූත්‍රය දේශනා කළේ:   ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේ, විසිනි.

සම්මා දිට්ඨි සූත්‍රය  භික්ෂූන්  වහන්සේලා උදෙසා දේශනා කරන ලදී.

වාර  16 ක් යටතේ සම්මා දිට්ඨි සූත්‍රය දේශනා කොට ඇත.

1. කම්ම පථ වාරය.

2. ආහාර වාරය.

3.සච්ච වාරය.

4.ජරා මරණ වාරය.

5. ජාති වාරය.

6. භව වාරය.

7. උපාදාන වාරය.

8. තණ්හා වාරය.

9. වේදනා වාරය.

10. ඵස්ස වාරය.

11. සළායතන වාරය.

12. නාම රූප වාරය.

13. විඤ්ඤාණ වාරය.

14. සංඛාර වාරය.

15. අවිජ්ජා වාරය.

16. ආසව වාරය.

සම්මා දිට්ඨි සූත්‍රය අසා සතුටු වූ භික්ෂූන් වහන්සේලා, ශාරිපුත්‍ර මහරහතන්වහන්සේගේ දේශනාව මැනැවැයි  පිළිගත්හ.

දුක්ඛං , ජරාමරණං, උපාදානං, සළායතනං, නාමරූපං, විඤ්ඤාණං, යන පද හයෙහි  “කතමං පනාවුසෝ” යි පවසන වචනය වෙයි.

ජාති, තණ්හා, වේදනා, අවිජ්ජා, විසින් චතුෂ්ක්‍රම වූ පද හතරෙහි ” කතමා පනාවුසෝ ” යි පවසන වචනය වෙයි.

ආහාරෝ, භවෝ, ඵස්සෝ, සංඛාරෝ, පස්වන ආසවෝ, යන පද පසෙහි ” කතමො පනාවුසො” යි පවසන වචනය වෙයි.

” කතමං” යි කියූ පද සය වැදෑරුම්‍ ය.   ” කතමා” කියූ පද සිවු වැදෑරුම් ය.   ” කතමො” කියූ පද පස් වැදෑරුම් ය.  සියලු සංඛ්‍යාවන්ගේ පදයෝ පසළොස් දෙනෙකි.   යි භාණක තෙරුන්ගේ උද්දාන ගාථා වේ.

මජ්ජිම නිකාය – මූල පරියාය වග්ගය – සම්මා දිට්ඨි සූත්‍රය

January 31st, 2013

එක්  කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථපිණ්ඩික සිටුහුගේ ජේතවනාරාමයෙහි, වැඩ වාසය කරන සේක.

එකල්හි ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේ විසින් භික්ෂූන්ට දේශනා කරන ලද සූත්‍රයකි.

ශාරිපුත්‍රයන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ ප්‍රශ්න කළේය.

සම්මා දිට්ඨි සම්මාදිට්ඨි කියනු ලැබුවද, ආර්ය ශ්‍රාවක තෙමේ කොපමණකින් සම්මා දෘෂ්ටික වේද?

ඔහුගේ දෘෂ්ටිය සෘජු වේද?

ධර්මයෙහි ගුණ දැන පැහැදෙයිද?

මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වේද?

භික්ෂූන්වහන්සේලා සැරියුත් මහරහතන් වහන්සේගෙන්ම පිළිතුරු බලාපොරොත්තු වෙන බව කීවෝය.

එවිට, සැරියුත් මහරහතන්වහන්සේ මෙසේ දේශනා කළ සේක.

හොඳින් අසා ගන්න.  හොඳින් සිතේ තබා ගන්න.  මම කියන්නෙමියි වදාළහ.

භික්ෂූන්වහන්සේලා එහෙමයි කියා පිළිතුරු දීමෙන් පසු සැරියුත් මහරහතන්වහන්සේ විසින් මෙම සම්මා දිට්ඨි සූත්‍රය දේශනාකරන ලදී.

සම්මා දිට්ඨි සූත්‍රය – කම්මපථ වාරය

January 28th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලයත් දනීද, අකුසල මූලයත් දනීද, කුසලයත් දනීද, කුසල මූලයත් දනීද,  මෙපමණකින් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

අකුසලය කවරේද?  අකුසල මූලය කවරේද?  කුසලය කවරේද?  කුසල මූලය කවරේද?

1. ප්‍රාණඝාතය අකුසලයකි.

2. අදත්තාදානය  අකුසලයකි.

3. මිත්‍යාචාරය අකුසලයකි.

4. මුසාවාදය අකුසලයකි.

5. පිසුණවචනය අකුසලයකි.(කේලම් කීම)

6. ඵරුසවචනය අකුසලයකි.

7. සම්ඵප්පලාපය අකුසලයකි.(හිස් වචන කීම)

8. අභිධ්‍යාව අකුසලයකි.(දැඩි ලෝභය)

9. ව්‍යාපාදය අකුසලයකි.

10. මිථ්‍යාදෘෂ්ටිය අකුසලයකි.   මේවාට අකුසලය යයි කියනු ලැබේ.

1. ලෝභය අකුසල මූලයකි.

2. ද්වේෂය අකුසල මූලයකි.

3. මෝහය අකුසල මූලයකි.   මේවාට අකුසල මූලය යයි කියනු ලැබේ.

1. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලයකි.

2. අදත්තාදානයෙන් වෙන්වීම කුසලයකි.

3. කාම මිථ්‍යාචාරයෙන් වෙන්වීම කුසලයකි.

4. මුසාවාදයෙන් වෙන්වීම කුසලයකි.

5. පිසුණවචනයෙන් වෙන්වීම කුසලයකි.

6. ඵරුසවචනයෙන් වෙන්වීම කුසලයකි.

7. සම්ඵප්පලාපයෙන් වෙන්වීම කුසලයකි.

8. අනභිධ්‍යාව කුසලයකි.

9. අව්‍යාපාදය කුසලයකි.

10. සම්‍යක් දෘෂ්ටිය කුසලයකි.   මේවාට කුසල යයි කියනු ලැබේ.

1. අලෝභය කුසලමූලයකි.

2. අද්වේෂය කුසලමූලයකි.

3. අමෝහය කුසල මූලයකි.  මේවාට කුසලමූලය යයි කියනු ලැබේ.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය දනීද, අකුසලමූලය දනීද, කුසලය දනීද, කුසලමූලය දනීද, හෙතෙමෙ සර්වප්‍රකාරයෙන්ම රාඝානුශය නැති කොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අසමි” “මම” යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි.

මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි.  නිර්වාණ  ධර්මයට පැමිණියේ වෙයි.

සම්මා දිට්ඨි සූත්‍රය – ආහාර වාරය

January 27th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ආහාරයත් දනීද,  ආහාර සමුදයත් දනීද,  ආහාර නිරෝධයත් දනීද, ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුදු සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

ආහාරය කවරේද?  ආහාර සමුදය කවරේද?   ආහාර නිරෝධය කවරේද?  ආහාර නිරෝධගාමිනී පටිපදාව කවරේද?

උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද, අණ්ඩජ ජලාබුජ හි සිටින එහෙයින්ම උත්පත්තිය සොයන සතුන්ට අනුග්‍රහය පිණිසද, පවතින ආහාරයෝ සතරකි.

1. ඕළාරික වූද, සියුම් වූද, කබලින්කාර ආහාරය (කෑමට බීමට ගන්නා දෙය),

2. ඵස්ස ආහාරය,

3. මනෝසංචේතනා ආහාරය,

4. විඤ්ඤාණ ආහාරය,

තෘෂ්ණාව හට ගැනීමෙන් ආහාරයන්ගේ හට ගැනීම වෙයි.

තෘෂ්ණා නිරෝධයෙන් ආහාර නිරෝධය වෙයි.

මේ අරි අටඟි මගම ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.

එනම්: 1. සම්මා දිට්ඨි   2. සම්මා සංකප්ප   3. සම්මා වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6.සම්මා වායාම   7. සම්මා සති   8. සම්මා සමාධි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ආහාරය දනීද, ආහාරසමුදය දනීද, ආහාර නිරෝධය දනීද, ආහාර නිරෝධයට පමුණුවන පිළිවෙත දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය හැර ප්‍රතිඝානුශය දුරු කොට, “අසමි” යන දෘෂ්ටිය හා සම වූ මනානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි.

මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක  තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි  අචල වූ  පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

සම්මා දිට්ඨි සූත්‍රය – සච්ච වාරය

January 27th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ දුකත් දනීද, දුක හට ගැනීමේ හේතුවත් දනීද, දුක නැසීමත් දනීද, දුක නැසීමේ පිළිවෙතත් දනීද, මෙතෙකිනුදු සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

දුක කවරේද?  දුක හට ගැනීමේ හේතුව කවරේද?   දුක් නැසීම කවරේද?  දුක් නැසීමේ පිළිවෙත කවරේද?

1. ඉපදීම,

2. දිරීම,

3. ව්‍යාධිය,

4. මරණය,

5. ශෝකය,

6. වැලපීම,

7. කයෙහි දුක,

8. හිතෙහි දුක,

9. දැඩි චිත්ත දුක්ඛයෙන් වූ ප්‍රතිඝය,

10. කැමති දේ නොලැබීම,

11. සැකෙවින් උපාදානස්කන්ධ පහම දුකය.

දුක් හට ගැනීමේ හේතුව,

1. පුනර්භවය කරණසුළු නන්දිරාග වූ ඒ ඒ භවයෙහි හෝ අරමුණෙහි හෝ තණ්හාවක් වේද, කාමාස්වාද තෘෂ්ණා,

2. භව ( ශාශ්වත දෘෂ්ටි සහගත)  තෘෂ්ණා,

3. විභව ( උච්ඡේද දෘෂ්ටි සහගත ) තෘෂ්ණා,   යන මේ තුන් ආකාර තෘෂ්ණාවයි.

ආර්ය මාර්ගයෙන් ඒ තෘෂ්ණාවන්ගේ  ප්‍රහාණයක්,  හැරලීමක්,  දුරලීමක්,  මිදීමක්,  නොඇල්මක්,  වේද මෙය දුක්ඛ නිරෝධය යයි  කියනු ලැබේ.

දුක්ඛ නිරෝධගාමිනීපටිපදා ව,

1. සම්‍යක් දෘෂ්ටි,

2. සම්‍යක් සංකල්ප,

3. සම්‍යක් වචන,

4. සම්‍යක් කර්මාන්ත,

5. සම්‍යක් ආජීව,

6. සම්‍යක් ව්‍යායාම,

7. සම්‍යක් ස්මෘති,

8. සම්‍යක් සමාධි.     යන මේ අරි අටඟි මඟම දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ දුක දනීද, දුක්  හට ගැනීමේ හේතුව දනීද, දුක් නැසීම දනීද, දුක් නැසීමට පමුණුවන පිළිවෙත දනීද,  හෙතෙම සර්ව්ප්‍රකාරයෙන් ම රාගානුශය පහ කොට, ප්‍රතිඝානුශය දුරැර, “අසමි” දෘෂ්ටිය හා සදෘශ වූ මානානුශය මුලිනුපුටා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම  දුක් කෙළවර කරන්නෙක් වෙයි.

මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

 

 

 

සම්මා දිට්ඨි සූත්‍රය – ජරා මරණ වාරය

January 24th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ජරා මරණ දනීද, ජරා මරණ හට ගන්නා හේතුවත් දනීද, ජරා මරණ නිරෝධයත් දනීද, ජරා මරණ නැති කිරීමේ පිළිවෙතත් දනීද, මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මෙයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

ජරා මරණ කවරේද?   ජරා මරණ සමුදය කවරේද?   ජරා මරණ නිරෝධය කවරේද?   ජරා මරණ නිරෝධ ප්‍රතිපදාව කවරේද?

ඒ ඒ සත්වනිකායන්හි,

යම් දිරීමක්,

දිරන බවෙක්,

කෙස් පැහුණු බවක්,

හම රැලි වැටුණු බවක්,

ආයුෂ පිරිහීමක්,

ඉන්ද්‍රියන්ගේ මේරීමක්,   වෙයිද එය ජරාවයි.

ඒ ඒ සත්වනිකායන්ගෙන් ඒ ඒ සත්වයන්ගේ,

චුත වීමක්,

චුත වන බවක්,

භේදයෙක්,

අතුරුදන් වීමක්,

මරණයෙක්,

කාලක්‍රියාවෙක්,

ස්කන්ධයන්ගේ බිඳුමෙක්,

ශරීරය බහා තැබීමෙක්,   වේද  එය මරණය යයි කියනු ලැබේ.

මෙසේ මේ ජරාවත් මේ මරණයත් දෙක ජරාමරණ යයි කියනු ලැබේ.

ඉපදීම හේතුවෙන් ජරා මරණ ඇති වේ.

ඉපදීම නැසීමෙන් ජරා මරණ නැති වේ.

මේ අරි අටඟි මඟම ජරා මරණ නැසීමට පමුණුවන පිළිවෙත වෙයි.

එනම්: 1. සම්මා දිට්ඨි   2. සම්මා සංකප්ප   3. සම්මා වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6. සම්මා වායාම   7. සම්මා සති   8. සම්මා සමාධි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ජරාමරණ දනීද, ජරාමරණ සමුදය දනීද, ජරාමරණ නැසීමත් දනීද, ජරාමරණ නැසීමට පමුණුවන පිළිවෙතත් දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය පහකොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අසමි” “මම” යන බඳු වූ මානානුශය නසා, අවිද්‍යාව හැර විද්‍යාව උපදවා, මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි.

මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

 

 

සම්මා දිට්ඨි සූත්‍රය – ජාති වාරය

January 21st, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ඉපදීම දනීද, ඉපදීමේ හේතුවත් දනීද, ඉපදීමේ නිරෝධයත් දනීද, ඉපදීම නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

උත්පත්තිය කවරේද?  උත්පත්ති හේතු කවරේද?  උත්පත්ති නිරෝධය කවරේද? උත්පත්ති නිරෝධයට පමුණුවන ප්‍රතිපදාව කවරේද?

ඒ ඒ සත්වනිකායන්හි ඒ ඒ සත්වයන්ගේ,

යම් අසම්පූර්ණායත වශයෙන් ඉපදීමක්,

පරිපූර්ණායතන වශයෙන් මනා සේ ඉපදීමක්,

පිළිසිඳ ගැනීමක්,

සංසේදජ,

ඕපපාතික,   වශයෙන් ඉපදීමක්,

ස්කන්ධයන්ගේ පහළ වීමක්,

ආයතනයන්ගේ ලැබීමක් වේද,

මේ උත්පත්තිය යයි කියනු ලැබේ.

(කර්ම) භව හේතුවෙන් ජාතිය වෙයි.

භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි.

මේ අරි අටගි මඟම ජාති නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවයි.

එනම්: 1.සම්මා දිට්ඨි   2. සම්මා සංකප්ප   3. සම්මා වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6. සම්මා වායාම   7. සම්මා සති   8. සම්මා සමාධි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ජාතිය දනීද, ජාති සමුදය දනීද, ජාති නිරෝධය දනීද, ජාති නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය දුරු කොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අසමි” “මම” යන බඳු වූ මානානුශය දුරු කොට, අවිද්‍යාව නසා විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මෙතෙකින්ම ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

 

 

 

සම්මා දිට්ඨි සූත්‍රය – භව වාරය

January 21st, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ භවයන් දනීද, භව සමුදයත් දනීද, භව නිරෝධයත් දනීද, භව නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

භවය කවරේද?  භව සමුදය කවරේද?  භව නිරෝධය කවරේද?  භව නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?

1. කාම භවය

2. රූප භවය

3. අරූප භවය   යයි තිදෙනෙකි.

උපාදාන හේතුවෙන් භව සමුදය වෙයි.

උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි.

මේ අරි අටඟි මඟම භව නිරෝධගාමිනී ප්‍රතිපදාවයි.

එනම්: 1. සම්මා දිට්ඨි   2. සම්මා සංකප්ප   3. සම්මා වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6. සම්මා වායාම   7. සම්මා සති   8. සම්මා සමාධි.

ආර්ය ශ්‍රාවක තෙමේ යම් කලෙක පටන් මෙසේ භවය දනීද, භව සමුදය දනීද, භව නිරෝධය දනීද, භව නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද,  හෙතෙම හැම ලෙසින්ම රාගානුශය පහ කොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අසමි” “මම” යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා මේ ජීවිතයේදීම දුක් කෙලවර කරන්නෙක් වෙයි. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

සම්මා දිට්ඨි සූත්‍රය – උපාදාන වාරය

January 17th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ උපාදානයත් දනීද, උපාදාන සමුදයත් දනීද, උපාදාන නිරෝධයත් දනීද, උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද,  මෙතෙකින්ද  ආර්ය ශ්‍රාවක තෙමේ  සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණයට පැමිණියේ වෙයි.

උපාදානය කවරේද? උපාදාන සමුදය කවරේද? උපාදාන නිරෝධය කවරේද? උපාධාන නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?

මේ උපාදානයෝ සතර දෙනෙක් වෙති.

1. කාමූපාදානය ( වස්තුකාමය තෘෂ්ණාවෙන් දැඩි කොට ගැනීම)

2. දිට්ඨූපාදානය ( දෘෂ්ටිය දැඩි කොට ගැනීම )

3. සීලබ්බතුපාදානය ( බාහිර ශීලවෘත මෝක්ෂ මාර්ගය සේ දැඩි කොට සළකා ගැනීම)

4. අත්තවාදූපාදානය ( ආත්මය ඇතැයි දැඩි කොට ගැනීම )

තණ්හා සමුදයෙන් උපාදාන සමුදය වෙයි.

තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි.

උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාව මේ අරි අටඟිමඟම වෙයි.

එනම්: 1. සම්මා දිට්ඨි.   2. සම්මා සංකප්ප.   3. සම්මා වාචා.  4. සම්මා කම්මන්ත.   5. සම්මා ආජීව .   6. සම්මා වායාම.   7. සම්මා සති.   8. සම්මා සමාධි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ උපාදානය දනීද, උපාදාන සමුදය දනීද, උපාදාන නිරෝධය දනීද, උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය හැර පටිඝානුශය නැති කොට, “අසමි” “මම” යන බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මෙතෙකින්ම ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි.  ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin