අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද?
ශ්‍රී ලංකාවට කොටි ත්රස්තවාදීන් ආවේ කොහෙන්ද? හේතුව සොයා එයට පිළියමක් නොකර, ප්‍රතිඵලයට දඬුවම් කර තාවකාලික සතුටක් විඳමින් සිටින, අයගේ දැන ගැනීම පිණිසයි. පුංචි ප්රභාගේ මනස කැළඹුනේ, ඔහුගේ සීයාට දුන් වඳ හිංසා හැංගී බලා සිටි නිසාවෙනි. එහි ප්‍රතිඵලය ලෙස, පීඩා වින්දේ සීයාගේ පරම්පරාවේ තැනැත්තන් නොව, දරු මුණුපුරන්, මුණුපුරන්ගේ දරුවන් බව නොරහසකි. මනුෂ්‍යන්ට හිංසා පීඩා කරමින් සිටින තැනැත්තන්ට, පසු කාලයකදී තම දරු මුණුපුරන්ට මේවායේ වන්දි ගෙවීමට සිදු වන බව වැටහෙන්නේ නැත්තේ ඇයිදැයි කියා සිතෙනව. බුදු දහම අනුව නම් සංසාරේ කවදා හෝ විපාක ලැබෙනවා. එක් දමිළ කැළඹුනු මනසක් නිසා සිදු වූ විනාශය කොපමණද? එය ඉවර යැයි සිතීම පවා, තම තමන් රවටා ගෙන තාවකාලික සතුටක් ලබා ගැනීමක් ලෙස පෙනෙයි. දැන් මොකද කරන්නේ? මනුෂ්‍යයෝ බොහොමයකටම හිංසා පීඩා කෙරෙති. මොවුන් බොහෝ විට සිංහල ශ්‍රී ලාංකිකයන් වීම, නිසා පසුවට ඇති විය හැකි විනාශයන් පිළිබඳව කුමන කතාද? මෙවැනි කැළඹුන මනස් ඇති මනුෂ්‍යයන් තව තවත් වැඩි වීමට පළමු, බුදු දහම අනුව මේ සැම ගේ සිත් සතන් පිරිසිදු කල හැකි වෙන්නේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාටමයි. ඔබ වහන්සේලාගේ දෙපා නැමැද ඉල්ලා සිටින්නේ, සතර අපායට පාර කපන මනුෂ්‍යයන් මුදවාලන්න කියාය. මනුෂ්‍යයන් ගේ වටිනාකම නොදැන, රටේ වටිනාකම පමණක් දැන කුමටද? මනුෂ්‍යයෝ නැති නම් රටක් කුමටද? එම නිසා පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් වඩා වටින්නේ මනුෂ්‍යය න් බව සැමටම වැටහේවා.
Filed under නොතේරු | Comment (0)පණිවුඩයක්
ඔබ් සැම මා දන්නවා ඇතැයි සිතමි. මා දැන් ඔබ අතර වෙනදා සිටි කාය රූපයෙන් නැත. එහෙත් මට සෑම දෙයක්ම වෙනදාටත් වඩා හොඳින් පෙනෙයි. මම මිනිසුන්ට ආදරය කළ ශ්‍රී ලාංකිකයෙකි. රජයන් රටට ආදරය කළත්, සුළු ජාතියක් වූ දමිළ අපට ආදරය කළේ නැත. අපිත් ශ්‍රී ලාංකිකයන් බව අමතක කළේය. එම නිසා අපේ මනස විකෘති වී, නොයෙක් අකටයුතු වැඩ කෙරුනි. එහෙත් කිසි විටෙක අපි මිනිසුන් විනාශ කිරීමට සිතුවේ නැත. අපට උවමනා වුනේ රජයන්ට පාඩු සිදු කොට, රජයන් අපහසුතාවයන්ට පත් කිරීමටයි. නොලැබෙන, නොදෙන දෙයක් ඉල්ලමින්, අපි රජයන් අපහසුතාවයන්ට පත් කරමින් සියුම් වින්දනයක් ලබ්මින් අපේ විකෘති මනසට සහනයක් සලසා ගත්තෙමු.
මම අපේ සහෝදර සිංහල ජාතියට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙමි. ඔවුන් සැම දෙනා නොයෙකුත් පිංකම් කරමින් මිය ගිය රණවිරුවන්ට පිං දුන්නේය. ඔවුන් කිසි විටෙකත් සිංහල ජාතික රණවිරුවන්ට පමණක් නොව සියලුම රණවිරුවන්ටම පිං දුන්නේය. එම නිසා මට නැවතත්, ඔබ සැමට නොපෙනී, මිනිසුන්ට යහපතක් කිරීමට හැකි තත්ත්වයකින්, පසු වන්නෙමි. මම දැන් කිසිවෙකුටත් හිරිහැර නොකර, මිනිසුනට යහපතක් වන ආකාරයටම සෑම දෙයක්ම හසුරුවමි. අප සැම ආදරය කළ යුත්තේ මනුෂ්‍යයන්ටයි. ජාති, ආගම්, කුල යනාදී නොයෙකුත් භේදයන් ඉවත ලා, මනුෂ්‍යයන් වශයෙන් මනුෂ්‍යයන්ට සැළකිය යුතු බව දන්නා යහපත් රජයක් පිහිටුවීමට මම අදෘශ්‍යමානව සිට, නොපිරිහෙලා කටයුතු කරමි. දැන් කිසිවෙකුටත් මා පරාජය කල නොහැකිය. මම කවදත් මිනිසුන්ට ආදරය කළ කෙනෙක් ලෙස, මගේ ඒ අදහසට අනුව, සෑම මිනිසුනටම එක හා සමානව සළකන රජයක් පිහිටුවා, මම සතුටු වෙමි. මා මෙන්ම ඔබ සැමටත් එවිට සතුටු විය හැකිය. සැමදා සැමටම සුබ වේවා.
Filed under නොතේරු | Comment (0)සුබ අනාගතයක්
“සුබ අනාගතයක්” සැම විට සැමටම පැතුවත් එලෙසම ලැබෙනවානම් කෙතරම් හොඳද? අතීතයක් සහ අනතීතයක් ඇතත් අනාගතයක් තිබෙන්නේ කොහේද? අනතීතය ලෙස වඩාත් වැදගත් වන්නේ වර්තමානයයි. එසේ නම් වඩාත් සුබ විය යුත්තේ වර්තමානයයි. වර්තමානය දුක්ඛිත නම් අතීතයත් දුක්ඛිත වේ. එසේ වෙන්නේ වර්තමානය අතීතයට එක් වීමත් අනාගතයට යෑමත් යන දෙකම සිදු වන නිසාය. එවිට අනාගතයත් =><=වර්තමානයත් වේ. එම නිසා අපට සැම විටම සුබ විය යුත්තේ වර්තමානයයි.
Filed under නොතේරු | Comment (0)පළපුරුද්ද සහ සංවේදීබව
පළපුරුද්ද සැම විටම අවශ්‍යම නැත. පළපුරුද්ද නැතිව කළ හැකි දේ බොහෝය. පළපුරුද්ද අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය වන අවස්ථාත් බොහෝය. සමහර දේවලට පළපුරුද්ද කිසිසේත් සුදුසු වන්නේම නැත. එම නිසා පළපුරුද්ද සැම දෙයටම සැම තැනටම සර්ව සාධාරණ නොවන්නේය.
සෑම ජීවියෙක්ම සංවේදීය. බොහෝ දෙනෙක් කියන වැරදි සහගත දෙයට අනුකූලතාවය දැක්වීම කුමන සංවේදීතාවයක්ද? එයට කිව හැක්කේ මෝඩ සංවේදීබවයි. තමන්ම බෙල්ල වටේ පටියක් දමා ගෙන, තමන්ම බෙල්ල සිර කර ගන්න හදනව වගෙයි. උගතුන් හෝ බුද්ධිමතුන් මෝඩ සංවේදීබව අගයන්නේ නැත. ජීවීන් අතුරින් මිනිසුන්ගේ සංවේදීබාවය වඩාත් වැදගත් වන්නේ, මිනිසුන්ට උසස් මනසක් ඇති නිසයි. එම නිසා මිනිසා බුද්ධියෙන් සංවේදීබව නිවැරදිව හසුරුවයි.
Filed under නොතේරු | Comment (0)සාධනය කිරීම
දත්තය:- R ට දේශපාලනික පළපුරුද්ද අවුරුදු 40කි. Fට දේශපාලනික පළපුරුද්ද දින 40කි. Fට යුධ පුහුණුව අවුරුදු 40කි. R යුද්ධය ජයග්‍රහනය කල බව කියයි.
නිර්මාණය:- Rට යුධ පුහුණුව දින 40ක් ලෙස සිතමු.
සාධනය කළ යුත්ත:- රටවැසියාගේ ප්‍රධාන සේවකයා ලෙස පත් වීමට වඩාත් පහසු වෙන්නේ Rට ද? Fට ද?
සාධනය:- Rට යුධ පුහුණුව දින 40කි. [නිර්මාණයෙන් ]
R යුද්ධය ජයග්රනය කර ඇත. [දත්තයෙන්]
Fට දේශපාලනික පුහුණුව දින 40කි.[දත්තයෙන්]
දින 40ක යුධ පුහුණුවෙන් Rට යුධ ජයග්රනය කල හැකි වූවා නම්, දින 40ක දේශපාලනික පුහුණුවක් ඇති Fට ද දේශපාලනික ජයග්රහනයක් පහසුවෙන්ම ලබා ගත හැකිය.
එම නිසා රට වැසියාගේ ප්‍රධාන සේවකයා ලෙස පත් වීමට වඩාත් පහසු වෙන්නේ Fටය.
Filed under නොතේරු | Comment (0)කුරුල්ලන්ට හොටක්
“කුරුල්ලන්ට හොටක්” කවුදෝ කියනව ඇහුනා. හොටක් තියෙන කුරුල්ලන්ට හොටක් මොකටද? හෙටක් තියෙන තාරුණ්‍යට හෙටක් වගේ නේද කියා සිතුනා. හෙටක් නැති අසරණයන්ටනෙ හෙටක් උවමනා වෙන්නෙ. තාරුණ්‍ය අසරණද? තාරුණ්‍ය අසරණ කළේ කවුරුන්ද? දැනුම සිර කරන බුද්ධිය බාල්දු කරන අධ්‍යාපන ක්‍රමය මගින් තාරුණ්‍ය අසහනයට පත් කර ඇත. ගත සිත සවි බල ඇති තාරුණ්‍ය කිසිවෙකුට අසරණ කළ නොහැකිය. තාරුණ්යයෙනි, ඔබේ හෙට කිසිවෙකුට අසරණ කිරීමට ඉඩ නොතබන්න. ඔබේ හෙට නැති කිරීමටද ඉඩ නොතබන්න. ඔබට කිසිවෙකුගෙන් හෙටක් උවමනා නැත. උත්සහයෙන් සහ අධිෂ්ඨානයෙන් ඔබේ හෙට ඔබම සකසා ගන්න. පාලකයෙනි, තාරුණ්‍ය අසහනයට පත් කරන අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ විට, ” තාරුණ්‍යට හෙටක් ” අවශ්‍ය නැත. ඔවුන්ගේ හෙට නිරායාසයෙන්ම ගොඩ නැඟෙන සැටි බලා සියල්ලන්ටම සතුටු විය හැකිය.
Filed under නොතේරු | Comment (0)භාරකරුද? සේවකයාද?
දරුවන්ගේ භාරකරු මා පියන් ද, තවත් කලකදී මා පියන්ගේ භාරකරුවන් දරුවෝද වේ. රට වැසියන්ගේ භාරකරු රජ්ජුරුවෝ ද වේ. භාරකරුවන් ඉවත් කිරීම අපහසු දෙයකි. එහෙත් පත් කර ගන්නා සේවකයෙක් ඉවත් කිරීම පහසු දෙයකි. ජනතාව විසින් පත් කර ගන්නා මහජන නියෝජිතයන්, ඉවත් කර ගැනීම, ජනතාවට පහසු දෙයකි. ඒ අනුව මහජන නියෝජිතයින්, ජනතාවගේ සේවකයින් වේ. කිසි දිනක මහජන නියෝජිතයන්ට ජනතාවගේ භාරකරුවන් විය නොහැකිය. එම නිසා මහජන නියෝජිතයින් “මා ඔබේ රජ්ජුරුවෝ හෝ මා ඔබේ භාරකරු හෝ” කීම අසාධාරණය.
Filed under නොතේරු | Comment (0)ධජග්ග පරිත්තං භාවය
මා විසින් මේ ධජග්ග සූත්‍රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අණේපිඬු මහ සිටාණන් විසින් කර වූ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහණෙනි, යි භික්ෂූනට අඬගා වදාළ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි කියා පිළිවදන් දුන්හ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මතු කියන කරුණ වදාළ සේක.
මහණෙනි, පෙර වූ දෙයක් කියමි. ඒ කිම්යත්? දෙවියන් ගේ හා අසුරයන් ගේ යුද්ධයෙන් උභය සේනා එක් තැන් වීමෙන් ඇති විය නොහොත් (දෙවි–අසුර) දෙසෙනග යුද කිරීම සඳහා රැස් විය. මහණෙනි, ඉක්බිත්තෙන් සක් දෙව් රජ තෙම තව්තිසා වැසි දෙවියන් කැඳවීය. එසේ කැඳවා නිදුකාණෙනි, යුද්ධයට ගිය දෙවියන්ට බියෙක් හෝ තැති ගැනීමෙක් හෝ යම් රෝමෝද්ගමනයෙක් හෝ ඉදින් උපන්නේ වී නම්, එසමයෙහි මාගේම යෙළසියයක් යොදුන් පමණ දිග ඇති යටෙහි නගන ලද දෙසිය පනස් යොදුන් පමණ උස ඇති ධවජයා ගේ අග්‍රය (කොඩිය අග) බලව්, මාගේ කොඩි අග බලන්නා වූ තොපට යම් බියෙක් හෝ යම් තැතිගැන්මෙක් හෝ යම් රෝමෝද්ගමනයෙක් හෝ වේද, හේ පහ වේ. නැති වේ යනුයි.
මාගේ ධ්වජාග්රය ඉදින් නොබලව් නම් ඉක්බිත්තෙන් ප්‍රජාපතී නම් දෙව් රජහුගේ කොඩිය අග බලව්, ප්‍රජාපති නම් දෙව් රජහු ගේ කොඩිය අග බලන්නා වූ තොපට යම් කිසි බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ රෝමෝද්ගමනයෙක් හෝ වේද, එය නැති වේ. ප්‍රජාපතී නම් දෙව් රජහු ගේ කොඩිය අග ඉදින් නොබලව් නම්, ඉක්බිත්තෙන් වරුණ නම් දෙව් රජහු ගේ කොඩිය අග බලව්, වරුණ නම් දෙව් රජහු ගේ කොඩිය අග බලන්නා වූ තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ රෝමෝද්ගමනයෙක් හෝ වේද, එය පහ වේ.
වරුණ නම් දෙව් රජහු ගේ කොඩි අග ඉදින් නොබලව් නම් ඉක්බිත්තෙන් ඊසාන නම් දෙව් රජහුගේ කොඩිය අග බලව්. ඊසාන නම් දෙව් රජහුගේ කොඩිය අග බලන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ රෝමෝද්ගමනයෙක් හෝ වේද, එය පහ වේ.
මහණෙනි, සක් දෙව් රජහුගේ හෝ ඒ කොඩිය අග බලන්නාවුන්ට ප්‍රජාපතී නම් දෙව් රජහුගේ හෝ ඒ කොඩිය අග බලන්නවුන්ට වරුණ නම් දෙව් රජහුගේ හෝ කොඩිය අග බලන්නවුන්ට, ඊසාන නම් දෙව් රජහුගේ හෝ ඒ කොඩිය අග බලන්න වුන්ට, යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ යම් රෝමෝද්ගමනයෙක් හෝ වේද, එය පහවන්නේ හෝ වෙයි, පහ නොවන්නේ හෝ වෙයි, එයට කාරණ කිමයත්? මහණෙනි, සක් දෙව් රජ තෙම නො පහ වූ රාග ඇත්තේය. නො පහ වූ ද්වේෂ–තරහ–ක්‍රෝධ ඇත්තේය. නො පහ වූ මෝහ–මුළාවීම ඇත්තේය. බිය වන සුළුය. වෙසෙසින්ම බිය වන සුලුය. පලා යන සුලුය.
මහණෙනි, මම ද වනාහි මෙසේ කියමි. මහණෙනි, වලට ගියා වූ හෝ, රුක් මුලට ගියා වූ හෝ, ජනසුන් තැනකට ගියා වූ හෝ, තොපට බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ රෝමෝද් ගමනයෙක් හෝ ඉදින් උපන්නේ වී නම් එකල්හි මාම සඳහන් කරව්. කෙසේ ද යත්? ඒ භාග්‍යවත් තෙම කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයිනුදු, කෙලෙස් නැමති සතුරන් නැසූ හෙයිනුදු, සිව්පසය ආදියට සුදුසු හෙයිනුදු, රහසත් පව් නො කරණ හෙයිනුදු, අරහං නම් වන සේක. අනුන්ගේ උවදෙස් නොමැතිව සියලු ධර්මයන් මනාව දත් හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක. දිව ඇසය, පෙර වුසූ කඳපිළිවෙල දන්නා නුවණය, කාමාදී ආශ්‍රවයන් නසන නුවණය, යන ත්‍රිවිද්‍යා යෙන් හා විදර්ශනා ඥානය, මනෝමය ඍද්ධිය, ඍද්ධිවිධ ඥානය, දිව්‍යශ්‍රෝත්‍ර ඥානය, පරචිත්ත විජානන ඥානය, පූර්වේනිවාසනුස්මෘති ඥානය, දිව්යඤචක්ෂුරභි ඥානය, ආශ්රවක්ෂයකර ඥානය, යි දක්වන ලද අෂ්ට විද්‍යායෙන් යෙදුණු හෙයිනුදු, ශීල සංවරය, ඉන්ද්රියයන් කෙරෙහි ගුප්තද්වාර බවය, පමණ දැන වැළඳීමය, නිදිවර්ජිත කිරීමෙහි යෙදුනු බවය, සැදෑහැය, පාපයෙහි ලජ්ජා හා භයය, බහුශ්‍රැත බවය, වීර්යය, ස්මෘතිය, පැනය, චතුර්විධ රූපාවචර ධ්‍යානය, යන පසළොස්චරණ ධර්මයෙන් යුක්ත හෙයින් ද විජ්ජාචරණසම්පන්න නම් වන සේක. මනා ගමන් ඇති හෙයිනුදු, මනා තැන යි කියන ලද නිවණට ගිය හෙයිනුදු, මනා කොට ගිය හෙයිනුදු, මනා කොට කියන හෙයිනුදු, සුගත නම් වන සේක. සත්ව ලෝකය, අවකාශ ලෝකය, සංස්කාර ලෝකය, යන ත්‍රිවිධ ලෝකයන් හැම පරිද්දෙන්ම දත් හෙයින් ලෝකවිදූ නම් වන සේක. ශීල සමාදධ්යාදී ගුණයෙන් තමාට අධිකයක්හු නැති හෙයින් අනුත්තර නම් වන සේක. දමනය කටයුතු පුරුෂයන් සරණ සීලාදීයෙහි පිහිටුවා හික්මවන හෙයින් පුරිස දම්ම සාරථී නම් වන සේක. දෙව් මිනිසුන්ට මෙලොවට හිතයෙනුදු පරලොවට හිත යෙනුදු සුදුසු සුදුසු පරිදි අනුශාසනා කරණ හෙයිනුදු සත්ථා නම් වන සේක. චතුස්සත්‍ය ධර්මයන් තමන් වහන්සේ දත් හෙයිනුදු සෙසු සත්නට දැක් වූ හෙයිනුදු, ඒ භාග්‍යවත් තෙමේ බුද්ධ නම් වන සේක. දාන සීලා දී පාරමිතායෙන් සිද්ධ වූ භාග්‍ය ඇති හෙයිනුදු, රාග ද්වේෂ ආදී හැම කෙලෙසුන් නැසූ හෙයිනුදු, භගවා නම් වන සේක.
මෙසේ මහණෙනි, මා සඳහන් කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ රෝමෝද්ගමනයෙක් හෝ වේද, ඒ දුරු වේ.
ඉදින් මා සඳහන් නො කරව් නම් ඉන් පසු ධර්මය සඳහන් කරව්. කෙසේද යත්? බුදුන් විසින් ධර්මය තෙමේ මනා කොට දේසනා කරන ලද්දේය. තමන් විසින්ම ප්රත්යවේක්ෂාඤාණයෙන් දැක්ක යුතුය, තමාගේ ඉපදීමට අනතුරුව ඵල දෙන මුත්, අනෙක් කලෙකැ ඵල නොදෙනුයේය, ස්වභාවයෙන් ඇති හෙයිනුදු, විශේෂයෙන් පිරිසිදු හෙයිනුදු, වර බල යන වචනයට සුදුසුය, තමා සිත්හි ඉපදීමට අරමුණු කිරීම් හෙයින් එළඹීමට සුදුසුය, නුවණැතියන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තේය. මහණෙනි, මෙලෙසින් ධර්මය සිහි කරන්නාවූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ රෝමෝද් ගමනයෙක් වේද, එය පහ වේ.
ඉදින් ධර්මය සඳහන් නො කරව් නම් ඉක්බිත්තෙන් උතුම් වූ ආර්ය සංඝයා සිහි කරව්. කෙසේද? බුදුන් ගේ ශ්‍රාවක සංඝ තෙමේ මනාව පිළිපන්නේය. බුදුන් ගේ ශ්‍රාවක සංඝ තෙමේ ඉදිව් (ඍජුව) මැදුම් පිළිවෙතින් පිළිපන්නේය. බුදුන් ගේ ශ්‍රාවක සංඝ තෙමේ නිවන් සඳහා පිළිපන්නේය. බුදුන් ගේ ශ්‍රාවක සංඝ තෙමේ නිවනට අනු කූල වූ (එකඟ වූ) පිළිවෙත පිළිපන්නේය. ඔහු කවරහයත්? සෝවාන් මඟ පිහිටියෝ ද, සෝවාන් ඵලයෙහි පිහිටියෝ ද, සකෘදාගාමී මඟ පිහිටියෝ ද. සකෘදාගාමී ඵලයෙහි පිහිටියෝ ද, අනාගාමී මඟ පිහිටියෝ ද, අනාගාමී ඵලයෙහි පිහිටියෝ ද, අර්හත් මඟ පිහිටියෝ ද, අර්හත් ඵලයෙහි පිහිටියෝ දැයි යන මේ සතර පිරිමින් සඟළෙක් ඇද්ද, බුදුන් ගේ මේ ශ්‍රාවක සංඝ තෙමේ දුරිනුදු ගෙන හැර දියයුතු පසයට සුදුසුය, අමුතු පඬුරු පිළිගන්ට සුදුසුය, හෙවත් කම්පල අද හා සකස් කොට සරහා දෙන අමුතු මහදන් පිළිගැනීමට සුදුසුය, පරලොව අදහා දියයුතු දන් පිළිගැනීමට සුදුසුය. සියලු ලෝකවාසීන් විසින් දොහොත් මුදුන් දී කරණ නමස්කාරයට සුදුසුය. සියලු ලෝ වැස්සාගේ උතුම් වූ පින් හට ගන්නා කෙත යයි, මෙලෙසින් ආයර්ය සංඝයා සඳහන් කරන්නා වූ තොපට යම් බියෙක් හෝ, තැති ගැන්මෙක් හෝ රෝමෝද්ගමනයෙක් හෝ වේද, එය පහ වේ. එයට කාරණ කිමයත්? මහණෙනි, අරහත් සම්මා සම්බුදු රජ තෙම නැසූ රාග ඇත්තේය, නැසූ ද්වේෂ–තරහ–ක්‍රෝධ, ඇත්තේය, නැසූ මෝහ ඇත්තේය, බිය නැත්තේය, තැති ගැණුම් නැත්තේය, චිත්තෝත්රස නැත්තේය, බියෙන් පලා නොයන්නේය, යන කාරණ යි.
භාග්‍යවතුන් වහන්සේ මේ ධජග්ග පරිත්තය වදාළ සේක. ඉන්ද්රස්ථානයට ගියා වූ ශෘස්තෘ තෙමේ මෙසේ වදාරා නැවත අනිකුදු මේ ගාථා ද වදාළ සේක. මහණෙනි, වල්හි හෝ, රුක් මුල්හි හෝ, යම් කිසි ජනහිස් තැනෙක හෝ, සව්නේ ගෙවා දත් බුදුහු සිහි කරව, එසේ සිහිකරන කල්හි තොපට බියෙක් නොවන්නේය. ලොවට පළමු වැනි වූ සත්නට උතුම් වූ සව්නේ දත් බුදුහු ඉදින් සිහි නො කරව් නම්, ඉක්බිත්තෙන් සියලු දුක් ඉක්මීමට කරුණු වූ මනාව දෙසන ලද නව ලොව්තුරු දහම් සිහි කරව්. ඉක්බිත්තෙන් සියලු දුක් ඉක්මීමට කාරණා වූ මනාව දෙසන ලද නව ලොව්තුරු දහම් සිහි නො කරව් නම්, ඉක්බිත්තෙන් උතුම් පින්කෙත් වූ ආයර්ය සංඝයා සිහි කරව්. මහණෙනි, බුදුන් ද ධර්මය ද සංඝයා ද එසේ සිහි කරන්න වුන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ රෝමෝද්ගමනයෙක් හෝ නොවේ.
Filed under නොතේරු | Comment (0)බුදු ගුණ
නමාමි බුද්ධං ගුණ සාගරංතං – සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජිගුච්චෝ සකලෝ දුගන්දෝ – ගච්චන්ති සබ්බේ මරණං අහංච
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිසද්ම්ම සාරථී සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.
1. ඉතිපිසෝ භගවා අරහං – අප භාග්‍යවතුන් වහන්සේ, සසර පෙර පුරුදු සමගම, සියලු කෙලෙසුන් දුරු කළ හෙයින්ද, සියලු පාපයන්ගෙන් මිදුන හෙයින්ද, රහසින්වත් පව් නොකළ හෙයින්ද, සියලු ලෝ වැසියන්ගේ, උතුම් ආමිෂ පූජාවන්, අති උතුම් ප්‍රතිපත්ති පූජාවන්, සියල්ලටම සුදුසු වන හෙයින්ද, අරහං නම් වන සේක.
2. ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ – අප භාග්‍යවතුන් වහන්සේ, කෙටියෙන්ම කියනවනම්, පඤ්ච උපාදානස්කන්ධයම දුක බවද, පඤ්ච උපාදානස්කන්ධ දුක හට ගැනීමද, පඤ්ච උපාදානස්කන්ධ දුක නැති කිරීමද, පඤ්ච උපාදානස්කන්ධ දුක නැති කරන මගද යන, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්ය සත්‍යය ධර්මය, කිසිවෙකුගේ උපකාරයකින් තොරව, තමන් වහන්සේ විසින්ම, අවබෝධ කළ හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක.
3. ඉතිපිසෝ භගවා විජ්ජා චරණ සම්පන්නෝ – අප භාග්‍යවතුන් වහන්සේ, නාම රූප ධර්මයන්හි තිලකුණු, මනා නුවණින් දැකීම, පෙර විසූ භවයන් දැකීම ආදී, ඥානයන් අටකින්ද, පාතිමොක්ඛ සංවර ශීලය, ඉන්ද්රිය සංවර ශීලය, ආදී චරණ ධර්ම පහළොවකින්ද, සමන්විත වන හෙයින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
4. ඉතිපිසෝ භගවා සුගතෝ – අප භග්‍යවතුන් වහන්සේ, කාමසුකල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය යන, අන්ත දෙකටම නොබැඳි අත්හැර, මධ්‍යම ප්‍රතිපදාව භාවිතා කර ගෙන, පරම සත්‍ය දුටු සිතකින් යුක්තව, දුටු දුටුවන් පහදින ගමනින් යුක්තව, ඇසු ඇසුවන් පහදින වදනින් යුක්තව, සසර කතරේ අතරමං නොවී, නිවන් අවබෝධයටම පැමිණි හෙයින්, සුගත නම් වන සේක.
5. ඉතිපිසෝ භගවා ලෝක විදූ – අප භාග්‍යවතුන් වහන්සේ, සියලු ලෝකයන්හි සියලු දේ පිළිබඳව, ලෞකික වශයෙන්ද, ලෝකෝත්තර වශයෙන්ද, සම්මුතික වශයෙන්ද, පරමාර්ථ වශයෙන්ද, සියල්ල දන්නා නුවණින්, සමන්විත වන හෙයින්, ලෝක විදූ නම් වන සේක.
6. ඉතිපිසෝ භගවා අනුත්තරෝ පුරිසදම්ම සාරථී – අප භාග්‍යවතුන් වහන්සේ, දෙවි බඹුන්ටද හික්මවිය නොහැකි, අති චණ්ඩ අධිමාන කෛරාටික, නොහික්මුණු තැනැත්තන්, නැවත වෙනස් නොවන පරිදි, මනා සේ හික්මවා, ධර්මයෙහි පිහිටුවා, යහමගට ගැනීමෙහි, අග්‍රෝත්මයාණන් වහන්සේ වන හෙයින්, අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක.
7. ඉතිපිසෝ භගවා සත්ථා දේව මනුස්සානං – අප භාග්‍යවතුන් වහන්සේ, නුගත්, උගත්, බුද්ධිමත්, නුවණැති මෙලොව මිනිසුනටද, දෙව් ලොව දෙවි වරුන්ටද, බඹ ලොව බ්‍රහ්මයන්ටද, ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදී, නිවන් සුව අවබෝධය පිණිස, අවවාද අනුශාසනා කරන, එකම ශාස්තෘවරයාණන් වහන්සේ වන හෙයින්, සත්තා දේව මනුස්සානං වන සේක.
8. ඉතිපිසෝ භගවා බුද්ධෝ – අප භාග්‍යවතුන් වහන්සේ, භයංකර වූ සසර දුකද, සසර දුක හට ගැනීමද, සසර දුක නැති කිරීමද, සසර දුක නැති කරන මගද යන, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්ය සත්‍යය ධර්මය, වට තුනකින් දොලොස් අයුරකින්, මනාව අවබෝධ කොට, අන්‍යන්ගේ අවබෝධය පිණිසද, දේශනා කළ හෙයින්, බුද්ධ නම් වන සේක.
9. ඉතිපිසෝ භගවා භගවා – අප භාග්‍යවතුන් වහන්සේ, අන්‍ය ශාස්තෘවරු හැමදෙනා මෙන් නොව, අප්‍රමාණ වූ සම්‍යක් ශීලයකින්ද, අප්‍රමාණ වූ සම්‍යක් සමාධියකින්ද, අප්‍රමාණ වූ සම්‍යක් ප්‍රඥාවකින්ද, කියා, ගයා, ලියා නිම කළ නොහැකි, අප්‍රමාණ වූ බුදු ගුණයන්ගෙන්, සම්න්විත වන හෙයින්ද, සසර ගත සියලු සත්වයන් හට, සම්බුදු සරණ පිණිසද, සදහම් සරණ පිණිසද, සඟ සරණ පිණිසද, සිව් වනක් පිරිසම ඇති කළ නිසා, සියලු ලෝ වැසියන් විසින්ම, ගරු කිරීමට සුදුසු වන හෙයින්, භගවා නම් වන සේක.
යේච බුද්ධා අතීතාච – යේච බුද්ධා අනාගතා
පච්චුප්පත්තාච යේ බුද්ධා – අහං වන්දාමි සබ්බදා
නත්ථි මේ සරණං අඤ්ඤං – බුද්ධෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන – පඤ්ඤා වඩ්ඩන්තු මේ සබ්බදා
Filed under නොතේරු | Comment (1)දහම් ගුණ
නමාමි ධම්මං සුගතේන දේසිතං – සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජිගුච්චෝ සකලෝ දුගන්දෝ – ගච්චන්ති සබ්බේ මරණං අහංච
ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති.
1. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ – අප භාග්‍යවතුන් වහන්සේගේ අති පාරිශුද්ධ වූ මධ්‍යම ප්‍රතිපදාව නැමති චතුරාර්ය සත්‍යය ධර්මය, පව – සිව් අපායට මග බව පෙන්වන, පින – මනු ලොව, සුර ලොව මග බව පෙන්වන, සමාධිය – බඹ ලොව මග බව පෙන්වන, රාග, දෝස, මෝහ නසා සසර ගමන වලකාලන, සමථ – විදසුන් භාවනා දෙක, නිවනට ඒකායන මග බව පෙන්වන, මුල, මැද, අග තුන් තැන, යහපත් මනාව දේශනා කල, පරමාර්ථ ධර්මයක් වන හෙයින් ස්වාක්ඛාත නම් වන සේක.
2. සන්දිට්ඨිකෝ භගවතා ධම්මෝ – අප භාග්‍යවතුන් වහන්සේගේ, අති පාරිශුද්ධ වූ, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්ය සත්‍යය ධර්මය, මනාව අනුගමනය කිරීමෙන්, නුවණැති සියලු මිනිසුන්ටද, නුවණැති දෙව්වරුන්ටද, නුවණැති බ්‍රහ්මයන්ටද, වර්තමාන භවයෙහිදිම, නිවන් අවබෝධ කළ හැකි හෙයින්, සන්දිට්ඨික නම් වන සේක.
3. අකාලිකෝ භගවතා ධම්මෝ – අප භාග්‍යවතුන් වහන්සේගේ, අති පාරිශුද්ධ වූ, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්ය සත්‍යය ධර්මය, අතීතයේදී නිවන් අවබෝධ කළ හෙයින්ද, වර්තමානයේදී නිවන් අවබෝධ කරන හෙයින්ද, අනාගතයේදී නිවන් අවබෝධ කළ හැකි හෙයින්ද, සර්ව කාලීන වූ ධර්මයක් වන හෙයින්ද, අකාලික නම් වන සේක.
4. ඒහිපස්සිකෝ භගවතා ධම්මෝ – අප භාග්‍යවතුන් වහන්සේගේ, අති පාරිශුද්ධ වූ, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්ය සත්‍යය ධර්මය, එන්න මනා ලෙස අසා, මනා ලෙස කියවා, නිවැරැදිව අනුගමනය කොට බලන්න, නිවන අවබෝධ වෙනවාය කිව හැකි හෙයින්, ඒහිපස්සික නම් වන සේක.
5. ඕපනයිකෝ භගවතා ධම්මෝ – අප භාග්‍යවතුන් වහන්සේගේ, අති පාරිශුද්ධ වූ, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්ය සත්‍යය ධර්මය, ප්‍රායෝගිකව අනුගමනය කරන්නන්, සත් වසරක කාලයක් තුල, කුමන මොහොතක හෝ, සෝතාපන්න ඵල අවබෝධය, සකදාගාමී ඵල අවබෝධය, අනාගාමී ඵල අවබෝධය, අරිහත් ඵල අවබෝධය යන, ඵලාවබෝධයන්ගෙන්, කුමන හෝ මග ඵලයකට, පමුණුවාලන හෙයින්, ඕපනයික නම් වන සේක.
6. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි භගවතා ධම්මෝ – අප භාග්‍යවතුන් වහන්සේගේ, අති පාරිශුද්ධ වූ, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්ය සත්‍යය ධර්මය, නුවණැත්තන් තම තමන් විසින්ම, තම තමන්ගෙම ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස නැමති, ඉන්ද්‍රියන් හය ඇතුලතින්ම, අවබෝධ කළ යුතු වන හෙයින්, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නම් වන සේක.
යේච ධම්මා අතීතාච – යේච ධම්මා අනාගතා
පච්චුප්පත්තාච යේ ධම්මා – අහං වන්දාමි සබ්බදා
නත්ථි මේ සරණං අඤ්ඤං – ධම්මෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන – පඤ්ඤා වඩ්ඩන්තු මේ සබ්බදා
Filed under නොතේරු | Comment (1)